1200 x 80 DMirror

 
 

විභාගෙ පාස් කරගන්න සිලබස් එකට අදාළ පොත් ටික කියවන්න; ජීවිතේ පාස් කරගන්න අමතර පොත් පත් කියවන්න



‘‘ගිරා පෝතකයෝ, ඒ මන්ත්‍රණය අසා නිමවා උන් දෙන්නා මන්ත්‍රණය කොට අන්තයෙහි සාලෙක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිඬක් හෙළා ‘කිමෙක්දැයි’ කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිඬක් හෙළා ‘ක්‍රීන්’ යන අනුකරණයෙන් හඬ නගමින් කොළ’ත්තේ උඩ නැගී ‘කේවට්ටය, තෝ තමාගේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණය යැයි සිතයි ද? දැන් ම සකන්වැ ගියේ ය. නැවත අට කනකට ගොස් පසුව නොයෙක් සිය කනකට යන්නේ යැ’ යි කීහ. ගිරවා ‘කොළ, ගනුව’ කියද්දී ම පවනට බඳු වේගයෙන් පියාසර කොට මියුළු නුවරට ගොස් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ ප්‍රාසාදයට වන්හ.’’

සිය දෙනෙත, මනස, මතු නොව හදවත ද සපුරා ම උම්මග්ග ජාතක පොත සමග බද්ධ කරගෙන එහි එක් ඡේදයක් හඬ නගමින් නොනවත්වා ම කියවාගෙන ගිය අමෝද්‍ය සර් අසුරු සැණෙකින් මා වෙත අත දිගු කර ‘‘අහිංසනා... කියන්න බලන්න ගිරව කේවට්ට බමුණගෙ ඔළුව උඩට අතෑරියෙ මොනවද කියල...’’ යැයි මගෙන් විමසී ය.

අමෝද්‍ය සර් කියවාගෙන ගිය කිසිවක් ම මගේ සිතේ රැඳී නොතිබිණ. මන් ද ඒ මොහොතේ මගේ සිරුර පංති කාමරය තුළ පැවතිය ද සිත ලැගුම් ගෙන තිබුණේ අමෝද්‍ය සර්ගේ සිරුර තුළ ය. ඉදින් කෙසේ නම් මා අමෝද්‍ය සර්ගේ පැනයට ක්ෂණික පිළිතුරක් සපයන්න ද...?

 

"Green Girl in a Red World " painting oil on canvas by Shana James


එළඹෙන නිමේෂයේ මුහුණ පෑමට සිදුවන අභාග්‍ය මා මතු නොව පංතියේ සිටින සියලු දෙනා දැන සිටියහ. එහෙත් කළ යුතු කිසිවක් ම සිහියට නොනැඟේ; ඉතිරිව ඇත්තේ එක’මෙක දෙයක් පමණි. ඒ, සුපුරුදු දඬුවම විඳීමට සිත එකග කර ගැනීම ය. එය මට පමණක් නොව අමෝද්‍ය සර් විමසන පැනයකට පිළිවදන් සපයන්නට අපොහොසත් වන ඕනෑ ම ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට විඳින්නට සිදුවන දුෂ්කරක්‍රියාවකි.

‘‘මං හැමදාම කියනව ගෙදර-දොරේ ප්‍රශ්න, තම තමන්ගෙ පුද්ගලික ප්‍රශ්න හැම එකක් ම පංති කාල සීමාවෙදි අමතක කරන්න කියල. මං මගේ කට රිදෙනකං තමුසෙලට කියල දෙනව. තමුසෙලට ඒකෙ කිසි ගානක් නෑ. හැබැයි අංතිමේ දි දෙමව්පියො යි ප්‍රින්සිපලුයි, ඔය කලාප කාර්යාලෙං එන ටයි පටිකාරයො යි මොකද්ද කියන්නෙ...? ‘විෂය බාර ගුරුවරය සිලබස් එක කවර් කරල නෑ නෙ...’ කියල. එහෙම නේද...? ඒ හිංද මට බෑ තමුසෙලගෙ පවුවලට කර ගහන්න. අහිංසනා... එනව ඉස්සරහට... ඇවිත් මගේ පීරියඩ් එක ඉවර වෙනකං පංතිය දිහා බලාගෙන දණ ගහගෙන ඉන්නව. ඒ වගේ ම මේකත් මතක තියාගන්නව... මං පාඩම කියල දෙන අතතුරත් තමුං ගැන අවධානෙන් ඉන්නව. ඒ වෙලාවෙදිත් ඔය කඳ විතරක් පංතියෙ තියෙද්දි හිත වෙන කොහේ හරි රිංගුවොත්... දන්නව නෙ ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල...?’’

