කිසිවකු, කිසියම් දෙයක් ‘‘හරියට අච්චාරුවක් වගේ’’ යැයි හඳුන්වන්නේ එහි ඇති අපිළිවෙල හේතුවෙනි. නමුදු ‘‘අච්චාරු’’ යනු බහුතරයක් දෙනා ඉතා

රුචිකත්වය දක්වන ආහාර වර්ගයකි. එකී ආහාරයේ රස විඳින පුද්ගලයෝ එහි ඇති ද්‍රව්‍ය අපිළිවෙළට පවතින බවට චෝදනා නොකරති. ඔවුහු එහි දී කිසිදු විවේචනයකින් තොරව අදාළ අච්චාරුව රස විඳිති. එහි අවසන් නිගමනය නම් අචචාරුවේ අඩංගු විවිධ දෑ වෙන වෙන ම රස බැලීමේ දී පූර්ණ රසයක් විඳිය නොහැකි වුව ද සමස්ත ‘‘අච්චාරුව’’ යනු වචනාර්ථය ඉක්මවූ රසයක් ජනනය කරන ආහාර වර්ගයක් යන්න ය.

අච්චාරු පිළිබඳ මෙසේ පවසන්නේ ‘‘අච්චාරු’’ පිළිබඳ ලිපියක් සම්පාදනය කිරීමට නම් නොවේ. එසේ නම් අච්චාරු පිළිබඳ ලියන්නේ මන්දැයි මෙය කියවන ඔබට සිතෙන්නට පිළිවන. ඔවු... දැන් එම කුතුහලය ද සන්සිඳුවාගෙන ‘‘අච්චාරු’’ රස සිහිපත් කරමින් ම අදාළ මාතෘකාවට ප්‍රවේශ වෙමු.

අමිත්ත වීරසිංහ නමැති පුද්ගලයා අපි මෙතෙක් කල් හඳුනාගෙන සිටියේ චරිතාංග නළුවකු ලෙසනි. හෙතෙම සිය රංගන කුසලතා විදහා දක්වමින් ප්‍රේක්ෂක ප්‍රජාව කුල්මත් කළා සේ ම මේ වන විට නවමු පියවරක් තබමින් කෙටිකතාවෙන් පාඨක ප්‍රජාව කුල්මත් කරන්නට සමත්ව ඇත. ඒ, ඔහුගේ කුලුඳුල් සාහිත්‍ය නිර්මාණය වන ‘‘කන්කොටාගේ ප්‍රේමය සහ තවත් කතා’’ නමැති නිර්මාණ සමුච්ඡය තුළිනි.



ලිපිය ආරම්භයේ දී පැවසූ පරිදි මෙම නිර්මාණ සමුච්ඡය මා ‘‘අච්චාරුවක්’’ ලෙස හැඳින්වූයේ සමාන්‍ය වහරේ ‘‘අච්චාරුවක් වගේ’’ යනුවෙන් පවසන අරුතෙන් නොවේ. මා එසේ පැවසුවේ මෙම නිර්මාණ සමුච්ඡය තුළ දක්කට ලැබෙන්නේ එකිනෙකට පරස්පරතා දක්වන නිර්මාණ කිහිපයක් වුව ද ඒ සියල්ල රස විඳ අවසන් වුවාට පසු දැනෙන්නේ අපහාසයට හෝ උපහාසයට මෙන් ‘‘අච්චාරුවක් වගේ’’ යැයි බොහෝ පිරිසි පැවසුව ද ඒ බහුතරයක් දෙනා ‘‘අච්චාරුව’’ ඉතාමත් අභිරුචියෙන් ආහාරයට ගෙන ඇති බව ඔවුන් අවබෝධ කරගන්නේ තරමක් ප්‍රමාද වූවාට පසුව බැවිනි.



කතුවරයා සිය කුලුඳුල් නිර්මාණ සංග්‍රහය තුළ සමාජයේ පවත්නා විවිධ ස්ථර පිළිබඳව අවධානය යොමු කරමින් ද, සිය පරිකල්පණ ශක්තිය එක් කරමින් ද, නවමු අකෘතිමය අත්හදා බැලීම් එක් කරමින් ද පාඨක ප්‍රජාව ඉදිරියේ පෙනී සිටියි.

