ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,

සිය පක්ෂයේ සහයදිය යුත්තේ කවර අපේක්ෂකයාටද යන කාරණය ලබන සඳුදා පැවැත්වීමට නියමිත එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීන්දු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී එම තීරණය ගෙන තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැති බව වාර්තා වේ.

සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍යයට පැවසූවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන සඳුදා දිනයේ පැවැත්වීමට නියමිත බවයි. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා ගන්නා බවද ඔහු පැවසිය.

 

ජනාධිපති හා රාජපක්ෂ සොයුරන් අතර හමුවක් !

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් අද (28) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ද මෙම විශේෂ හමුවට එක්ව තිබිණ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ හමුවු පලමු අවස්ථාවද මෙයයි.

මෙම හමුවේදී 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කර, ඉදිරි මහමැතිවරණයේදී වෙනත් ලකුණකින් තරඟ වැදීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා කර එකඟතාවක් ඇතිකරගත යුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ද විමසීමක් කළ යුතු බවයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ද හමුවිය.  

theleader.lk වෙත වාර්තාවන පරිදි ජනාධිපතිවරයා මේ අතරවාරයේ හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ද හමුව ඇති අතර ඉදිරි ජනධිපතිවරණය සම්බන්ධයෙන් ඔහු සමග ද දීර්ග වශයෙන් සාකච්ජා කර තිබේ.

 

ජනාධිපති උපදේශකයින්ගේ ස්ථාවරය?

අද දිනය තුල සිදුවූ ඉහත දේශපාලන නායකයින්ගේ හමුවීම්වලින් අනතුරුව ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන් හා ඔහුගේ උපදේශකයින් හමුවී ඔවුන්ගේ අදහස් හා යෝජනා ද විමසා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. ශ්‍රීලනිපය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය යුතු බව ඔවුන් සියලු දෙනාම අදහස වී ඇතැයි ද පැවසේ.

ගෝඨාබය රාජපක්ෂට සහය දැක්විය යුතු බවට ආචාර්ය ධම්ම දිසානායක ආණ්ඩුකාරවරයා එහිදී යෝජනා කර ඇති බවත්, එජාපෙ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්විය යුතු බවට ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශීරාල් ලක්තිලක අදහස් දක්වා බවත් එම ආරංචිමාර්ග තවදුරටත් පවසයි.

එම ආරංචිමාර්ග වලට අනුව,  උතුරේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් ඇතුළු කිහිප දෙනෙකුම යෝජනා කර ඇත්තේ ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිවලට සමාන ප්‍රතිපත්ති හා වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර දිසානායකට සහය ලබාදීම කාලෝචිත බවකි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට ප්‍රකාශකර ඇති ජෙනරාල් මහේෂ් සේනානායක සම්බන්ධයෙන් සලකා බැලීම ද වැදගත් බවට මෙහිදී සාකච්ජාවට බඳුන්ව ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

දයාසිරි සහ සියඹලාපිටිය ගැටෙයි

මේ අතර ශ්‍රීලනිපයට ඇති හොඳම විකල්පය පොදුජන පෙරමුණට එකතු වීම බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය සිදුකළ ප්‍රකාශය අරබයා ඔහු සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

ශ්‍රීලනිප මූලස්ථානය තුළ සිට මාධ්‍ය හමුවක් කැඳවා එවැනි ප්‍රකාශයක් කිරීම උචිත නොවන බවත් එවිට තම කේවල් කිරීමේ හැකියාව දුර්වල බව බවත් දයාසිරි ජයසේකර උක්ත ප්‍රකාශය විවේචනය කරමින් පවසා තිබේ.

එහිදී රංජිත් සියඹලාපිටිය පවසා ඇත්තේ තම ස්ථාවරය ඕනෑම අවස්ථාවක ඍජුව ඉදිරිපත් කරන බවත් දයාසිරි ජයසේකර ශ්‍රීලනිපය එජායට පූට්ටු කිරීමට උත්සාහ කරන බවත් අවශ්‍ය නම් ඕනෑම අයකුට ශ්‍රීලනිපය අතැර එජාපයට යා හැකි බවත්ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්