ව්‍යාපාරික ධම්මික පෙරේරා (DP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුම්රුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත

දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම පෙත්සම් විභාගය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කෙරිණ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් 05 ඉදිරිපත් කර තිබුණේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, විදේශීය මාධ්‍යවේදී මාධ්‍යවේදී රෝයල් රේමන්ඩ්, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍ර ජයරත්න ඇතුළු පස් දෙනකු විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුනේ, මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තු මහ ලේකම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ නිතිපතිපතිවරයා ය.

පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ සලකා බැලුණු අවස්ථාවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් දෙන තුරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ හෝ අමාත්‍ය ධුරයේ දිවුරුම් නොදෙන බවට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වී තිබුණි.

ඒ අනුව පෙත්සම් අද කැඳවනු ලැබුවේ දෙවන දිනටයි.


ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ, පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

තම සේවාදායකයා දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කොට ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් තිබේ දැයි තීරණය කිරීමේ බලය තිබෙන්නේ කතානායකවරයා වෙත පමණක් බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

ඒ සඳහා මැදිහත් විමට අධිකරණයට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙනු ලැබීය.

ජාතික ලැයිස්තුවේ ඇති වන පුරප්පාඩුවක් සදහා සුදුසු පුද්ගලයකු පත් කිරීමේ අභිමතය පක්ෂයේ මහලේකම්වරයා සතු වන බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයක් පුරප්පාඩු වන අවස්ථාවක ඊට සුදුසු පුද්ගලයකු පත් කිරීමේ අභිමතය පක්ෂයේ මහ ලේකම්වරයා සතුවන බව යි.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ සමගම ධමිම්ක පෙරේරාට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහා පැවති නිතිමය බාධාවන් ඉවත්විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, මැතිවරණ කොමසාරිස්වරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ,ජනාධිපති ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණි.


පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් පුරප්පාඩු වූ විට ඒ සඳහා පත් කිරීමට හැකියාව ලැබෙන්නේ මහමැතිවරණයේ දී දිස්ත්‍රික්ක සඳහා භාරදුන් නාමයෝජනාවල නම් ඇතුළත්ව සිටින පුද්ගලයකු හෝ, ජාතික ලැයිස්තුවේ නම් සදහන් පුද්ගලයකුට පමණක් බව පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දුණි.


පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ධම්මික පෙරේරාගේ නම ඉකුත් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවේ ඇතුළත්ව නොතිබූ බැවින් ඔහු පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ මන්ත්‍රීධුරයක් සඳහා පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(අ) වන වගන්තියට පටහැනි බව යි.



ධම්මික පෙරේරා බැංකු, මූල්‍ය ආයතන, බලශක්තිය, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ බැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා පත්වීම, සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්වීම තුළින් බරපතළ පක්ෂග්‍රාහීභාවයක් නිර්මාණය වීමට හැකියාව තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

අදාළ පත්කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණි.


CPA Dammika 2022.07.21 1

කවුද මේ ධම්මික පෙරේරා?



# ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස සැලෙකෙන ධම්මික පෙරේරා සිය කුළුදුල් අමාත්‍යධුරය ලෙස තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධුරය භාර ගැනීමට නියමිතය.

# ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනින් පාර්ලිමේන්තු වරම් හිමිකර ගනිමිනි.

# ධම්මික පෙරේරා යන ජනප්‍රිය නාමයෙන් හැඳින්වෙන කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා 1967 දෙසැම්බර් 28 උපත ලැබීය.

# ඔහු ශ්‍රී ලාංකික ප්‍රකෝටිපති ව්‍යවසායකයෙකු, ව්‍යාපාරිකයෙකු, දානපතියෙකු, සහ Vallibel One PLC හි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ ද වේ.

# ඔහු සාර්ථක ආයෝජකයෙකු ලෙස සැලකෙන අතර, ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයන් අතර මුල්පෙළ ගන්නා අයෙකු ලෙස කීර්තියට පත්ව සිටියි.

