''ක්‍රිකට් කණ්ඩායමෙන් පාඩම් ඉගෙන නොගත්තොත්, නායකයන් Hit wicket වෙන එක වලක්වන්න බැහැ'' යයි හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසයි.

'' අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳව තිබෙන්නේ බරපතල අවිශ්වාසයක්. අවංකකම පිළිබද විශාල, සාධාරණ සැකයක් සියලුම දේශපාලඥයන් පිළිබඳව මතුවෙලා. මටත් ඒක එහෙමම අදාලයි. පවුල් කේන්ද්‍රීය දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා. එම නිසා, ජනතාවට බොරු නොකියන, රටේ දේපල සූරා නොකන, පොදු දේපලට ගරු කරන, 21 වැනි ශත වර්ෂයේ අවශ්‍යතාවයන් හඳුනාගත්  සහ සැබවින්ම අවංක දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම දිගු කාලීනව අර්බුදය ජයගැනීම සඳහා ඇති එකම මාර්ගය'' යැයි මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් අමතමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෙනසුරාදා (25) සවස මාතර නූපේ ප්‍රධාන කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.



''කැබිනට් මණ්ඩලය මාරු කිරීමෙන් පමණක් විසඳුම් හොයන්න බැහැ''



''හිසරදයට කොට්ට මාරුකරන්නා සේ මාසයකට වරක් කැබිනට් මණ්ඩලය මාරුකිරීමෙන් හෝ අගමැතිවරයා මාරු කිරීමෙන් හෝ පමණක් මෙම අර්බුදයට විසඳුම් හොයන්න බැහැ. 2019 දෙසැම්බර් ඉඳල ගත්තොත් අවුරුදු දෙක හමාරක පමණ කාලය තුළ මේ තියෙන්නේ පස්වන කැබිනට් මණ්ඩලය. දෙවැනි අගමැති.

ඒ වගේම, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා ඇතුළු කිසිම නායකයෙකුට හෝ කිසිම පක්ෂයකට තනි තනිව මේ අර්බුදයෙන් ජනතාව මුදවා ගන්නත් බැහැ.


එම නිසා මේ නායකයන්ට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කිරීමට ඉතිරිව ඇති එකම දේ නිරා දුක්විඳින ජනතාව වෙනුවෙන් වසරක කෙටිකාලීන නිශ්චිත ආර්ථික වැඩපිලිවෙලක් සඳහා එකට එකතුවීම පමණයි. ඔන්න ඕකට තමයි සර්ව පාක්ෂික කියන්නේ. ඕකට තමයි ජාතික ආණ්ඩුව කියන්නේ. එහෙම කරලා, වසර අවසානයේ තම ඉරණම තීරණය කිරීම ජනතාවට භාරකරන්න පුළුවන් බවද අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.



''පක්ෂ විකිණීම කුඩු විකිණීම වගේම ලාභදායී ව්‍යාපාරයක් වෙලා''



ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ හැත්තෑහයක් (76) තියෙනවා. මින් පක්ෂ පනස් දෙකක් (52) කිසිම ජාතික මැතිවරණයකට කිසිදාක තරඟකර නැහැ. එක පැත්තකින් පක්ෂ විකිණීම කුඩු විකිණීම වගේම ලාභදායී ව්‍යාපාරයක් වෙලා. පක්ෂ දෙක තුනක හැර අනෙක් කිසිම පක්ෂයක තරුණයන්ට තැනැක් නැහැ.

කාන්තාවන්ට කිසිම වගකීමක් දෙන්න කිසිම දේශපාලන පක්ෂයක් කැමති නැහැ. නමුත්, රටේ ජනගහනයෙන් 52% ක් කාන්තාවෝ. ඉතාම ආකර්ශණීය භාෂාවෙන් ෂඩ් වර්ණය මුසුකොට මැතිවරණ ප්‍රකාශ සකසා මහජන මතය “පික් පොකට්” ගැසීමේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිමයි නව පරම්පරාවේ බලාපොරොත්තුව.

මින්පසු කිසිම මැතිවරණයක දී ඡන්දය මංකොල්ල කන්න දෙන්න එපා චෞරයන්ට. මාධ්‍යවල වගකීම තමයි දේශපාලන නායකයන්ගේ සහ පක්ෂවල ප්‍රතිපත්තීන් ප්‍රශ්න කිරීම. විශේෂයෙන්, අධ්‍යාපන ප්‍රතිපත්තිය, බලශක්ති ප්‍රතිපත්තිය, ප්‍රවාහන, පාරිසරික හා කෘෂිකර්ම ප්‍රතිපත්ති මොනවාදැයි නායකයන් රටට හෙළිකළ යුතුයි.