මෙම නිර්මාණ සංග්‍රහය තුළ මා දුටු පළමු වෙනස වූයේ ඇතැම් නිර්මාණ පිළිබඳ හැඳින්වීමක් කතුවරයා විසින් ම සිදු කරනු ලැබීම ය. එය මට පුද්ගලිකව නම්, අදාළ නිර්මාණය රස විඳීමට බාධාවක් විය. නමුදු කතුවරයා එබඳු හැඳින්වීමක් කර තිබෙන්නේ හෙතෙම අදාළ නිර්මාණය කළේ ඇයි ද යන්න සහ එහි යථා ස්වරුපය අවබෝධ කරවනු පිණිස විය හැකි ය. එය තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, ඔහු සිය නිර්මාණ සඳහා පාදක කරගන්නේ සිය ජීවිත කාලය තුළ අත් දුටු අනුභූති බවත්, ඒ කිසිවක් කිසිදු ස්ථානයකින් ණයට ලබාගත් ඒවා නොවන බවත් පාඨක ප්‍රජාවට ඒත්තු ගැන්වීම ය.

amiththa weerasingheකතුවරයා, සිය නිර්මාණ සමුච්ඡය තුළ සමාජයේ පැවති සහ තව දුරටත් පවත්නා විවිධ විෂමතා මැනවින් පිළිබිඹු කරන්නට සමත් වී ඇත. එහි දී හෙතෙම කිසිදු භේදයකින් තොරව අදාළ ක්ෂේත්‍ර තුළ පැවති සහ පවත්නා ප්‍රබලත්වය මෙන් ම දුබලතා ද අකුරු කරන්නට සමත් වී තිබීම පැසසිය යුතු ය. මන් ද හෙතෙම නිර්මාණකරුවකු ලෙස කිසිදු පක්ෂපාතිත්වයකින් තොරව අදාළ ක්ෂේත්‍ර තුළ පැවති සහ පවත්නා මෙන් ම අනාගතයේ දී ද පැවතිය හැකි යථා ස්වරූපය මැනවින් විද්‍යමාන කර ඇත.


තැඹිලි ගස

එක් රටක මතු නොව සමස්ත ලෝකයේ ම පවත්නා ‘‘සංස්කෘතිය’’ යාවත්කාලින විය යුතු අංගයකි. නමුදු එය සිදුවිය යුත්තේ සංස්කෘතිය නමැති රුක මුලිනුපුටා දැමීමෙන් නොවේ. වර්තමානයේ බොහෝ විට සිදුවන්නේ හුදු ආර්ථික වාසි මත සංස්කෘතිය පසෙකට තල්ලු කර ඒ වෙනුවට මුදල් ආදේශ කිරීම ය. ‘‘තැඹිලි ගස’’ නමැති නිර්මාණය තුළින් පිළිබිඹු කෙරෙන්නේ යට කී ඛේදවාචකය යි. එහි උච්චතම අවස්ථාව කතුවරයා මෙලෙස පිළිබිඹු කරයි.

‘‘පැළයක් ඉන්දවන එක නම් මේ කාලෙ හැටියට වටිනා ම වැඩක්. පොල් වල ගණන්වල හැටියට. නමුත් ඉන්දපු තැන තමයි පරහකට තියෙන්නේ.’’ මන්ත්‍රි තුමා සේතුංග මහත්තයා දිහාව බලාගෙන කිවා.

සේතුංග මහත්තයට මේ කතා කරන කෙනා නිච්චියක් නැහැ. කලින් දැකලවත් නැහැ. කියන දේ විතරක් කණේ රැඳුනා. ලොකු හාමුදුරුවෝ අතේ තිබුණු නෝට්ටු ටික අතේම ගුලි කරගත්තා.

‘‘නැහැ මේ අපේ මංත්‍රී තුමා කිව්වෙ, ඔය ඔතැන මුන්නැහැ තමන්ගේම වියදමින් කේක් පංති දාන්න ගොඩනැගිල්ලක් හදන්න නොවැ යන්නෙ. ඔය හරිය ඉතිං ඒකට වෙන් කළා. අපේ ගමේ ළමයින්ට සෙතක් වෙන දෙයක්නෙ දායක මහත්තයා. අනෙක එහෙම ඒවා වෙනකොට ගමේ මිනිස්සු වුනත් පන්සලට යනවා එනවා නොවැ. නැද්ද මං කියන්නේ’’

23, 24 පිටු

කතුවරයා සිය පරිකල්පන හැකියාව උපස්තම්භක කරගනිමින් පෙළ ගස්වා ඇති මෙම වදන් ගොන්න තුළ කියවා වටහා ගත යුතු බොහෝ කරුණු අන්තර්ගතව පවතී. එය හුදෙක් පොතක් කියවා පසෙක තබන පාඨක ප්‍රජාවට නොව පොතක් කියවීමෙන් ඉක්බිති එහි ගැඹුරට කිමිද, එතුළ ඇති මැණික් මතු කරගන්නා පාඨක ප්‍රජාවට ඉතා මැනවින් අවබෝධ කරගත හැකි බව ඒකාන්ත ය.

ධර්මරාජ ජාතකය

පූජනීය ස්ථාන (පන්සල්, පල්ලි, කෝවිල් හෝ වෙනත්) යනු අති පාරිශුද්ධ ස්ථාන යැයි බහුතරයක් වූ ආගමිකයෝ විශ්වාස කරති. නමුදු සත්‍ය නම් එය එසේ නොවන වගයි. මේ සම්බන්ධයෙන් මම මගේ යම් යම් ලියවිලි තුළ ද සටහන් කර ඇත. අමිත්ත වීරසිංහ නම් ලේඛකයා ද එකී යථාර්ථය සිය ලේඛනය මාර්ගයෙන් මෙසේ හෙළිදරවු කරයි.

