තම සංවිධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක

මෙම සති අන්තයේදී ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැම්පත් කිරීමට නියමිත බව 'ජාතික ජනතා ව්‍යාපාරයේ' ප්‍රකාශකයකු පැවසිය.

ඔහු එබව සඳහන් කලේ මහේෂ් සේනානායක මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ කුමන දේශපාලන පක්ෂයක් යටතේදැයි theleader.lk කළ විමසීමකදීය.

'ජාතික ජනතා ව්‍යාපාරය' මේවනවිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන හෙයින්, පිළිගත් පක්ෂයක් වන  ඒ.එස්.එම්. පෙරේරාට අයත් ජාතික ජනතා පක්ෂයේ 'විදුලි බුබුල' ඡන්ද  සලකුණ යටතේ මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව එම ප්‍රකශකයා සඳහන් කළේය.

එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තිබෙන තත්වයක් තුල එම පක්ෂයෙන් ඉදිරිපත්වීම ගැටලුකාරී නොවන්නෙ දැයි කළ විමසීමේදී ඔහු සඳහන් කලේ, එම තත්වය තුල තවත් පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක් සමග ද සාකච්ජා පවත්වමින් සිටින බවයි.

මේ දිනවල ආගමික කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී සිටින හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක අද (02) උදැසන රත්නපුර සමන් මහ දේවාලය වෙත ගොස් බාරහාර වී ඇත.

 

'ජාතික ජනතා ව්‍යාපාරය' ?

Mahesh Senanayake NPM

2019 සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක තරග වදින බව 'ජාතික ජනතා ව්‍යාපාරය' විසින්  ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, පසුගිය ඉරිදා( සැප්. 29) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති සමුළුවකදීය.

'ජාතික ජනතා ව්‍යාපාරය' රට පුරා විසිරුණු විවිධ ක්‍ෂේත්‍රයන් ආවරණය කරනු ලබන සිවිල් සංවිධාන විස්සක(20) සම පාර්ශ්වකාරීත්වයෙන් නිර්මාණය කරන ලද සංවිධානයකි.

'දේශෝදය ව්‍යාපාරය' සහ 'ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය' යන සංවිධාන දෙක සමාරම්භක සාමාජිකයන් වූ 'ජාතික ජනතා ව්‍යාපාරය' හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ වැනි ක්‍රියාධරයන් නියෝජනය කරන සංවිධානයක් ලෙස පසුගිය කාලසීමාව තුළ දේශපාලන කරළියට පැමිණෙමින් තිබුණි.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ යන දෙදෙනාගෙන් එක් අයකු සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මුලදී ප්‍රකාශ කළත්, පසුගිය අගෝස්තු මාසයේ යුද හමුදාපති ධුරයෙන් සමුගත් ජනරාල් මහේෂ් සේනානායක ඒ සඳහා ඉදිරිපත් කිරීමට ඔවුන් දෙදෙනාගේත් සහයෝගය ඇතිව 'ජාතික ජනතා ව්‍යාපාරය' පසුව තීරණය කරන ලද බවත් ප්‍රකාශ විය.

ඒ අනුව පසුගිය ඉරිදා (29) සිදු කරන ලද්දේ එම තීරණය මහජනතාව ඉදිරියේ ප්‍රකාශයට පත් කරනු ලැබීමය.

 

"මේක සාමූහික තීරණයක්"Oct 02 Text 2 

නීතියේ ආධිපත්‍යය සහතික කිරීම, නාස්තිය සහ දූෂණය පිටුදැකීම සහ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කරුණුවලට මූලිකත්වය ලබා දෙමින් රට දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යොමු කිරීම ජාතික ජනතා ව්‍යපාරයේ බලාපොරොත්තුව බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ.

රට තුළ ඇති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් කිරීමේ අරමුණින් "ජාතියේ ජනාධිපති අපේක්ෂකයා" ලෙස ජනරාල් මහේෂ් සේනානායක ඉදිරිපත්කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ නායකයෝ සමුළුව අමතමින් කියා සිටියහ.

"මෙතැන දේශපාලකයන් නැහැ. මෙතැන ඉන්නේ ස්වේච්ඡාවෙන් මේ රට වෙනස් කරන්න එක්වුන පිරිසක්. මේක මගේ තීරණයක් නෙවෙයි. සාමුහික තීරණයක්." ජනරාල් මහේෂ් සේනානායක සමුළුව අමතමින් කියා සිටියේය.

"මේ රට වැටී තිබෙන සහ වැටෙන්නට යන අගාධයෙන් බේරගන්න ගොඩනගපු සංවිධාන සමූහයක්, කුඩා කුඩා විකල්ප කණ්ඩායම් එක තැනකට ගේන්න මම ඉදිරිපත් වෙනවා - ඔබලාගේ ස්වාධීන අපේක්ෂයා ලෙස" ජනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් සඳහන් කළේය.

"මෙය මේ රට රැකගන්න තියෙන අවසන් අවස්ථාව. මාත් සමග මෙතැන කිසිම හොරෙක් නැහැ- වංචනිකයෙක් නැහැ - යල් පැනපු ව්‍යවස්ථා වෙනස් කරන්න ඕන. ඒ සඳහා දැනටමත් පිඹුරුපත් සකසා තිබෙනවා. එක රටක් තුළ එක නීතියක් ගේන්න මේ කණ්ඩායම කටයුතු කරනවා." ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

 

පාස්කු ප්‍රහාරයෙන් පසු

Pasku Mahesh

2017 ජුනි 27 සිට 2019 අගෝස්තු 18 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි දෙවැනි (22) හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් මහේෂ් සේනානායක, ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ජාතික ආරක්ෂාව නැවත ස්ථාපිත කිරීමට මූලිකත්වය ගත් අයකු හැටියටය.

මහින්ද රාජපක්ෂ රජය 2010 වසරේ දී ඔහු යුද හමුදාවෙන් ඉවත් කරන ලද අතර, 2015 බලයට පත් රජය විසින් ඔහු යළි යුද හමුදාවට කැඳවනු ලැබුණි.

(උපුටා ගැනීම් -බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්