ආර්ථික අර්බුදයක් තිබියදීත් ආණ්ඩුව ප්‍රතිගාමී, මර්දනකාරී සහ හානිදායක නීති පැනවීමේ උත්සාහයන් දිගටම කර ගෙන යයි. එහි අලුත්ම පියවර වන්නේ පුනරුත්ථාපන කාර්යාංශ පනත ය.




නීතිමය අර්ථ දැක්වීම් නොමැතිකම:

යෝජිත නීතිය අදාළ වන පුද්ගලයින් ලෙස ‘හිටපු සටන්කරුවන්’, ‘අතිශයින් හෝ විනාශකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි’ යෙදුණු පුද්ගලයින් ‘ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයින්’ ‘මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්’ සහ ‘ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය’ අවශ්‍ය වෙනත් ඕනෑම කණ්ඩායමක් ලෙස දක්වා තිබේ.



පුනරුත්ථාපනය කළ යුතු යැයි කියනු ලබන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා නිර්වචන නොමැතිව ඉහත සඳහන් ලේබල්/ නියමයන් භාවිතා කිරීමේ අනතුර, විධායකය විසින් අධිකරණ ක්‍රියාවලිය මගහැර අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීමට හේතු වන බව මෑත ඉතිහාසය පෙන්නුම් කරයි.



මෙම නීතිය අදාළ වන පුද්ගලයින් විස්තර කිරීමට භාවිතා කරන කිසිදු යෙදුමක් ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව අර්ථ දක්වා නොමැත. නිදසුනක් වශයෙන්, ‘අතිශයින්ම හෝ විනාශකාරී ක්‍රියාවන්හි යෙදී සිටින’ පුද්ගලයෙකු නිර්වචනය කිරීමට භාවිතා කරනු ලබන විෂයමූල නිර්ණායක මොනවාද?

ගෝලීය වශයෙන්, ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩකාරී අන්තවාදය සහ රැඩිකල්කරණය වැනි පිළිගත් නෛතික නිර්වචන නොමැති සියලුම යෙදුම්, අත්තනෝමතික සහ අපවාදාත්මක රාජ්‍ය ක්‍රියා යුක්ති සහගත කිරීම සඳහා රටවල් විසින් ඒකාබද්ධ කර අවිකරණය කරනු ලැබේ.

ශ්‍රී ලංකාවෙහි පශ්චාත් පාස්කු ප්‍රහාර සමයෙහි, මෙම යෙදුම් ආරක්ෂක ආයතනවල ශබ්දකෝෂයට ඇතුළු විය. එමඟින් මානව හිමිකම් කඩ කරන අත්තනෝමතික රාජ්‍ය ක්‍රියාවන් යුක්ති සහගත කිරීමට භාවිතා කරන, නීත්‍යානුකූලව නිර්වචනය නොකළ සහ ක්‍රමවත්ව දක්වා නැති වැරදි සමූහයක් නිර්මාණය කිරීමට හැකි වී තිබේ.

මෙම යෙදුම්හි සාමාන්‍ය භාවිතය කෙසේ වෙතත්, අන්තවාදී අදහස් යනු කුමක්ද, එවැනි අදහස් දරන පුද්ගලයෙකු රැඩිකල් වන්නේ කෙසේද සහ එම පුද්ගලයා සමාජයට තර්ජනයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් පිළිගත් එකඟතාවයක් නොමැත.


නිර්වචනයක් නැති රැඩිකරල්කරණය, ත්‍රස්තවාදයට සමානද?

කෙසේ වෙතත් බොහෝ රටවල් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ ඔවුන් කරන ක්‍රියාවන් මත නොව, පුද්ගලයන් විශ්වාස කරන්නේ යැයි, රාජ්‍ය මගින් කරන අනුමානයන් මත ය. එලෙස නිර්වචනය කරන විශ්වාසයන් රාජ්‍යය විසින් විකෘති, භයානක සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකනු ලබයි. එමෙන්ම ඒවා රැඩිකල්කරණය යන්නට සමාන කරනු ලැබේ.

ත්‍රස්ත විරෝධී නීති යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට රැඩිකල්කරණය ප්‍රමාණවත් යැයි ද සැලකේ.

තවද, රජයට එරෙහි විරෝධතා මගින් ශ්‍රී ලංකාව නිෂේධාත්මක ලෙස නිරූපණය කර රටට හානියක් සිදුවී ඇති බවත් ඒවා ත්‍රස්තවාදයට පවා සමාන කළ හැකි බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කර ඇත.

එබැවින් රජය විරෝධතා, විනාශකාරී ක්‍රියාවක් ලෙස සලකනු ඇති එම උපකල්පනය මත විරෝධතාකරුවෙකු/ විරෝධතාකාරියක අනිවාර්ය පුනරුත්ථාපනයකට යැවිය හැකිය.