‘‘ඒ වන විටත් බුදු මැඳුර පිටුපසට වී මස් හොද්දක් හැඳිගාමින් සිටි කණ්ඩායමත්, දාන ශාලාවේ කෙළවරක කටගැස්මක් පිළියෙල කරමින් සිටි යසෝදරා කුලඟන සමිතියේ උපාසිකා පිරිසත් හැරුණ කොට සිහිකල්පනාවෙන් යුක්තව සිටියේ ඡන්දය ඉල්ලූ හාමුදුරුවන් වහන්සේ පමණකි.’’

පිටුව 27

තව ද ‘‘ඡන්ද පොරොන්දු’’ යනු කෙතරම් ප්‍රෝඩාවක් ද යන්න ඉතා උපහාසාත්මක ආකාරයෙන් පාඨකයා හමුවේ තබන්නට කතුවරයා දරා ඇති උත්සාහය දෙස අවධානය යොමු කරමු.

‘‘ඒ ගැන සිතමින් ම හාන්සි පුටුවට වැටුණු හාමුදුරුවන් වහන්සේගේ අත පසෙක වූ ස්ටූලය මත තිබූ මැතිවරණ උපදෙස් පත්‍රිකා ගොන්නෙහි ගැටුණි. බිම වැටුණු ඒ පත්‍රිකා මිටිය ගැනීමට වත් උන්වහන්සේට අවශ්‍ය නොවුයේ තව දුරටත් ඒවා අනවශ්‍ය බැවිනි.’’

පිටුව 28

Untitled 41


1948 වසරේ දී ලාංකිකයා ලබාගත්තා යැයි පාරම්බාන ඊනියා නිදහසෙන් අනතුරුව ද එදා මෙදා තුර මෙරට වැසියෝ අත්විඳින්නේ කුමනාකාරයේ නිදහසක්දැයි වෙසෙසින් පැවසිය යුතු නොවේ. මන්ද ඊට අවැසි නිදසුන් අනන්ත ය; අප්‍රමාණ ය. අමිත්ත වීරසිංහ සිය ලේඛනය තුළින් එකී නිදහසේ අල්ප මාත්‍ර වූ මානයක් මෙලෙස ඉදිරිපත් කරයි.



‘‘එක් කලෙක, මේ රාජධානියේ පසල් නුවර වැසි තරුණ පුරුෂයන් විසින් අධිකරණ විනිශ්චයේ නොදැහැමිකම් ද, අමාත්‍යයන්ගේ මිසදුටුකම් ද, ශිල්ප ශාස්ත්‍රයනට කෙරෙන නිග්‍රහයන් ද අරබයා කැරැල්ලක් ඇති කර තැනේ දී, අමාත්‍යන්ට ද, රාජ පුරුෂයින්ට ද, එය මැඬපත්වන්නට නොහැකි වූ කලී, නුවරුන් නිදිපරමත්ව නිදන කල්හි, සේනාවන් ගම් වැද, රාජ ද්‍රෝහීන් ලෙස නම් දැරූ, නොදැරූ, සියලු දෙනාම අල්වා පිටිතල හයා බැඳ, නොයෙකුත් පීඩා කොට, ජීවිතක්ෂයට පමුණුවා, ඇට පමණක් ශේෂ කොට සියලු සම්, මස්, නහර, ලේ අනුභව කොට සෙසු කොටස් අමු සොහොනෙහි ද, විථිවල ද කඩපිලේ ද ආදි වශයෙන් දමා ගියාහුය...’’

පිටුව 36

අධිරාජ්‍යවාදින්ගෙන් රට බේරාගැනීමට සටන් කළ පිරිස් ‘ජාතික වීරයන්’ වූ රටේ එකී අධිරාජවාදින් ජාතක කෙරූ ඊනියා ජාතිකවාදින්ගෙන් රට බෝරාගැනීමට සුදානම් වූ සහ අනාගතයේ දී එසේ කළ යුතු යැයි අදහස් කරගෙන සිටින පරපුරට මෙරට දෙස් විදෙස් පාලකයෝ සලකා ඇත්තේ සහ සලකන්නට බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න මෙම කෙටිකතාව තුළින් ගම්‍ය වන අතර ලංකාවේ මතු නොව සමස්ත ලෝකයේ ම ජීවත්වන දේශපාලකයා යනු හෙතෙම කෙතරම් බලවතෙකු වුව ද ඔහු හෝ ඇය පාලනය කරනු ලබන්නේ අදිසි හස්ත විසින් බව ඉතා සුක්ෂමාකාරයෙන් ඉදිරිපත් කරයි. නමුදු අපේ දේශපාලකයෝ ද ඡන්ද දායකයෝ බහුතරයක් ද මෙකී යථාර්ථය කවදා අවබෝධ කරගනු ඇති ද යන්න සදාකාලික ගැටලුවකි.



