ජුනි 30 වනදා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වුණු උත්සවයක දී කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාකෝස් එරට

ජනපති ලෙස දිවුරුම් දුන්නේ ය. ඒ, ධුරකාලය අවසන්ව නික්ම යන රොද්‍රිගෝ ඩුටර්ටේ වෙනුවට ය.

ඔහුගේ පදවිප්‍රාප්තිය, 1986 දී ජනතා කැරැල්ලක් මඟින් බලයෙන් නෙරපාහරින ලද මාකෝස් දේශපාලන පවුලේ විශ්මයජනක පුනරාගමනය සනිටුහන් කරයි.

"බොං බොං" යන අන්වර්ථ නමින් හැඳින්වෙන කනිෂ්ඨ මාකෝස් ගෙවුණු මස එරට පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත්විය.

ධුරයෙන් නික්මයන හිටපු ජනපතිගේ දියණිය වන සාරා ඩුටර්ටේ උපජනපතිනිය ලෙස දිවුරුම් දුන්නා ය.

zfrsde

බිරිඳ සහ පුතුන් තිදෙනා පිරිවරාගත් නව ජනපතිවරයා සිනහවකින් යුතුව අත වනමින්, උත්සවයේ අංග ලෙස පැවැති ෆයිටර් ජෙට් යානාවන්ගේ ගුවන් සංදර්ශනයක් හා පිලිපීනයේ හමුදාවන්ගේ පෙළපාලියක් නැරඹුවේ ය.

ඔහු ජනපති ලෙස සිදුකළ පළමු ප්‍රසිද්ධ කතාවේ දී, "පිලිපීන ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසයේ විශාලතම මැතිවරණ වරමයැ"යි ඔහු හැඳින්වූ දෙය ලබාදීම පිළිබඳව රැස්ව සිටි ජනතාවට ස්තුති පිදීය.

64-හැවිරිදි නායකයා වෙත ලැබෙන්නේ වසර ගණනක් තිස්සේ ඇදෙන වසංගතයෙන් පසු තවමත් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටින, උද්ධමනයෙන් හා වේගයෙන් ඉහළ යන ණයබරින් අපැහැදිලිව ගිය ආර්ථික දැක්මක් ඇති රටකි.

රැකියා අවස්ථා වැඩි කිරීමටත්, ඉහළ නගින මිළ ගණන් පහත හෙළීමටත් ඔහු බොහෝ පොරොන්දු ලබාදුන්න ද, ඒ වෙනුවෙන් සැබෑ ප්‍රතිපත්ති සංස්කරණයක් සිදුකිරීම අළලා සාකච්ඡා සිදුව නැතැ යි විවේචකයෝ චෝදනා කරති.

fdrtrt2022 ජනපතිවරණය සඳහා මාකෝස් සහ ඩුටර්ටේ පවුල් එකට එක්විය.


හිටපු ජනපති ඩුටර්ටේගේ ධුරකාලය කැපී පෙනුනේ මාධ්‍ය නිදහස ක්‍රමයෙන් සීමා කිරීම සම්බන්ධව සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය හේතුවෙන් සිදුවූ ලේ වැකි යුද්ධයකිනි. කනිෂ්ඨ මාකෝස් එරටට ලැබුණු එම ප්‍රතිරූපය වෙනස් කරනු ඇතැ යි ඇතැමුන් බලාපොරොත්තු වෙයි.

මෙම ධුරප්‍රාප්තිය සිදුවූයේ මැනිලාවේ මහාධිකරණය ලබාදුන් තීන්දුවකින් දින කීපයකට පසුව ය. මාකෝස් බදු ගෙවීම පැහැරහැරීම පිළිබඳව දඬුවම් ලැබුවෙකු වුව ද ඔහු ජනපතිධුරයේ දිවුරුම්දීමෙන් වැළකීමට නොහැකියැ යි අදාළ තීන්දුවෙන් කියැවිණි.


