රාජපක්ෂලා මහ පුටුවල සිටිනතුරු සහ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ හෙංචයියන් පාලන තන්ත්‍රයේ

ප්‍රධාන තීරණ ගන්නාතාක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ආයතන මෙහෙයවන තාක් ජාත්‍යන්තරය තුළ හෝ දේශීයව රට ගැන විශ්වාසයක් ඇතිනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

රටේ වත්මන් අර්බුදයට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පාර්ශවයන් දැන්වත් ගෙදර යා යුතු යැයි ඔහු අවධරණය කරළේය.

මෙම ගැටලුව තවත් දරුණු වී ජනතාව පුපුරන තැනට ගෙනැවිත් රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු ඉල්ලා අස්වී පැය 24ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා, රහසිගත ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්කරගෙන සර්ව පාක්ෂික පාලනයක් ඇතිකළ යුතු බව ද පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේය.

43 වන සේනාංකයේ නායක, පාඨලී චම්පික රණවක එබව පැවසුයේ අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



එළඹෙන මස 25 වනදා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1000ක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීමට ඇති බවත්, ඩොලර් මිලියන 250ක් අයිති සමාගමක් මේ වනවිටත් ලංකාවට එරහිව නඩු පවරා ඇති බවත් කී චම්පික රණවක, එම නඩුවේ බලපෑම මත ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබීම පිළිබඳ විශ්වාසයක් නැතැයි ද කීවේය.



වර්තමාන ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ සියලු ක්ෂේත්‍ර බිඳ වැටීමකට ලක්ව ඇති බවත් මේ වනවිට රට තුළ විදුලිය නිපදවීම සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන යොදා ගැනීමට සිදුවීම මත ජනතාවගේ එදිනෙදා කාර්යයන් සිදුකර ගැනීමට අවශ්‍ය ඉන්ධන සැපයීම සීමාවකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව 43 වන සේනාංකයේ නායකයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාවට තම ජීවනෝපායන් සිදුකර ගැනීමට නොහැකි වීම මත ඔවුන් ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති නිසාවෙන් වැඩි වශයෙන් ඉන්ධන ජනතාවට ලබාදීම ආණ්ඩුව සිදුකලයුතු බවත් ජල විදුලියේ ප්‍රතිලාභ දුගී දුප්පත් ජනතාවට වැඩිවශයෙන් ලබාදී ඉන්ධන ජනතාවගේ එදිනෙදා කාර්යන් සඳහා යොමු කලයුතු බවත් ඔහු අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මෙසේ සඳහන් කළේය.

2114

"ගොවියට ගොයම් ටික කපාගන්න බෑ. කපාගත්ත වී ටික ගෙදරට ගෙනියන්න විදිහක් නෑ. ඒ ගෙනාපු වී ටික අදාළ වී මෝල්වල කොටා ගන්න විදිහක් නැහැ. ඒ කොටා ගත්ත හාල් ටික කඩේට ගෙනියන්න විදිහක් නැහැ. එළවලු, පලතුරු ටික ප්‍රවාහනය කරගන්න විදිහක් නැහැ. මිනිස්සුන්ට කන්න නැහැ. බඩු අහස උසට නැගලා තියෙනවා. සෑම භාණ්ඩයක්ම සියයට තුන්සීයකින් වැඩිවෙලා තියෙනවා. ඇතැම් භාණ්ඩ. සියයට පන්සීයකින්, දාහකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මුළු රටම බිඳ වැටිලා මේ වෙනකොට ගුවන් සේවා ඇතුළු සෑම ක්ෂේස්ත්‍රයකටම මේ ඉන්ධන හිඟය ඉතාම භයානක විදිහට බලපාලා තියෙනවා. මිනිස්සුන්ගේ ආදායම් නැති වෙලා තියෙනවා.

 මිනිස්සුන්ව පාරට ඇද දාලා තියෙන්නේ මේ ආණ්ඩුව. ඒක නිසා උද්ඝෝෂණ කරන්න එපා. මිනිස්සු ගෙවල්වල තියන්න ඕනේ කියලා පොලිසියයි, හමුදාවයි දැම්ම පමණින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

මේ අර්බුදයට, වගකිවයුතු පාර්ශවයන් දැන් ගෙදර යා යුතුයි. විශේෂයෙන්ම මේ අර්බුදයේ නිර්මාතෘවරු වන, ජනාධිපති රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු ගෙදර යා යුතුයි.