අසල්වැසියාගේ හෘදය සාක්ෂිය

 

Thagbsiwaran Sivaganawathy cries while discussing the disappearance of her daughter, Thageswaran Susanya, at a protest site for loved ones of the disappeared in Mullaitivu, Sri Lanka. Thagbsiwaran Sivaganawathys daughter, Thageswaran Susanya, has been missing since March 14 2009. They were at their home when military surrounded the village and bombs were dropped from airplanes. They all fled and in the chaos got separated, and Sivaganawathy hasnt seen her daughter since. Sivaganawathys husband is so depressed he cant work or leave the house sometimes. She has searched all over and filed complaints with the ICRC and police, but hasn't found any news. She comes to this protest site 3 times a week demanding for the release of her daughter.


මෙම කෙටිකතාව ද යට කී කෙටිකතාවට නෑකම් කියන්නකි. 71, 87-89 මතු නොව උතුරේ අරගලයේ දී ද පැහැරගත්, අතුරුදන් කළ සහ ඝාතනය කළ ජීවිත අපමණ ය. ඒ අතර සබැවින් ම අදාළ සටන්වලට සහය වූවෝ මෙන් ම කිසිදු ආකාරයකින් එකී සටන්වලට සහය නොවූවෝ ද වූහ. එහෙත් හුදෙක් පුද්ගලික අරමුණු ඉටු කරගනු වස් දේශ ද්‍රෝහින් ලෙස නම් කර අතුරුදන් කළ, ඝාතනය කළ ජීවිත කෙතරම් ද යන්න ගිණිය නොහැකි තරම් ය. එකී පසුබිම ඉතා මැනවින් පිළිබිඹු කෙරෙන මෙම නිර්මාණය බඳු නිර්මාණ අනාගතයේ දී වුව නිර්මාණය කිරීමට සිදුවන බව පමණක් ඔබ අප සැවොම ඉතා මැනවින් සිත් තබාගත යුතු ය.



අර්ජුන්

මෙම නිර්මාණය රස විඳි සැණින් මට සිහිපත් වූයේ ගුණසිරි ජයවර්ධන විසින් රචිත ‘සින්නදොරෙයිගේ පුංචි ලෝකය’’ කෘතිය යි. ඉක්බිති: සුනේත්‍රා රාජකරුණානායකගේ ‘‘කවිකඳුර’’, සරත් විජේසූරියගේ ‘‘සුදම් සභාව’’ සහ විසාකේස චන්ද්‍රෙස්කරම්ගේ ‘‘රජ සහ ඝාතකයා’’ නමැති කෘති ත්‍රිත්වය ද සිහිපත් විය. මන්ද ඉහත කෘති සියල්ලෙහි ම මුඛ්‍ය තේමාව වූයේ ජාති, ආගම් සහ කුල වශයෙන් බෙදී සිටින අප සැබැවින් ම එලෙස බෙදා වෙන් කළ හැකි මිනිස් කොටසක් ද යන්න ය. එනම් අපේ ජාතිය අනෙකාගේ ජාතියට වඩා උසස් ය, අනොකගේ ජාතිය අපේ ජාතියට වඩා පහත් ය යන්න යථාර්ථයක් ද යන්න ය. අනෙක් පසින් පුද්ගලයෙකුගේ ජාතිය නම් කෙරෙන්නේ කුමන පනමකින් ද යන්න ය.

සින්නදොරෙයිගේ පුංචි ලෝකය කෘතියේ එන ප්‍රධාන චරිතය උප්පත්තියෙන් සිංහල ලෙස ලියාපදිංචි වුව ද හෙතෙම සිය ජීවිතයෙන් වැඩි කාලයක් දිවි ගෙවන්නේ උතුරේ වෙසෙන දෙමළ යුවළකගේ රැකවරණ යටතේ ය. කාලයාගේ ඇවැමෙන් ඔහුට සිංහල භාෂාව උච්ඡාරණය කිරීමට ද අපහසු වන්නේ ය; ඔහු සිංහල ද දෙමළ ද යන්න ඔහුට ම නිශ්චය කරගත නොහැකි වන්නේ ය.



