එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඊයේ (24) කළ ඉල්ලීමට නිහතමානිව පිළිගන්නා බවත්,

ඒ අනුව මේ මොහොතේ සිට ඔහු සමග එක්ව කටයුතු කිරීමට තීරණය කල බවත් එජාපයේ හිටපු මහ ලේකම්, තිස්ස අත්තනායක පවසයි.

ඔහු විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.

''ඉතිහාසයේ සිදුවූ සියලු අමිහිරි මතකයන් පසෙකලා ඔබතුමා සමඟ මේ මොහොතේ එක්වනුයේ මාගේ දිවි දෙවැනි කොට සුරකීමට කැපවූ පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ අපේක්ෂාව සඵල කිරීම මාගේ යුතුකම සහ වගකීම වන බැවිනි.'' එම ලිපියේ සඳහන් වේ.

තිස්ස අත්තනායක විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත යොමුකල ලිපිය පහත සඳහන්වේ.

''විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස ඔබතුමා කල නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව සඳහන් කරුණු කැමැත්තෙමි.

පලමුව, එම ඉල්ලීමේදී මාගේ නම සඳහන් කරමින්ම කල ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කොට මේ මොහොතේ ඔබතුමාගේ ඉල්ලීම සමඟ එකඟව කටයුතු කිරීමට තීරණය කල බව ගෞරවයෙන් දන්වා සිටිමි.

sep 25 text 1එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසාවෙනි.

2015 ජනාධිපතිවරණයට පක්ෂයේ  අපේක්ෂකයෙකු නම් කිරීමට සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂවල එකඟතාවය ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක් උදාවී තිබියදිත්, එයට පටහැනිව පක්ෂය ගත් තීරණය නිසා වර්තමානයේ අප අත්විදින අනතුර මා දුටු නිසාත් ඒ පිළිබඳව මා නැඟු හඩ, නොසලකා හරිමින් කටයුතු කිරීම පිළිබඳව ඇතිවූ බරපතල කම්පනය එම තීරණය ගැනීමට හේතුවක් විය.

මේ පිළිබඳව සවිස්තරාත්මකව මම එළිදක්වන “නොකියු කතා“ ග්‍රන්ථයේ සටහන් වේ. පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කොට පක්ෂය ජයග්‍රහණය කරවීමට මා තුළ තිබූ අපේක්ෂාව ඉටුවන මොහොත උදාවී ඇති බැවින් යලිත් ඔබතුමා සමඟ අත්වැල් බැද ගනිමි.

ඉතිහාසයේ සිදුවූ සියලු අමිහිරි මතකයන් පසෙකලා ඔබතුමා සමඟ මේ මොහොතේ එක්වනුයේ මාගේ දිවි දෙවැනි කොට සුරකීමට කැපවූ පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ අපේක්ෂාව සඵල කිරීම මාගේ යුතුකම සහ වගකීම වන බැවිනි.

හෙට දිනයේ ඔබතුමාගේ නායකත්වයෙන් ගොඩනගන ශ්‍රී ලංකාවේ අනාගතය සවිමත් කිරීමට මා මෙන්ම පක්ෂයෙන් ඈත්ව කටයුතු කරන සියල්ලන්ටම යලි එක්වන ලෙස ආරාධනා කරනු කැමැත්තෙමි.

ඔබතුමා සමඟ එක්ව පක්ෂයෙන් ඈත්වු ජයග්‍රහණය හෙට දිනයේ යලි තිර කිරීමට මාගේ සියලු ශක්තිය උපරිමයෙන් යොදවන බවටත් මා කෙරෙහි ඔබතුමා තැබූ විශ්වාසයට උපරිම සාධාරණත්වය ඉටු කරන බවටත් ප්‍රතිඥාවක් දෙනු කැමැත්තෙමි.''

කාටුන්

නවතම පුවත්