ස්වාධින පක්ෂ එකමුතුවේ නායකයන්ගේ ඊයේ (21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත ද
සහභාගි වී ඇත.
ඔහු එම රැස්වීමට සහභාගිවී ඇත්තේ 'සත්‍ය ගවේෂකයෝ' සංවිධානය නියෝජනය කරමිනි.
ස්වාධින පක්ෂ එකමුතුවේ නායකයන්ගේ සාකච්ඡාවකට දොලවත්ත මන්ත්‍රීවරයා සහභාගි වූ පළමු අවස්ථාව එය විය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට අතුරලියේ රතන හිමියෝ ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, ඒ එල් එම් අතාවුල්ලා, වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වී ඇත.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදයෙන් ගොඩඒම සඳහා ස්වාධින පක්ෂ එකමුතුව විසින් නව දේශපාලන වැඩපිළිවෙලක් සැලසුම් කරමින් සිටින අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙන්ම, වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
වත්මන් අර්බුදයට මුහුණදීමට පොහොට්ටු කඳවුරේ දේශපාලන දැක්මක් හෝ වැඩපිළිවෙලක් නොමැති බැවින් එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් රැසක් අලුත් දේශපාලන වැඩපිළිවෙලක් වෙත එක්වීමට අපේක්ෂාවෙන් සිටින බව නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මෙහිදී සඳහන් කර ඇතැයි පැවසේ.