අර්ජුන් නිර්මාණයේ එන අර්ජුන් ද එවැන්නෙකි. හෙතෙම සිංහල යැයි හැඳින්වෙන පියෙකුට දාව දෙමළ යැයි හැඳින්වෙන මවකගේ කුසයෙන් මෙලොවට ජනිත වන මිනිස් ජීවියෙකි. ඔහු ජාතක කළ පියාට සිය නූපන් දරුවා ද, ආදරණීය පෙම්වතිය ද හැර දමා සිය දිවි ගලවාගැනීම සඳහා උතුරුකරයෙන් දකුණට පලා යන්නට සිදුවන්නේ මෙරට අවස්ථාවාදි දේශපාලකයන්ගේ අධම තීන්දු තීරණ හේතුවෙනි. එකී දේශපාලකයෝ ක්‍රියාත්මක කළ අධම දේශපාලන තීන්දු හේතුවෙන් සිය ජීවිත බිල්ලට දෙන්නට සිදුවන්නේ අනාගත පරපුරට ය. එය එදා මෙන් ම අද ද සිදුවන්නේ ය; හෙට ද සිදු නොවෙතැයි විශ්වාස කළ නොහැකි ය. ඉදින් අනාගතයේ දී අර්ජුන්ලා බිහි නොවන්නට කටයුතු කළ යුත්තේ අස්ථාවාදී, නරුම දේශපාලකයන් ය. නමුදු එවන් වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ කවදා ගොඩනැගේ දැයි යන්න බලාපොරොත්තු තබාගත හැකි ද...?



කන්කොටාගේ ප්‍රේමය

113205තිරිසන් සතුන්ගේ ජීවන පවත් ඇසුරෙන් නිර්මිත ප්‍රබන්ධ මා මෙතෙක් කියවා ඇත්තේ ද්විත්වයක් පමණි. ඒ, ජැක් ලන්ඩන් විසින් රචිත The Call Of The Wild කෘතියේ සිංහල පරිවර්තනය වූ ‘‘වනපෙත අඬගසයි’’ (පරිවර්තනය ආරියවංශ රණවීර) සහ මිහායිල් බුල්ගකෝව් විසින් රචිත Heart of a Dog කෘතියේ සිංහල පරිවර්තනය වූ ‘‘බල්ලකුගේ හදවත’’ (පරිවර්තනය ගාමිණී වියන්ගොඩ) යන කෘති ද්විත්වය යි. ඊට අමතරව, පුවත්පතක පළවූ බළලෙක් සහ බල්ලෙක් වටා ගෙතුණ කෙටිකතාවක් සහ පාසල් දරුවකු විසින් රචිත එළදෙනක් කළ කතාවක් ද කියවා ඇති බවට මතකයක් තිබේ. ඉනික්බිති එවන් ප්‍රස්තුතයක් පාදක කරගනිමින් රචිත කතාවක් කියවූයේ නම් ඒ, අමිත්ත වීරසිංහ විසින් රචිත ‘‘කන්කොටාගේප්‍රේමය’’ මැයෙන් වූ කෙටිකතාව ය.

 

මිනිසකුට මිනිසකුගේ හැඟීම් කියවීම සියයට සියක් සාර්ථක ලෙස කළ නොහැකි වුව ද ඔහු හෝ ඇය කලක සිට ඇසුරු කරන්නෙකුට හෝ කරන්නියකට අකොගේ සිතුවිලි යම් පමණකට (අසම්පූර්ණ) හෝ කියවිය හැකි ය. එහෙත් මිනිසෙකුට කිසියම් තිරිසන් සතකුගේ සිතුවිලි කියවීමට හැකිවීම සුවිශේෂී ය. එකී සුවිශේෂතාව පිළිබිඹු කෙරෙන නිර්මාණයක් ලෙස ‘‘කන්කොටාගේ ප්‍රේමය’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

 

මෙම නිර්මාණයේ මතුපිටින් දිස්වන්නේ එකිනෙකාට නොගැළපේ යැයි සම්මත බල්ලෙකු සහ බැල්ලියක අතර ඇතිවන ප්‍රේමය යි; එහි අනිටු පල විපාකය යි. ‘නොගැළපේ’ යනුවෙන් මා අදහස් කළේ ඒ ඒ බල්ලන්ට සහ බැල්ලියන්ට ගැළපෙනවා යැයි මිනිසුන් විසින් ම උපකල්පනය කරනු ලැබ සිටින තත්ත්වය අනුව ය. එනම් මිනිසුන් වන අප ද බොහෝ විට ජාතිය, ආගම, කුලය, ඇති නැති පරතරය, උගත් නූගත්භාවය අනුව විරුද්ධ ලිංගිකයා ගැළපේ ද නොගැළපේ ද යන්න තීරණය කරන බැවිනි.

කන්කොටා නමැති බල්ලා සහ ට්වින්කි නමැති බැල්ලිය ද මේ ආකාරයට බෙදා වෙන් කළ සත්ව ලෝකයේ සත්වයන් දෙපළකි. නමුදු ඔවුන් එකිනෙකාට පෙම් කරයි. එය නොගැළපේ යැයි තවෙකෙකු විසින් තීරණය කරනු ලබන්නේ කුමන කරුණු පදනම් කරගනිමින් ද යන්න මෙහි දී කතුවරයා පිළිබිඹු කරයි. එය වඩාති තීව්‍ර කෙරෙන්නේ ට්වින්කි කිසිදා ආදරය නොකළ බල්ලකු සමග ඇය බලහ්කාරී ලිංගික සංසර්ගයකට යොමු කිරීමෙනි. ඒ, අන් කිසිවක් නිසා නොව ඇය සමග ලිංගිකව එකතුවන බල්ලාගේ වර්ගයේ පැටවුන් අභිජනනය (Breeding) කරගැනීම සඳහා ය.