අමෝද්‍ය සර්ගේ ගැඹුරු මෙන් ම මිහිරි කටහඬ සිංහල උසස් පෙළ A පංතිය පමණක් නොව B, C, D යන පංති තුන ම පිහිටි ශාලාව පුරා දෝකාර දුන්නේ ය. මගේ පංතියේ ළමයි මතු නොව අනෙක් පංති තුනේ ම ළමයි සහ ගුරුවර ගුරුවරියෝ ද තත්ත්පර පහක් පමණ අපේ පංතිය දෙස අවධානය යොමු කළේ ගුරුවරයෙකුගේ බැණ අඬගැසීමක් සවන වැකුණු ආකාරයෙන් නොව, එම පංතිය තුළ මහත් කලබගැනියක් සිදුව ඇතැයි යන හැඟීමෙනි. එහෙත් එය ක්ෂණිකව ම සමනය කරන්නට අමෝද්‍ය සර් සමත් විය. ඒ, වෙනදා මෙන් ම ඔහු ද ඇසි පිය නොසලා ම අනෙක් පංතිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුවර ගුරුවරියන් දෙස බලා සිටීමෙනි.

saks

‘ඇත්ත... සර්ගෙ පැත්තෙන් බැලුවම ඒක සාධාරණයි. සර් හැමදාම කියන්නෙ... සර්ට ආණ්ඩුවෙන් වැටුපක් ගෙවනව. ඒ වැටුප ගෙවන්නෙ රටේ අනාගතය බාරගන්න ඉන්න පරපුරට නිවැරැදි අධ්‍යාපනයක් ලබා දීල එයාල යහපත්, උගත් බුද්ධිමත් පුරවැසියො කරන්න කියල. ඉතිං අපි වෙන වෙන පිස්සු කෙළියම නරක නාමෙ සර්ට නෙ...’

සිතුවිලි දාමයක වෙළෙමින් ම පංතිය ඉදිරියට ගිය මම පංතිය දෙස බලාගෙන ම දණ ගසාගත්තෙමි. මෙය මට පමණක් නොව පාඩම කෙරෙහි අවධානය යොමු නොකරන ඕනෑම ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට අත්වන ඛේද ජනක තත්ත්වය යි. මෙම අත් දැකීම තමන් සතු කර නොගත් ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක මේ පංතිය තුළ සොයා ගැනීම කළුනික සොයාගැනීමටත් වඩා අසීරු ය.

මා පාසල් ගමන ඇරඹි දා සිට මේ දක්වා ම පංතියේ පළමු ශිෂ්‍යයාව නොවුණ ද හතරවන ස්ථානය පසු නොකළේ ය. ඒ පිළිබඳ මා සිත තුළ පවතින්නේ මහත් ආඩම්බරයකි. මා පමණක් නොව නොව මටත් වඩා දක්ෂ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක වුව ද පාඩමට සවන් නොදෙන බව වැටහුණ සැණින් ඔහුට හෝ ඇයට නිසි දඬුවම ලබා දෙන්නට අමෝද්‍ය සර් පසුබට නොවිණ.

‘‘හරි... දැන් දුලන්ති කියන්න බලන්න ගිරව කේවට්ට බමුණට මොනව ද කිව්වෙ කියල...’’

එවර අමෝද්‍ය සර්ගේ නෙත් ග්‍රහණයට හසුවූයේ දුලන්ති ය.

 

සැණින් අසුනෙන් නැගි සිටි දුලන්ති ‘‘අනේ කේවට්ටයො... උඹ හිතන්නෙ ඕක සතර කන් මන්ත්‍රණයක් කියල ද...? උඹ දැනගනින් ඒක දැනට ම සය කන් මන්ත්‍රණයක්. ඊළඟට ඒක අට කනකට ගිහින් පස්සෙ සිය දෙනෙකුගෙ කන්වලට උනත් යන්න පුළුවං’’ යැයි කිසිදු පැකිළීමකින් තොරව ම අමෝද්‍ය සර් බලාපොරොත්තුවෙන් සිටි පිළිතුර සැපයූවා ය. ඇගේ නිවැරැදි ම පිළිතුර මගේ සිතට ගෙන දුන්නේ ඉමහත් සැනසුමකි. එසේ නොවන්නට මගේ තනි නොතනියට දුලන්තිව ද යොදවන්නට අමෝද්‍ය සර් පසුබට නොවන්නේ ය.

