ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
දෙපාර්ශවය අතර ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කළේය.
ඒ, බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ඉදිරියේදී ලකුණ වෙනස් වෙන්න පුළුවන්ද යනුවෙනි.
ඊට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ "ඒක සාකච්ඡාවලදි කෙරෙන්න ඕන එකක්. රට සුරක්ෂිත කර ගැනීමට ගතහැකි ඕනෑම පියවරක් අපි ගන්න සූදානම්." යනුවෙනි.
එහිදී මාධ්‍යවේදීන් යළි ප්‍රශ්න කළේ ශ්රීලනිපය සමග සන්ධානගතවීම සඳහා ලකුණත් ඕනෙන්ම වෙනස් කළ හැකිද යන්නයි.
ඊටද පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ "නෑ ඉතින් බැරි දෙයක් නෑ නේ.. පුළුවන් දේවල් කරනවා" යනුවෙනි.
බැසිල් ගෙන් වචනයක් එනතෙක් ශ්රීලනිපය කල් ගනී!
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දෙන්නේද නැද්ද ? යන්න සම්බන්ධයෙන් තීරණයකට ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රී (සැප්තැම්බර් 30) රැස් වුවද එහිදී අවසන් නිගමනයකට පැමිණ නොමැත.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන 5 වෙනිදා යළි කැඳවෙන බවට වාර්තා විණි.
ජනාධිපතිවරණයේ එක්ව තරග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ අවස්ථා කිහිපයකදී මුණගැසී සාකච්ඡා පැවැත්වුහ. කෙසේ නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකගතාවයකින් තොරව ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදුවිය.
ඒ ගැන යම් විරෝධතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතුකලද පසුව සාකච්ඡා යළි ඇරඹිණි. එහිදී දෙපාර්ශවය අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාබය රාජපක්ෂ ගැන එකඟතාවක් ඇතිවූ නමුත් ඔහු තරග කරන පක්ෂය ගැන එකඟතාවකට ඒමට නොහැකි විය.
'එජාපය ආදර්ශයට ගත යුතුයි' – වීරකුමාර
සිය පක්ෂය ගෝඨාබය රාජපක්ෂට සහාය ලබාදීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම්‍යශීලිව කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පැවසිය.
අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සිදු කරන සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ද වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇති නමුත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිදු මතයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් වීරකුමාර පැවසිය.
එසේම එක්සත් ජාතික පක්ෂය සුළු පක්ෂවල ඉල්ලීම් සළකා බලා අලියා ලාංඡනය ඉවත් කොට පොදු ළකුණකින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම හොඳ ප්‍රවණතාවයක් බවත් එය ආදර්ශයට ගෙන අනෙක් පක්ෂත් ක්‍රියා කළ යුතු බව ඔහු සඳහන් කළේය.
එසේ නොමැතිව දේශපාලක ගමනක් යාමට හැකියාවක් නැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.