අදාළ නිර්මාණය තුළින් කතුවරයා නොපවසා පවසා ඇත්තේ ද නොලියා ලියා ඇත්තේ ද බරපතළ සමාජ ඛේදවාචකයකි. ඉදින් අපි කියවිය යුත්තේ කන්කොටාගේ සහ ට්වින්කිගේ ප්‍රේමය ද එය උපස්තම්භක කරගනිමින් ඉදිරිපත් කරන සමාජ ඛේදවාචකය ද යන්න තීරණය කළ යුත්තේ පාඨක ප්‍රජාව ම ය.


E- මේල් කෙටිකතාව


සෑම පුද්ගලයෙකුට ම ජීවත් වීම සදහා මුදල් අවැසි ය. එහෙත් මුදල් අවැසිතාව මත ජීවත් නොවිය යුතු ය. මන්ද එබඳු පුද්ගලයන්ට සිය ජීවිත කාලයේ අවසන් සමයේ දී පශ්චාත්තාප වන්නට සිදුවන බැවිනි. ‘‘E- මේල් කෙටිකතාව’’ නමැති නිර්මාණය සාමාන්‍ය තත්ත්වයේ, එසේත් නොමැති නම් සාම්ප්‍රදායික වර්ගයේ කතාවක් වුව ද කතුවරයා එතුළින් තවත් බරපතළ සමාජ ඛේදවාචකයක් පිළිබිඹු කර ඇත. එකි ඛේදවාචකය ඉතා කෙටි වදන් ගොන්නකින් කතුවරයා ම මෙලෙස පවසයි.


‘‘ඔහු මේ රටේ ම ජීවත් වී මේ රටේදීම මිය ගිය අයෙකු ලෙස ඔහු සතුව ඔහුගේ නමට කුඩා ගෙවත්තක් සහිත කෑලි දෙකක නිවසක් හිමිව සිටි අදර්ශවත් ජීවිතයක් ගත කළ ගුරු පියෙකි..නමුත්.... අම්මා, බිරිඳ, දූ දරුවන්, මේ ජීවිතය ආදී සියල්ල කැප කොට මා අත්පත් කොට ගෙන තිබුණේ කෑලි තුනක නිවසක් පමණක් බව මට දැන් වැටහේ. වෙනත් අයුරකින් කිවහොත් මා මේ සියල්ල නැති කරගත්තේ එක කාමරයක් උදෙසාය.’’


පිටුව 131


මෙරු ගිර

කෙදිනක හෝ පොළොවට පස් වී දිරා යන මිනිස් සිරුර පමණක් රැගෙන මෙලොවට ජනිත වන මිනිස් ජීවියා උපත ලද මොහොතේ සිට ම අන් අය තමන්ට ලබා දෙන (නම, රට, ජාතිය, ආගම) භෞතික සහ අභෞතික බොහෝ දෑ එකතු කරගැනීමේ සිට කාලය ගෙවී යත්ම ඊට එකතුවන අධ්‍යාපනය, රැකියාව, ස්ත්‍රියක් නම් පුරුෂයකු මෙන් ම පුරුෂයෙක් නම් ස්ත්‍රියක්, මුදල්, වාහන, ඉඩම්, නිවාස යනාදි කිසිවක් ම ආපසු යන විට රැගෙ නොයන්නේ ය. නමුදු ජීවත්ව සිටින තාක් කුමක් හෝ යමක් සිය බුක්තියට හිමි කරගන්නට උපරිම උත්සාහ දරයි. මෙකී යථාර්ථය සහ එහි විපාකය කතුවරයා මෙලෙස සටහන් කරයි.


‘‘එදා මුල් වරට මුහුද ආපසු මුහුද දෙසටම ඇදුන විටදී මිනිසුන් බොහෝ දෙනෙකු අලුතින් ඇතිවූ ඉඩ කඩ තම භූමි ප්‍රමාණයට ඈඳා ගන්නට උත්සාහ කිරීමත් එයින් බොහෝ දෙනෙකු එකී නව ඉඩමේ වැට ගසන අතර ආ උමතු රළ විසින් බිලිගත් බවත් ප්‍රකට කරුණකි.’’