මේවට විසඳුම් නැතුව නෙවෙයි. හැබැයි මේ රාජපක්ෂලා මහ පුටුවල ඉන්නකන් රාජපක්ෂලා විසින් පාලන තන්ත්‍රයේ ප්‍රධාන තීරණ ගන්නකන් රාජපක්ෂලාගේ හෙන්චයියන් විසින් මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු මේ ආයතන මෙහෙයවනකන් සහ රාජපක්ෂලා ගිහිල්ලා, පුටුවල වාඩිවෙලා තෙල් නැව් ගෙන්නන එක පිළිබඳ තීරණ ගන්නකන් මේ රට ගැන විශ්වාසයක්, මේ රටට තෙල් සපයන අයගේවත්, විදේශීය රටවල්වලවත්, අපේ රටේ ඉඳලා විදේශ රටවල්වලට ගිහිල්ලා ඉන්න තිස් ලක්ෂයක් අපේ විදේශ ශ්‍රමිකයන්ගේවත් හිත් වල කිසිම විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ."


''මේ සාහසික අපරාධවලට සමහර නිලධාරිනුත් වගකිවයුතුයි ''

එමෙන්ම මෙම ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක පොදු ප්‍රවාහනයේ වටිනාකම හා ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳවද ඒ මහතා පවසා සිටියේය.

"ඉතාම සක්‍රීය වැඩපිළිවෙලක් ආණ්ඩුවට අවශ්‍යයි. විශ්වාසයනිය වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක ලබාදීමේ හැකියාවක් නැහැ. මොකද බරපතල දේශපාලන අර්බුදයක් තිබෙන නිසා. ඒ දේශපාලන අර්බුදය තමයි මේ ජනාධිපති ගැන කිසිඳු විශ්වාසයක් ලෝකයේ නොමැතිවීම.


මොහු ඉතාමත්ම මුග්ධ විදියට මේ රටට අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් උදව් කරපු ජපානය තරහ කරගත්තා. ජපානෙන් දශම එකේ පොලියට ගත්ත ණය වෙනුවට විදේශීය සමාගම් වලින් සීයට විසිහතරේ පොළියට අරගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලවල් දියත් කළා. අර කඩුවෙල සිට කොළඹට එන සැහැල්ලු දුම්රිය මාර්ගය වෙනුවට හිතවත් සමාගමකට ඔවුන් ලබා දෙන්න ගියා අතුරුගිරියේ සිට දෙමටගොඩට අධිවේගී මාර්ගයක් හදන්න. සීයට විසි හතරේ පොලියට. මේවා සාහසික අපරාධ.


මේ සාහසික අපරාධයට දායක වෙච්ච නිලධාරීන්, ඒ වගේම දේශපාලකයින් විශේෂයෙන්ම ජනාධිපති මෙහි වගකීම භාරගත යුතුයි.

අද ඒ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති හතර තිබුණා නම්, ඒ වගේම මරදානේ සිට හෝමාගමට තිබිච්ච ඒ කැළණිවැලි දුම්රිය ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල තිබුණා නම්, අපි හදපු ඒ සීග්‍රගාමී බස් ප්‍රවාහන සේවය, බස් රැපිඩ් ට්‍රාන්සිට් ප්‍රොජෙක්ට් එක තිබුණා නම්  අද මේ රට මේ අර්බුදයට ලක් වෙන්නේ නැහැ. මේවා ඔක්කොම එක පෑන් පාරෙන් මේ ජනාධිපති නැවැත්තුවා."

''ඉන්දන හා ගෑස් ගෙන්වීමේ කටයුතුවලදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතුයි.''

"විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතු වලට අත දැඩිම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතුයි. ඒ වගේම විවිධ තැන්වලින් විවිධ ආකාරයට අතනින් මෙතනින් තෙල් සම්පාදනය කර ගැනීමේ කටයුතු නවත්තලා ලංකාව තුළ විධිමත්ව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වෙලා ඉන්න සමාගම් හරහා ඒ කටයුත්ත කළ යුතුයි. මිත්‍ර රාජ්‍යන් එක්ක විවෘත ක්‍රියාවලියක ඒ කටයුත්ත කළ යුතුයි. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඒකට ඇඟිලි ගැසිය යුතු නැහැ.

මේ පහුගිය දවස්වල ලංකාවට බොරතෙල් ගේන්න මැදිහත් වෙච්ච සමාගමක් මීට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක්ට ගුවනට චන්ද්‍රිකා යවන්න උදව් කරපු සමාගමක්මයි. මේ දෙකම එකයි. ඒක නිසා අපි මේ දෙස බලාගෙන ඉන්නවා.


ජනතාව පුපුරන තැනට ගෙනිහිල්ලා රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි ඉල්ලා අස් වුණාට පස්සේ එතනට පත් වෙන්නේ කවුද කියන එක පිළිබඳව ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. විසිහතර පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවලා, රහසිගත ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුයි.

ඒ වගේම අනිවාර්යයෙන්ම සර්ව පාක්ෂික පාලනයක් හදලා, නිශ්චිත වැඩපිළිවෙලක් හදලා, ස්වාධීන මැතිවරණ කොමිසමක් හා මැතිවරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරලා, දින වකවානු නියම කරලා මැතිවරණයකට ගමන් කිරීමේ අපිට නම් වරදක් පේන්නේ නැහැ.