පිලිපීනයේ පැවැති රජය දැඩිව විවේචනය කළ මාධ්‍ය ආයතන කීපයෙන් එකක් වන "Rappler" නම් ගවේශනාත්මක පුවත් වෙබ්අඩවිය වසා දැමීමට දුන් තීන්දුව ස්ථිරබවට ද එරට නියාමක ආයතනයක් විසින් පසුගිය බදාදා (ජුනි 29) නිවේදනය කෙරිණි.


සිය පදවිප්‍රාප්ති කතාව අතරතුරේ කනිෂ්ඨ මාකෝස් සිය දිවංගත පියා වූ, දශක දෙකක් තිස්සේ පිලිපීනය යකඩ හස්ථයකින් පාලනය කළ ආඥාදායක ෆර්ඩිනන්ඩ් මාකෝස්ට උපහාර දැක්වීය.

ඒකාධිපතියෙකු වූ ජ්‍යෙෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාකෝස් පිලිපීනයට යුධ නීතිය පනවා, එරට අධිකරණ, ව්‍යාපාර, හා මාධ්‍ය ආයතන ද පාලනය කළ අයෙකි.

එකල එරට හමුදාව සහ පොලීසිය විරුද්ධවාදීන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන වධයට ලක්කළ අතර, දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කළේ ය.

"මම කාලයක් අඳුනගෙන හිටියා එක මනුස්සයෙක්ව; ඔහු දුටුවා නිදහසෙන් පසු අප ලබාගෙන තිබුණේ බොහොම සුළු ජයග්‍රහණයන් කියලා. ඔහු [අප දිනා නොතිබූ] සියල්ල දිනාගත්තා," කනිෂ්ඨ මාකෝස් කියා සිටියේ ය. "ඔහුගේ පුතාත් එහෙමම කරනවා. මම ඔයගොල්ලන්ට කිසිම නිදහසට කාරණාවක් දෙන්නේ නෑ."

bom bomෆර්ඩිනන්ඩ් බොං බොං මාකෝස්


ඔහු "කෝපයෙන් හෝ අතීතකාමයෙන් යුතුව" ආපසු හැරී නොබලන්නැයි ජනයා වෙත ප්‍රකාශකර, "ජාතික සමගිය" සඳහා එක්වන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියේ ය - මෙය ඔහුගේ මැතිවරණය ව්‍යාපාරය පුරා විශේෂයෙන් භාවිතා කෙරුණකි.

කනිෂ්ඨ මාකෝස් ජනපතිධුරයට පත්වීමෙන්, මාකෝස්වරුන් තම දේශපාලන කීර්තිය යළි අත්පත්කර ගැනීමට ගෙනගිය දශක ගණනක සටනේ මස්තකප්‍රාප්තිය සනිටුහන් වෙයි.

gdsgjජ්‍යෙෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාකෝස් 1986 වසරේ ජනපතිවරණයට තරග වැදීම සඳහා එක්වන්නැ යි සිය ආධාරකරුවන්ට ආරාධනා කරයි.


1986 දී ජ්‍යෙෂ්ඨ මාකෝස්ගේ පාලනය අවසන්වූයේ මිලියන ගණනක් පිලිපීනවාසීන් වීදි බැස මහා අරගලයක් සිදුකිරීම හේතුවෙනි. එවක 28-හැවිරිදි වූ කනිෂ්ඨ මාකෝස් ද ඇතුළු මාකෝස් පවුලම දිවි ගලවාගැනීම සඳහා එක්සත් ජනපදයේ හවායි වෙත පළාගියහ.

1991 දී නැවතත් සියරට බලා පැමිණි මේ දේශපාලඥයා එතැන් පටන්, සිය පියාගේ පාලන කාලය එරට සංවර්ධනයේ සහ සෞභාග්‍යයේ "ස්වර්ණමය යුගය" ලෙස පින්තාරු කිරීම ඇරඹීය.