පිටුව 133


මෙම කෙටිකතාව තුළින් කතුවරයා එක් පසෙකින් මිනිසෙක් නොමග යන්නේ කෙසේ ද යන්නත් තවත් පසෙකින් එසේ නොමග ගිය පුද්ගලයන් සමාජයෙන් වියුක්ත කිරීම කුමනාකාරයේ ප්‍රතිඵල අත්කර දෙන්නේ ද යන්නත් ප්‍රකට කරයි. නමුදු වඩාත් උත්ප්‍රාස ජනක සිදුවීම නම් කිසියම් පුද්ගලයෙකු ව්‍යසනකාරී තත්ත්වයට ඇද දමන පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් ම මතු දිනක එකී පුද්ගලයා කෙරෙහි ඍණාත්මක ආකල්ප දක්වන ආකාරය සහ ඔවුන් විසින් ම අදාළ පුද්ගලයා සමාජයෙන් වියුක්ත කර තබන්නට දරනු ලබන උත්සාහය පිළිබඳව කරන හෙළිදරව්ව ය.

 


එක නිර්මාණයක් තුළ මේ ආකාරයට මාන කිහිපයක් පිළිබඳව ම සාකච්ඡා කෙරෙන මෙම කෙටිකතාව පතුරු සලාදයක් බඳු ය. මන්ද පලතුරු සලාදයක තිබෙන පලතුරු වෙන වෙන ම ආහාරයට ගත්ත ද ගුණ ය; රස ය. සලාදයක් ලෙස ආහාරයට ගත්ත ද ගුණ ය; රස ය. නමුදු ‘‘පලතුරු සලාදය’’ යනු වෙන වෙන ම ආහාරයට ගත හැකි රස, ගුණ පිරි පලතුරු වර්ග කිහිපයකින් සුසැදි ආහාරයක් යන්න ‘‘පලතුරු සලාදය’’ ආහාරයට ගන්නා මොහොතේ කිසිවකු නොසිතන බැවිනි; නොවටහගන්නා බැවිනි.

 


ජීවිතේ මල්


මෙම කෙටිකතාව ද යට කී ආකාරයෙන් වෙන් වෙන් ලෙස ගෙන කපා කොටා එකම භාජනයක දමා සකස් කල පලතුරු සලාදයක් බඳු ය. එතුළින් ‘යුද්ධය සහ දේශපාලනය’ යනු එකිනෙකට වෙන් කළ නොහැකි, වෙන් කිරීමට පාලකයෝ අකමැති ක්‍රියාවක් බව මැනවින් ප්‍රකට කර ඇත. කතුවරයා එකී යථාර්ථය තවත් ආකාරයකින් ඉතා සරලව මෙලෙස ඉදිරිපත් කරයි.


‘‘අධිරාජ්‍යවාදීන්ගේ යුගවලට පසුව පිළිතුරු නොමැතිව උග්‍ර වූ විරැකියාව සඳහා හොඳම ඔසුව බවට පත්වූයේ උතුරු නැගෙනහිර යුද ක්‍රියාකාරිත්වය ය’’

පිටුව 143


එතැනින් නොනවතින කතුවරයා ‘‘රණවිරු’’ සංකල්පයේ තිත්ත ඇත්ත මෙලෙස විද්‍යමාන කරයි.


‘‘එය අනාගත සැලසුම් නොමැතිව අසරණ වූ ආණ්ඩුවලට කෝකටත් තෛලය බවට පත්වී තිබිණ. ජුකී මසන්නට ඇඟලුම් කම්හල වෙත යොමු කෙරුණු ලාබ ශ්‍රමය දිව්‍යමය කාර්යයක් කළ ඔවුහු සොල්දාදුවා රණ විරුවකු කොට පිදූහ’’

පිටුව එම

 

යුද්ධයේ කටුක යථාර්ථය පිළිබිඹු කෙරුණ දෙස් විදෙස් සිනමා සහ සාහිත්‍ය නිර්මාණ අනන්ත ය; අප්‍රමාණ ය. මෙරට ද එකී ව්‍යසනය පිළිබඳ සාකච්ඡා කෙරුණු සිනමා නිර්මාණ කිහිපයක් විය. නමුදු ඇත්ත යනු තිත්ත ම දෙයක් වූ නියාවෙන් එකී නිර්මාණ පාලක පෙළැන්තියේ මෙන් ම එකී පෙළැන්තියට බැළ මෙහෙ කරනවුන්ගේ නිර්දය විවේචනයට බඳුන් විය. එතැනින් නතර නොවී අදාළ නිර්මාණකරුවන් එල්ලා මරන්නට අවැසිය යන තරමට එකී විරෝධතාව වර්ධනය කළේ ය.

 

veeraya gedara avithdf

 


යුද්ධය, දේශපාලනය, යුද සෙබළා සහ දේශපාලකයා පිළිබඳ තිත්ත ඇත්ත නිරාවරණය කළ ටෙලි නිර්මාණයක් ලෙස නාමල් ජයසිංහගේ තිර පිටපතකට අනුව ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ ‘‘වීරයා ගෙදර ඇවිත්’’ ටෙලි නිර්මාණය වෙසෙස් ස්ථානයක පැවතිණ. නමුදු අපේ රටේ බහුතරයක් ප්‍රේක්ෂක ප්‍රජාවෝ එකී ටෙලි නිර්මාණය තුළින් පිළිබිඹු කළ ‘තිත්ත ඇත්ත’ වටහා ගත්තේ ද යන්න සැක සහිත ය. මන් ද බොහෝ ප්‍රේක්ෂක ප්‍රජාවෝ එම නිර්මාණය නැරඹුවේ හුදෙක් ‘‘රණවිරු’’ සංකල්පය උත්කර්ෂයට නංවමිනි.