# හේලීස් සමාගම, සම්පත් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, රෝයල් සෙරමික්ස්, ලංකා වෝල්ටයිල් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුව සිටින ධම්මික පෙරේරා නිසිකලට නිසි පරිදි ආයෝජනය කිරීමේ දක්ෂතාවය නිසා මහා පොහොසතෙකු වූ පුද්ගලයෙකු ලෙස සැලකෙයි.

# කැසිනෝ සමාගම් වල හිමිකාරිත්වයක් දැරූ ධම්මික පෙරේරාට හිමි සමාගම් නානකාමර සෙරමික් හා බිත්ති ටයිල් සහ බිම ටයිල් කැට සඳහා ශ්‍රී ලංකාවේ ඒකාධිකාරයක් හොබවයි.

# ධම්මික පෙරේරා ආයතනික ප්‍රති-ඉංජිනේරුකරණයේ සහ ව්‍යාපාරික ප්‍රබෝධයේ ප්‍රවීණත්වයේ නිරූපකයක් ලෙස හඳුන්වනු ලබන්නේ ක්ෂේත්‍ර හරහා තම ආයෝජන කළඹ තෝරා ගැනීමට ඔහුට ඇති අසාමාන්‍ය හැකියාව හේතුවෙනි.

# ඔහු සමාගම් 23කට ආසන්න සංඛ්‍යාවකට හිමිකම් කියන අතර යුද්ධය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ පුරෝගාමියෙකු ලෙස සැලකේ.

# ඔහු රටට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව නිතර ආමන්ත්‍රණය කිරීමට ද ප්‍රසිද්ධ ය.



ජීව දත්ත

සම්පූර්ණ නම - කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා
උපත - 1967 දෙසැම්බර් 28 (වයස 54)
ගම - පයාගල, කළුතර, ශ්‍රී ලංකාව
අධ්‍යාපනය - තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයය, හොරණ
උසස් අධ්‍යාපනය - මොරටුව විශ්වවිද්‍යාලයය
රැකියාව - ව්‍යාපාරික, ආයෝජක
සක්‍රීය වර්ෂ - 1987 සිට වර්තමානය
බිරිඳ - ප්‍රිසිලා පෙරේරා
දරුවන් - තිදෙනෙකි


හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ඔහුට වයස අවුරුදු 19ක් වූ 1986 දී ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ ය.

කුඩාකල සිටම ඉලෙක්ට්‍රොනික උපකරණ සහ විදුලි උපකරණ කෙරෙහි උනන්දුවක් තිබූ නිසා මොරටුව විශ්වවිද්‍යාලයයේ තාක්ෂණ ආයතනයේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමා (NDT) වැඩසටහනට ඇතුළත් වූ ඔහු පසුව ඉන් ඉවත්වූයේ ව්‍යාපාර කටයුතු කරගෙනයාමට අවශ්‍ය නිසා බව පැවසෙයි.

ධම්මික පෙරේරා 1987 දී පයාගල සිය නිවස ආසන්නයේ යන්ත්‍ර නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කළ අතර 1991 දක්වා එම ව්‍යාපාරය කරගෙන ගියේ ය. පසුව එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජැක්පොට් ඇතුළු යන්ත්‍ර සූත්‍ර ව්‍යාපාර සඳහා පැනවූ තහනම හේතුවෙන් ඔහුට පයාගල මෝටර් රථ අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට සිදුව ඇත.

ඔහු කොල්ලුපිටියේ ඉලෙක්ට්‍රොනික පරිපථ පුවරු අලුත්වැඩියා කරන ටිටෝ ඉලෙක්ට්‍රොනික්ස් නම් ඉලෙක්ට්‍රොනික වෙළඳසැලක් ද පවත්වාගෙන ගියේ ය. ඉන්පසු ඔහු 1993 දී ඉසුරුගිරියේ තමාගේම කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. 1995 දී ඔහු නියොන් බල්බ නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ ය.

1992 වසරේ රෝයල් සෙරමික් සමාගම පාඩු ලබමින් සිටිය දී එහි හිමිකාරීත්වය මිල දී ගෙන පවරා ගැනීමට තීරණය කළේ ය. ඔහු 2000 දී එහි හිමිකරු බවට පත් විය.