සමාජ මාධ්‍ය හරහා සිදුකෙරුණු ඉතා පුළුල් ව්‍යාපාරයක් හරහා කනිෂ්ඨ මාකෝස්ගේ ප්‍රසිද්ධිය ඉහළට ඔසවා තැබීම ආරම්භ විය. එමඟින් විශේෂයෙන් ඉලක්ක කෙරුනේ, ඔහුගේ පවුල යටතේ පිලිපීනය අත්විඳි කුරිරු ඒකාධිපති පාලනය අත්දැකීමට තරම් වයස්ගත නොවූ තරුණ ප්‍රජාව යි..


එනමුත්, ඔහුගේ සමාජ මාධ්‍ය ව්‍යාපාරය අසත්‍ය තොරතුරින් ගහණවූ අතර, සිය පියාගේ පාලන සමයේ දී සිදුකෙරුණු ම්ලේච්ඡ ක්‍රියාවන්ට "සුදුහුණු ගෑමක්" සිදුකළබවට විචාරකයෝ චෝදනා එල්ල කළෝ ය. ඔහු මේ සියලු චෝදනා ප්‍රතික්ෂේපකර ඇත.

දේශපාලන පවුල් ද්විත්වයක බලකඳවුරු එකතු කරමින් සාරා ඩුටර්ටේ සිය උපජනපති ලෙස හඳුන්වාදීම ද ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට රුකුලක් විය - මාකෝස් පවුල උතුරු පිලිපීනයේත්, ඩුටර්ටේ පවුල දකුණු මින්ඩනාඕ දිවයිනෙත් ජනප්‍රිය ය.

කනිෂ්ඨ මාකෝස්, 1965 සිට 1986 දක්වා පිලිපීනය පාලනය කළ ආඥාදායකයාගේ එකම පුත්‍රයා ය. මාකෝස් පවුලේ නව දේශපාලන නැගීසිටීම තේරුම් ගැනීමට නම්, පෙර වාරයේ එහි නැග්ම සහ බිඳවැටුම ගැන දැන සිටීම ඉතා වැදගත් ය.

එය ඝාතනයන්, විරෝධතා, පිටුවහල්කිරීම්, සහ වටිනා පාවහන් යුගල දහස් ගණනක් වටා ගෙතුණු නාට්‍යාකාර කතන්දරයකි.

ජ්‍යෙෂ්ඨ මාකෝස් පළමුවරට ජනපති පදවියට පත්වූයේ 1965 වුව ද, ඔහු පිලිපීනයේ පූර්ණ පාලනය සියතට ගත්තේ 1972 වසරේ දී ය. ඔහුගේ දෙවන ජනපතිධුර කාලය අවසන්වීමට වසරක් ඉතිරිව තිබූ අතර, ධුරය හැරයෑම වෙනුවට ඔහු රටටම යුධ නීතිය පැනවීම තෝරාගත්තේ ය.

ප්‍රායෝගිකව ගත්කල මින් අදහස් වූයේ පාර්ලිමේන්තුව අත්හිටුවා, විරුද්ධ පාක්ෂික දේශපාලඥයින් අත්අඩංගුවට ගෙන, පූර්ණ වාරණයක් පැනවීම යි. වරක් සාර්ථක නීතිඥයෙකුව සිටි ජ්‍යෙෂ්ඨ මාකෝස් අධිකරණයන්හි පූර්ණ පාලනය සියතට ගත්තේ ය. හමුදාව සහ පොලීසිය ඔහුගේ විරුද්ධවාදීන්ට වධ දී ඝාතනය කළේ ය - මෙය ඔහුගේ ජනපතිධුර කාලය පුරාවට සිදුවිය.

ඉන්පසු උදාවූ යුගය ඉතිහාසයේ සටහන්ව තිබෙන්නේ මානව හිමිකම් කඩකිරීම්වලින් හා දූෂණයෙන් පිරි, පිලිපීන දේශයේ අඳුරුතම කාල පරිච්ඡේදයක් ලෙස ය. මිලියන ගණනක් වැසියෝ අන්ත දරිද්‍රතාව තුළ ගිලී සිටි අතර රාජ්‍යයේ ණය කන්ද දිනෙන් දින ඉහළ ගියේ ය.

xdgrt1965 දී ජ්‍යෙෂ්ඨ මාකෝස් ජනතාව වෙත අත වනමින් - පිලිපීනයේ නව ජනපති වන කනිෂ්ඨ මාකෝස් මෙහි දකුණේ සිට දෙවැන්නා ය.