ඒ නිසා කොල්ල කන ලද ධනය අත් හැරලා මේ බලය අත්හැරලා රාජපක්ෂවරු යා යුතුයි. යන්නැති බව පැහැදිලියි. ඔවුන් යැවිය යුතුයි. ඒ සඳහා වෙන ජනතා ව්‍යාපාරයක් දැන් අවිහිංසාවාදීව, ප්‍රජාතන්ත්‍රවාදිව ආරම්භ විය යුතුයි.


පාර්ලිමේන්තුව තුල වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් විධිමත්ව සකස් කරලා ඉදිරියට යාමේ වගකීම මේ අවස්ථාවේ සියලු දෙනාටම තියෙනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා මුල්වෙලා කටයුතු කළ යුතුයි. ඔහු ඒ සඳහා මුල්වෙලා කටයුතු කරන්නේ නැත්නම් ඒ සඳහා කටයුතු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගෙන ඒ කටයුත්ත කරන්නට ඉදිරි කාලයේදී අපි ක්‍රියා කරන බව ප්‍රකාශ කරනවා."


600% කින් විදුලිබිල වැඩි කරනවා වෙනුවට ජල විදුලියේ ප්‍රතිලාභය දුගී දුප්පත් ජනතාවට දිය යුතුයි!

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින්, විදුලි බිල වැඩි වෙන්න දැන් සංශෝධන ඇවිල්ලා තියෙනවා. මහජන උපයෝගීතා කොමිසම අවසර දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමාගේ මතය? යනුවෙන් යොමුකරන ලද පැනයට චම්පික රණවක මෙසේ ප්‍රතිචාර දැක්විය.

"නිත්‍යානුකුලව ගත්තොත් විදුලි බිල වැඩි කරන්න පෙර මහජන උපයෝගීතා කොමිසම සති තුනක් මහජන අදහස් ඒ සම්බන්ධයෙන් විමසිය යුතුයි. දැනට ප්‍රකාශයට පත්වෙලා තිබෙන යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ආසන්නයෙන් සීයට අසූ පහක පමණ විදුලි ගාස්තු වැඩිවීමක් සාමාන්‍යයක් හැටියට යෝජනා කරලා තියෙනවා.

ඒ කියන්නේ දැනට තියෙන රුපියල් බිලියන දෙසිය හැටක පමණ ආදායම රුපියල් බිලියන පන්සිය දොළහක් දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඇත්තටම ඒක ආසන්නයෙන් සීයට සීයකම වැඩිවීමක්.

මේකේ තියෙන අසාධාරණය මේකයි. ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන අය ඉන්නවා එකොළොස් ලක්ෂයක්. ඒගොල්ලන්ට සියයට හයසීයකින් වැඩි කිරීම වැරදියි. මොකද ජල විදුලිය කියන එක හැමෝටම හම්බවෙන දෙයක්. ඒ හයිය මේ ජල විදුලියේ හයිය අපේ දුගී දුප්පත් ජනතාවට දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ජනතාව ගැන හිතලා ඒ කටයුත්ත මහජන උපයෝගීතා කොමිසම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."

විදෙස් සමාගම් එන්නේ දේශපාලන හේතුවක් මත!

එමෙන්ම IOC මෙන් නව සමාගමක් ඉන්ධන ලබාදීමට පැමිණීම හා එමගින් කුමක් සිදුවේවිද? යන්න මාධ්‍යවේදීන් විසින් චම්පික රණවකගෙන් විමසා සිටියේය.

"ඔය වගේ විසඳුම් ක්‍රියාත්මක කරන්න පුලුවන්ද? ඒක තමයි අද තියෙන ප්‍රශ්නේ. දැන් දෙදාස් දෙකේදී අයි ඕ සී එක ගෙනාවා. අයිඕසී එක ගෙනාවම ඒ වෙලාවේ ලංකාවට ඩොලර් ඕන තරම් තිබුණා. දැන් අද මේ එන විදේශ සමාගම් එන්නේ ඩොලර් වලින් තෙල් අරගෙන. එතකොට මෙහෙ හම්බුකරන්නේ රුපියල්. එතකොට ඒගොල්ලන්ට ඒ රුපියල් ඩොලර් බවට පරිවර්තනය කරගන්න වෙනවා. එතකොට ඩොලර් ලංකාව තුළ නෑ.

ඒ තත්වය තුළ මම හිතන්නෑ කිසිම සමාගමක් දේශපාලන හේතුවක් මත මිසක් මේ ආර්ථික කාරණයක් මත, මුල්‍යමය කාරණයක් මත ලංකාවට එයි කියලා."

 

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්