 


අමිත්ත වීරසිංහ සිය ‘‘ජීවිතේ මල්’’ නමැති කෙටිකතාව තුළින් ප්‍රකට කරන්නට යත්න දරා ඇත්තේ ද නාමල් කළ දේට සාපේක්ෂ ක්‍රියාවලියකි. නමුදු එය ඔහු ඉදිරිපත් කරන්නේ සරල, සුගම සිද්ධි ගොන්නක් එක පෙළට අමුණමිනි. එහි යටි පෙළ කියවාගත හැකි නම් යුද්ධය යනු කෙතරම් ම්ලේච්ඡ ක්‍රියාවලියක් ද යන්න අවබෝධ කරගත හැකි ය.


Feeling Awesome With නිරිතදිග මෝසම්


මෙම කෙටිකතා සමුච්චය තුළ මගේ වැඩි අවධානය යොමු වූ නිර්මාණයක් ලෙස මෙන් ම මා වඩාත්ම කැමති නිර්මාණය ලෙස ‘‘නිරිතදිග මෝසම්’’ හැඳින්විය හැකි ය. එහි අනුභූතිය ද, ආකෘතිය ද, කතා සංකල්පය ද අනෙක් නිර්මාණවලට වඩා සපුරා ම වෙසෙස් ස්ථානයක් උසුලයි.

 

නූතන තාක්ෂණික වර්ධනයත් සමග පුද්ගලිකත්වය යන්න අවප්‍රමාණයට ලක් වෙමින් පවතී. එයට ආසන්නතම මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍යයයි. කතුවරයා පවසන පරිදි ම එතුළින් තවමත් විද්‍යාමාන නොවූයේ වැසිකිළිය සහ මෙවුන්දමෙහි යෙදෙන යහන පමණි. නමුදු ලංකාවේ නම් එකී යහනේ සාර සුභාව ද මැනවින් ප්‍රදර්ශනය කළ විඩියෝවක් දැනට වසර තුන හතරකට පෙර අන්තර්ජාලයේ සැරිසැරී ය. එහෙත් එකී විඩියෝවේ පෙනී සිටි දෙපළ ම අදත් කිසිදු ලජ්ජාවකින් තොරව සමාජයේ යෙහෙන් වැජඹෙති; සමාජය ද කිසිදු වෙනසක් නොපෙන්වා එකි යුවල පිළිගන්නා තත්ත්වයක පවතී.

 

කතුවරයා, ‘නිරිත දිග මෝසම්’ නිර්මාණයට පාදක කරගන්නේ නූතන තාක්ෂණය හේතුවෙන් සමාජයේ සුදනන් ලෙස ජීවත්වන බොහෝ පුද්ගලයන්ගේ දුදන ගති සිරිත් හෙළි කළ හැකි මෘදුකාංගයක් නිර්මාණය කෙරෙන ආකාරය සහ අවසානයේ දී දේශපාලන මැදිහත්වීමක් හේතුවෙන් එය වළකාලන ආකාරය යි. ඒ දේශපාලන මැදිහත්වීම සිදුකෙරෙන්නේ මෙකී මෘදුකාංගය තුළින් දේශපාලකයන්නේ නිරුවත ද හෙළිදරව් වන බැවිනි. නමුදු එකී මැදිහත්වීම සිදුවන්නට පෙර සමස්ත රටේ ම බොහෝ ව්‍යසන සිදුවිය. එකී ව්‍යසනයට බඳුන් වූයේ යට කී ආකාරයට සමාජය ඉදිරියේ සුදනන් ලෙස පෙනී සිටි දුදනෝ ය. (දුදනන් සුදනන් ද සාපේඛ බව ද සිහි තබාගත යුතු ය) මෙම නිර්මාණයේ වටිනාකම වඩාත් තීව්‍ර වන්නට නම් පාඨක ප්‍රජාවෝ එය කියවිය යුතු ම ය. එබැවින් එහි කොටසක් හෝ උපුටා දක්වන්නට මම උත්සාහ නොකරමි. මන්ද එක් කොටසකින් පමණක් මෙකී නිර්මාණයේ වටිනාකම පිළිබිඹු කළ නොහැකි බැවිනි.

 

ප.ලි. මෙම ලිපියේ එන උපුටාගැනීම් සියල්ලෙහි ම අක්ෂර විනයාස සහ පද බෙදීම් ඒවායේ අන්තර්ගත ආකාරයෙන් බව සලකන්න.


jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත
2021/08/14

 

 

 


THE LEADER TV 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්