පෙරේරා 2002 දී පෑන් ඒෂියා බැංකුව මිල දී ගත්තේ එම බැංකුව පාඩු ලබන මූල්‍ය ආයතනයක් ලෙස සැලකූ අවස්ථාවක ය. 2002 වසරේ පෑන් ඒෂියා බැංකුව අත්පත් කර ගැනීමෙන් පසු ඔහු ජනප්‍රිය ආයෝජකයෙකු වන නිමල් පෙරේරා සමග හවුල්වූ අතර, යුද්ධ නිමවීමෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ වඩාත්ම සාර්ථක ව්‍යාපාරික පුරෝගාමීන් බවට පත්විය.

2014 වසරේ සිට ඔහු වැලිබල් ෆිනෑන්ස්හි විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

Vallibel Finance, Vallibel Power Erathna, The Fortress Resorts, The Queensbury Leisure Ltd, සහ Delmege Limited වැනි ආයතනවල ප්‍රධාන කොටස් ඔහු සතු ය.

ඔහු Hayleys, Royal Ceramics Lanka, Horana Plantations සහ LB Financeහි වත්මන් සම සභාපතිවරයා වේ. Amaya Leisure, Haycarb, Hayleys Fabric PLC, The Kingsbury, Dipped Products, සහ Lanka Floortilesහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි.

පෙරේරා 2017 දී ලංකා ටයිල්ස්හි සභාපති වූ අතර හේලීස් සමාගම විසින් සිංගර් මිල දී ගැනීමට එකඟවීමෙන් පසු 2017 ඔක්තෝම්බර් මාසයේ දී සිංගර්හි (ශ්‍රී ලංකාව) සම සභාපති ලෙස පත් කරන ලදී.

2017 වසරේ ලංකා සෙරමික් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පෙරේරා පත් කරන ලද නමුත්, ඔහු 2018 අගෝස්තු 31 දින එම තනතුරෙන් ඉල්ලා අස්විය.

2017 දී ඔහු ලංකා වෝල්ටයිල්ස්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස ද පත් කරන ලදී. මන්ත්‍රීධුරයට නම්කිරීමෙන් පසු ඔහු අදාළ තනතුරුවල වගකීම් දැරීමෙන් ඉවත් විය.

COVID-19 වසංගතය අතරතුර, ධම්මික පෙරේරා සිසුන්ට නොමිලේ මාර්ගගතව අධ්‍යාපනය ලැබීමට DP Education නමින් වැඩසටහනක් හඳුන්වා දුන්නේ ය.

CPA 2022.07.21 1
චෝදනා ?



# කොළඹ ප්‍රදේශයේ සුවිශේෂී බලපත්‍රයක් සහිතව කැසිනෝ පවත්වාගෙන යාමේ පසුබිම, ඔහුගේ පසුකාලීන සමාගම්වල කළමණාකරණය සඳහා මුදල් සපයන ප්‍රධාන ආදායම් මාර්ගය වූ බව පැවසේ.

# ඔහු රාජපක්ෂ රජය ඔහුව ශ්‍රී ලංකා යෝජනා මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙසත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කරන ලද නමුත් පොදු ප්‍රවාහනයේ කිසිදු දියුණුවක් සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමට හෝ රටට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට අපොහොසත් වූ බවට ද විවේචන එල්ලවිය.

# 2019 ජුලි මාසයේ දී, බ්‍රිතාන්‍යයෙන් කසළ මෙරටට ගෙන්වීම හරහා ආදායම් ඉපැයීම සම්බන්ධයෙන් ධම්මික පෙරේරාට අයත් සමාගමකට චෝදනා එල්ල වූ අතර, එක්සත් රාජධානියේ සිට මෙරටට කසළ ටොන් ගණනක් ආනයනය කරීමේ එම සිද්ධිය මෙරට තුළ මතභේදාත්මක කාරණයක් විය.

# කෙසේ වෙතත් අදාල සමාගම ශ්‍රී ලංකාවට කසළ ආනයනය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ධම්මික පෙරේරාට අයත් සමාගම තරයේ ප්‍රතික්ෂේප කළේ ය. පසුව එම කසළ තොගය බ්‍රිතාන්‍යයටම ප්‍රතිඅපනයනය කෙරිණ.


(BBC සිංහල සේවය)

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්