 

මේ වන විට මා ප්‍රමුඛ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස පසු කරමින් පියඹා යන්නේ උසස් පෙළ පංතියේ පළමු වාරයේ අවසන් දින කිහිපය යි. අමෝද්‍ය කුමාරසිංහ නමැති සිංහල විෂය භාර ගුරුවරයා මා ප්‍රමුඛ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සිය දැනුම බෙදාහරින්නට පැමිණියේ මේ වසරේ උසස් පෙළ පංති ආරම්භයත් සමගිනි. තවත් සරල ලෙස පවසන්නේ නම් මේ පංතිය ආරම්භ වී ගෙවී ගිය කාලයත් අමෝද්‍ය කුමාරසිංහ ගුරුවරයා මේ පාසලට පැමිණ ගෙවී ගිය කාලයත් අප සියලු දෙනා ම පසු කර යන්නේ නිවුන් දරුවන්ගේ වයස ගෙවී යන ආකාරයෙනි.



නිවුන් දරු උපතක් බඳු ඒ සිදුවීම් යුගල මගේ වර්තමානය සපුරා ම වෙනසකට ලක් කළේ ම’සිතට ද නොදැනෙන, නොහැඟෙන ලෙසිනි. වර්තමානයේ සිදුවන සෑම සිදුවීමක් ම මගේ අනාගත දිවිය ඉමහත් වෙනසකට ලක් කරන බව සිහිනෙන් පවා ම’සිතේ සිත්තම් වන්නේ ය.

 

අමෝද්‍ය සර් පළමුවෙන් ම පංතියට පැමිණි දිනය මගේ මතකයේ රැඳී තිබෙන්නේ කිසිදා මකා දැමිය නොහැකි උපන් ලපයක් ලෙසිනි. මට මගේ උපන් දිනය අමතක වුව ද අමෝධ්‍ය සර් අපේ පංතියට පැමිණි දිනය නම් අමතක නොවන්නේ ම ය.

‘දෙයියනේ...! මං මේ මොනවද හිතන්නෙ... සර් ආයෙත් මොනව හරි ඇහුවොත් මං කොහොමද සර්ට ඒවට උත්තර දෙන්නෙ... ඇයි දෙයියනේ සර් ඉදිරියෙ මං මේ තරමට ම අසරණ වෙන්නෙ... ඒ මගේ ගුරුවරය... මගේ වගකීම වෙන්නෙ එයාගෙ වගකීම නොපිරිහෙලා ඉටු කරන්න උදවු කරන එක නේද... ඒ කියන්නෙ... සර් අවංකව ම කරන එයාගෙ වෘත්තීය වගකීම තව දුරටත් පවත්වාගෙන යන්න සහයෝගෙ දෙන එක නේ ද...?’

මෙවැනි සිතුවිලි ම’සිත අරක් ගත් වාර අනන්ත ය; අප්‍රමාණ ය. එහෙත් ගනඳුරේ නිවි නිවී දැල්වෙන, දැල්වි දැල්වී නිවෙන කදෝපැණි ආලෝකය මෙන් ඒ සිතුවිලි ද නිවි නිවී දැල්වීම වළකාගත නොහැකි ය.



‘‘ආයුබෝවන් කිව්ව හැමෝට ම...! මං අමෝද්‍ය කුමාරසිංහ... මං තමයි අද ඉඳල ඔයාලට සිංහල විෂයය යි සාහිත්‍යය යි උගන්නන්නෙ. ඔයාල හැමෝ ද දන්නව සිංහල කිව්වම සාහිත්‍ය අනිවාර්ය යි. හැබැයි සාහිත්‍ය කිව්වම සිංහල විතරක් ම නෙවෙයි. සාහිත්‍ය කිව්වම... රුසියන්, සෝවියට්, ජර්මන්, ප්‍රංශ, ඉංග්‍රීසි, ඇමරිකන්, වංග වගේ ම දෙමළ සාහිත්‍යයත් අපිට වැදගත්. ඒ උනාට සිලබස් එකට තියෙන්නෙ සිංහල සම්භාව්‍ය කෘති දෙකක්. එකක් උම්මග්ග ජාතකය... අනික ගුත්තිල කාව්‍ය. මගේ වෘත්තීය වගකීම විදියට ඒ කෘති දෙක ඔයාලට උගන්වන අතරතුර අමතර කියවීම් විදියට විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍ර උණ කෘතිත් සැරින් සැරේට ඔයාලට දෙන්නං. ඔයාල ඒ පොතුත් කියවන්න; කියවල ඒ පිළිබඳ තම තමන්ට දැනෙන විදිය වගේ ම තම තමන්ගෙ දෘෂ්ටි කෝණයට ගෝචර වෙන විදිය මට කියන්න. කෙටි සටහනක් විදියට ලියල දෙනව නං හුගක් වටිනව. ඒ ගැන ලැජ්ජ වෙන්න හරි බය වෙන්න හරි ඕන නෑ. ඒ වගේ ම ඔයාල නොදන්න... ඔයාලට නොතේරෙන ඕන ම දෙයක් මගෙං අහන්න; මාත් එක්ක සාකච්ඡා කරන්න. මොකද මං හිතනව මගේ වගකීම වෙන්න්නෙ ඔයාලගෙ විභාගෙ පාස් කරන එක ම විතරක් නෙවෙයි. මට සෑහීමකට පත්වෙන්න පුළුවං වෙන්නෙ ඔයාලගෙ ජීවිතෙත් පාස් කරවන්න පුළුවං උනොත් විතරයි. ඒ නිසා විභාගෙ පාස් කරගන්න සිලබස් එකට අදාළ පොත් ටික කියවන්න; ජීවිතේ පාස් කරගන්න අමතර පොත් පත් කියවන්න.’’