අපිට ඡන්දය දෙන්න අපි විසඳන්නම් කියන ප්‍රකාශ, “වාචාල ප්‍රකාශ” ලෙස බැහැර කරන්නැයි ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, “අළුත් සොරෙකු ඕනෑකර තිබේ” නම් යා යුත්තේ නාට්‍යශාලාවකට මිස ඡන්ද මධ්‍යස්ථානයකට නොවේයැයි පෙන්වා දුන්නේය.



වත්මන් ආර්ථික අර්බුදය “ඩොලර්” ප්‍රශ්නයක් ලෙස අවතක්සේරු නොකල යුතුයි. මේක තමයි ශ්‍රී ලාංකේය දේශපාලනයේ ශේෂ පත්‍රය, අවසන් ගිණුම් වාර්තාව. භාණ්ඩවලට මෙන්ම පක්ෂවලට ද දේශපාලන නායකයින්ට ද SLS සහතිකය වැනි ප්‍රමිතියේ සහතිකයක් නිකුත් කිරීම මැතිවරණ කොමිසමේ වගකීමයි.

වර්තමාන අර්බුදයට විසඳුම් රාශියක් තියෙනවා. එකක් තමයි, වසරක් ඇතුළත, ජාත්‍යන්තර වෙළඳපොල ඉල්ලා සිටින පුහුණු ශ්‍රමිකයින් ලක්ෂයක් රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව පුහුණු කොට ඔවුන් විදේශ රැකියාවලට යොමු කිරීම සහ ලබන වසරේ සිට එය ලක්ෂ දෙක දක්වා වර්ධනය කොට NVQ 5 හෝ 6 සහතිකය සහිතව ඉංග්‍රීසි භාෂාව සහ අදාල රටවල භාෂාවන් පිළිබඳ අවබෝධයක් ද ලබාදී විශේෂයෙන් ඇමරිකාව, කැනඩාව, ජපානය, ඕස්ට්‍රේලියාව හා කොරියාව මෙන්ම බෝල්ටික් රටවල් වෙත යැවීම ඩොලර් අර්බුදයට ඇති එක් ස්ථිර විසඳුමක්.

මේක අසීරු ඉලක්කයක් නොවෙයි. පිලිපීනයෙන්, ඉන්දුනීසියාවෙන් ඒ ආදර්ශ ලෝකයට දී තිබෙනවා.



මේ අසීරු මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපේ දේශපාලකයන්ට සහ ඡන්ද දායකයන්ට හොඳ ආදර්ශයක් ලබා දී තිබෙනවා. අඬන රටක, අපිට සිනාවක් දුන්නේ ඔවුන් පමණයි. දුෂ්කරයි කියා කිසිවක් අත්හල යුතු නැහැ. ප්‍රතිවාදියා ශක්තිමත් වූ පමණින් ඔහුට බිය විය යුතු නැහැ. ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් ඉගෙනගන්න පාඩම්, රාජ්‍ය නායකයා විධියට ජනාධිපතිවරයාට තිබෙනවා.


''කථානායකතුමාටත් තෙවැනි විනිසුරුවරුගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා''


චරිත් අසලංකගෙන් හෝ චාමික කරුණාරත්නගෙන් ඉගෙනගතයුතු පාඩම් අගමැතිවරයාට තිබෙනවා. තවමත් පාසැල් ශිෂ්‍යයකු වන දුනිත් වෙල්ලාලගේ‌ ගෙන් ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ 225 ටම පාඩමක් තිබෙනවා.

කථානායකතුමාටත් තෙවැනි විනිසුරුවරුගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. නායකයන් මේවා ඉගෙන නොගත්තොත් Runout හෝ Hit wicket වෙන එක වලක්වන්න බැරි බව අප හැම දෙනාම තේරුම්ගත යුතුයි.

එහෙම නොවන්නේනම්, මන්ද පෝෂණයෙන් පෙළෙන-ඉගෙනුම අහිමි දරුවන් සහ කුස පොත්ත ඇලලීගිය දෙමාවුපියන් සමඟ ඛනිජ තෙල් හලේ මරාගන්න රටක, ජාතික ධජය ලෙස අපට තෝරා ගන්නට වෙන්නේ දෙහිවල සත්ව උද්‍යානයේ නිරාහාරව ඉන්නා ඉරණම් ඇට පෑදී ඇති සිංහයෙකුගේ රූපයයි.''

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්