නමුත්, 1983 වසරේ අගෝස්තුවේ දිනක අපරභාගයේ සිදුවූ ඉහළ පෙළේ ඝාතනයක් ජ්‍යෙෂ්ඨ මාකෝස්ගේ කඩාවැටීමට හේතුවූ සිදුවීම් සමුදාය අවුලවා දැමීය.

මාකෝස් පාලනයෙන් දිවි ගලවාගැනීම සඳහා රටින් පළාගිය පිලිපීන විපක්ෂ නායක බෙනීඥෝ අකීනෝ එවකට විසූයේ එක්සත් ජනපදයේ ය. සිය දේශයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමේ අධිෂ්ඨානයෙන් යුත්වූ ඔහු නැවතත් මැනිලා අගනුවර බලා පියාසර කළේ ය - නමුත් පිලිපීනය ගොඩබට අකීනෝ වෙඩිතබා මරාදමනු ලැබුණි.

රජය විසින් අකීනෝ වෙනුවෙන් ආරක්ෂකයින් විශාල පිරිසක් පත්ව සිටියදී සිදුවූ මෙම ඝාතනය පිලිපීනයට වැදුණු අකුණුසරක් මෙන් විය.

දසදහස් ගණනක් ජනයා සිය ශෝකය එළිපිට ප්‍රකාශ කෙරුමට එක්වූ අතර, ඉක්මනින්ම එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරයක්බවට හැරුණි. 1986 දී ජනතා කෝපය සංසිඳුවීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ මාකෝස් හදිසි මැතිවරණයක් කැඳවූ විට ඔහුට එරෙහිවූ අකීනෝගේ වැන්දඹුව වූ කෝරි වටා මෙම ව්‍යාපාරය එක්රොක් විය.

dfgsdg1986 දී ජ්‍යෙෂ්ඨ මාකෝස් ජනතාව වෙත අත වනමින් - දකුණේ සිටින්නේ කනිෂ්ඨ මාකෝස් ය.


මහා මැතිවරණ වංචාවක් සිදුවූ නමුදු ජ්‍යෙෂ්ඨ මාකෝස් තමා මැතිවරණය ජයග්‍රහණය කළබව ප්‍රකාශ කළේ ය - මෙනිසා රටපුරා විරෝධතා ව්‍යාපාරයන් ඇතිවූ අතර මිලියන සංඛ්‍යාත ජනයා වීදිබටහ. ජනතා බල විප්ලවය ලෙස හැඳින්වුණු මෙම විරෝධතාවන් ලොව පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇතිකිරීමට සමත්විය.

බොහෝකොටම සාමකාමී අරගලයක් වූ මෙම නැගීසිටීමට කතෝලික පල්ලියේ ද සහයෝගය (එරට බහුතරය ක්‍රිස්තියානිය අදහන්නන් ය) ලැබුණු අතර, අවසානයේ දී හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහාය ද දිනාගැනුමට එය සමත්විය. හමුදා ජ්‍යෙෂ්ඨ මාකෝස්ට එරෙහිව යමින්, උද්ඝෝෂකයින් වෙත වෙඩි තැබීමට ලැබුණු අණ පැහැරහැරියේ ය.

මහජන විරෝධය සිව්දිනක් පුරා මහාපරිමාණයෙන් එල්ලවීමෙන් අනතුරුව ඇමරිකානු හෙලිකොප්ටරවල නැගුණු මාකෝස් පවුල හවායි වෙත පළාගියේ ය.