අමෝද්‍ය සර් අපේ පංතියට ගොඩ වැදුණු පළමු දිනයේ පළමු පාඩම ඉගැන්වූයේ ඒ ආකාරයෙනි.

අන් කිසිදු ගුරුවරයෙක් සතුව නොතිබුණු ආකාරයේ ගාම්භීර බවක් ද, ආකර්ෂණීය බවක් ද, සිත් ඇදගන්නාසුලු වාග් විලාසයක් ද අමෝද්‍ය සර් සතුව පැවතිණ. පංතියේ සියල්ලෝ ම: ඒ රුවට, ඒ හඬට, ඒ වාග් චාතුර්යයට ආසක්ත වූහ.

Abstract Painting Class

වෙනත් නවක ගුරුවරයෙකු පංතියට පැමිණි විගස කරන්නේ පංතියේ සිටින සියලු දෙනාගේ නම්, ගම්, දෙමාපියන්ගේ විස්තර, රැකියා, ළමයි පාසලට පැමිණෙන්නේ කොහි සිට ද..., කෙසේ ද යනාදි ප්‍රශ්නාවලියක් ළමයින් වෙත යොමු කිරීම ය. එහෙත් අමෝද්‍ය සර්...

‘‘ඔයාල ඉස්කෝලෙ යන්න පටංගත්තු දවසෙ ඉඳල මේ දක්වා ඉස්කෝලෙ පොත්වලට අමතරව: නවකතා පොත්, කෙටිකතා පොත්, කවි පොත්, යොවුන් සාහිත්‍ය පොත් එහෙම කියවල තියෙනව ද...? අඩුම ගානෙ චිත්‍රකතා පොතක් දෙකක් හරි කියවල තියෙනව ද...?

පංතිය දැඩි නිශ්ශබ්තාවකින් වෙළාගත්තේ රට ජාතිය වෙනුවෙන් සටන් වැද දිවි පිදූ රණ විරුවන් සිහිපත් කරන මොහොතක මෙනි. සියලු දෙනාගේ නෙත් කිරණ යොමුව පැවතියේ සර්ගේ දෙනෙත් තුළට ය. පවතින නිශ්ශබ්දතාව බිඳින්නට කිසිවකු රුචි නොවන බව හැඟී ගිය හෙයින්දෝ සර් විසින් ම ඒ නිශ්ශබ්දතාව බිඳ දමනු ලැබී ය.

‘‘මට සාහිත්‍ය උගන්නන්න වෙලා තියෙන්නෙ පුදුම දරුවො ටිකකට නෙ...!’’

තමන්ට ම චෝදනාවක් එල්ල කරගත් සර් එසැණින් පංතියේ සිටින සෑම ළමයෙක් වෙත ම සිය උකුසු ඇස් යොමු කළේ අහස දෙස බලා සිටිනා කුකුළු පැටවු රංචුවක් අතරින් කුමන කුකුළු පැටියා ග්‍රහණයට ගන්නේ ද යන සිතුවිල්ලෙනි.



‘‘මගේ වම් අත පැත්තෙ තුන්වෙනි පේළියෙ තුන්වෙනි ළමය... කියනව බලන්න ඉස්කෝලෙ පොත්වලට අමතරව තමන් කියවපු, තමන්ගෙ සිත සතුටු කරපු පොතක් තියෙනව ද කියල...?


ඉවර නෑ...

jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත

2022/01/18

 

Leader Whats app


 




බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip




මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන



සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58