එකල සිය දේශපාලන දිවියේ මුල් අවධිය ගතකරමින් සිටි 28-හැවිරිදි කනිෂ්ඨ මාකෝස් ද ඔවුන් හා පළාගියේ ය. එක්සත් ජනපදයේ නිල රේගු වාර්තාවන්ට අනුව මාකෝස් පවුල ආභරණ, වටිනා ඇඳුම් පැළඳුම්, සහ මිලියන ගණනක මුදල් ද ඇතුළු වටිනා දේ බහාලූ පෙට්ටි රැසක් තමා සමග ගෙනගොස් ඇත.

ඉන් තෙවසරකට පසුව, 1989 දී, ජ්‍යෙෂ්ඨ මාකෝස් පිටුවහළේ සිටියදීම මරණයට පත්විය.


බලයේ සිටිනාකල ඔහුත්, ඔහුගේ බිරිඳ ඉමෙල්ඩාත්, ඔවුන්ගේ ගජ මිතුරනුත් මිලියන ගණනක් පිලිපීන ජාතිකයින් අන්ත දුගීභාවයේ තැවෙද්දී ඩොලර් බිලියන 10ක ජනතා මුදල් කොල්ලකා ඇතැ යි ඇස්තමේන්තුගතව තිබේ. මින් නැවත ලබාගැනීමට හැකිව තිබෙන්නේ ඩොලර් බිලියන 4ක මුදලක් පමණි.

rgtertඉමෙල්ඩාගේ කුප්‍රකට පාවහන් එකතුව


සුඛෝපබෝගී භාණ්ඩ මිළට ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි හිටපු රූප රාජිණියක වන ඉමෙල්ඩා මාකෝස්, වටිනා පාවහන් යුගල මිළට ගැනීමේ අරමුණින් ලොව වටා සංචාරයේ යෙදීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධව සිටියා ය. ඇයට අයත්ව තිබූ වටිනා පාවහන් යුගල 3000කට වැඩි ප්‍රමාණයක් පවුල පළායෑමෙන් පසු ජනපති මාළිගයේ තිබී හමුවූ අතර, එය මෙම පවුලේ අධි සුඛෝපභෝගී වියදම්හි සංකේතයක්බවට පත්විය.

1990 ගණන්වල දී පිටුවහල හැරදා පැමිණීමෙන් අනතුරුව පවුලේ දේශපාලන අභිලාෂයන් පණගැන්වීම සඳහා කනිෂ්ඨ මාකෝස් සිය පවුලේ ධනය හා සබඳතා භාවිතා කළේ ය. පළමුව ප්‍රාන්තයක ආණ්ඩුකාරයෙකු බවට පත්වූ ඔහු පසුව කොංග්‍රසයට එක්ව, අනතුරුව සෙනෙට් සභිකධුරයට පත්විය.

මේ වන විට 92-හැවිරිදි වියේ පසුවන ඔහුගේ මෑණිය ඉමෙල්ඩා ද කොංග්‍රසයේ අසුනක් හිමිකරගෙන සිටි අතර, ඔහුගේ සොයුරිය ඉමී හිටපු ආණ්ඩුකාරවරියක හා වත්මන් සෙනෙට් සභිකාවක වෙයි.

පියාගේ පාලන සමයේ දී තමා වයසින් ළාබාල වූ හෙයින්, එකල සිදුවූ අපරාධයන්හි වගකීම දැරීමට තමාට නොහැකිබව කනිෂ්ඨ මාකෝස් තර්ක කරයි.

ඔහුගේ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ, පවුලේ දේශපාලන බලය යළි ගොඩනැංවීමට ඔහු දැරූ ප්‍රයත්නය සම්පූර්ණබව පෙනේ.

ඔහුගේ පියා යුධ නීතිය ප්‍රකාශ කිරීමෙන් වසර 50කට පසු පැමිණි එහි ප්‍රතිඵලයෙන්, හවායි වෙත පිටුවහල්කර සිටි මාකෝස්වරුන් යළි පිලිපීන ජනපති මැඳුරට පැමිණීම තහවුරු විය.


( BBC සිංහල සේවය - ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES)

 

 

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්