 ‘පොදු දේපළවලට හානි’ කළ හැකි යැයි ද අධි ආරක්‍ෂිත කලාපවලට ‘ඇතුළත් විය හැකි’ යැයි ද යන පොලිසියේ සිතීම මත 2022 සැප්තැම්බර් 24 වන දින විරෝධතාකරුවන් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම් මගින් මෙම කනස්සල්ල තවත් වැඩි කරයි.



පුනරුත්ථාපනය කළ යුතු යැයි කියනු ලබන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා නිර්වචන නොමැතිව ඉහත සඳහන් ලේබල්/ නියමයන් භාවිතා කිරීමේ අනතුර, විධායකය විසින් අධිකරණ ක්‍රියාවලිය මගහැර අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීමට හේතු වන බව මෑත ඉතිහාසය පෙන්නුම් කරයි.

උදාහරණයක් ලෙස සන්නද්ධ ගැටුම අවසන් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ රජය හිටපු සටන්කරුවන්/සටන්කාරියන් නිර්වචනය කිරීම සඳහා ජාත්‍යන්තර මානුෂීය නීති ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කළේ නැත. ඒ වෙනුවට, එය ජාත්‍යන්තර මානුෂීය නීතිමය නිර්වචනයට පටහැනි වූ පුළුල් නිර්වචනයක් භාවිතා කරන ලද අතර දහස් ගණනක් පුද්ගලයන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට එය හේතු විය.


පුනරුත්ථාපනය කල බව කියන හිටපු සටන්කරුවන් පනතට ඇතුල් කලේ ඇයි?

දැන් එල්ටීටීඊ සංවිධානයේ සිටි 12,000ක් පුනරුත්ථාපනය කළ බව රජය පුන පුනා ප්‍රකාශ කරන අතරම යුද්ධය අවසන් වී වසර දහතුනක් ගත වී තිබියදීත්, යෝජිත නීතියට ‘හිටපු සටන්කරුවන්/සටන්කාරියන්’ ඇතුළත් කර ඇත්තේ මන්ද යන ප්‍රශ්නය පැන නැගේ.



වැදගත්ම දෙය නම්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නිකුත් කර ඇති නිර්-රුඩිකල්කරණ රෙගුලාසි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ අවස්ථාවෙහි පුනරුත්ථාපනය සම්බන්ධයෙන් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් අත්හිටුවීමේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබීමය.

 පුනරුත්ථාපන කාර්යාංශය පිහිටුවීමේ මෙම පනත් කෙටුම්පත, එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ එහිම දිගුවක් ලෙස අධිකරණය කෙරෙහි ආණ්ඩුවේ අවඥාව ප්‍රදර්ශනය කිරීමකි.


‘පුනරුත්ථාපන’ ක්‍රියාවලිය හමුදාකරණය කිරීම

යෝජිත නීතිය යටතේ පිහිටුවනු ඇති පාලක සභාවට කිසිදු පුනරුත්ථාපන ක්‍රියාවලියකට සම්බන්ධ වීමට විශේෂඥ දැනුමක් හෝ වරමක් නොමැති ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පතිවරයාද ඇතුළත් වෙයි.

කාර්යාංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආරක්‍ෂක අංශය තවදුරටත් සම්බන්ධ කර ගනිමින් ‘ආරක්ෂක විෂය පවරන ලද අමාත්‍යවරයාගේ නිර්දේශය මත’ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා, එනම් ප්‍රධාන විධායක නිලධාරියා පත් කිරීමට නියමිතය.

හමුදා නිලධාරීන් පොදු තනතුරුවලට පත් කිරීම සහ කොමසාරිස් ජනරාල්වරුන් සියලු දෙනාම පාහේ හමුදා හෝ හිටපු හමුදා නිලධාරීන් වීම යන කරුණු අනුව, බොහෝ විට සේවය කරන හෝ හිටපු හමුදා නිලධාරියෙකු මෙම තනතුරට පත් කරනු ඇත. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා කිසිදු නිර්ණායකයක් ද නියම කර නොමැත.

යෝජිත නීතියේ 17 වැනි වගන්තිය, විෂය අමාත්‍යවරයාගේ ඉල්ලීම මත, ‘මෙම පනත යටතේ ඇති බලතල, රාජකාරි සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට’ යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් නම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලය පවරා ඇත.

මෙම විධි විධානය මඟින් පුනරුත්ථාපන ක්‍රියාවලීන් සඳහා සන්නද්ධ හමුදාවන්ගේ මැදිහත්වීම විධිමත් කර නීතිගත කරනු ලබන්නේ මෙම බලය පිළිබඳ කිසිදු පරීක්ෂාවකින් තොරව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගිනි.



මෑත අතීතයේ දී, හිටපු සටන්කාමීන් පුනරුත්ථාපනය කිරීම යැයි කියනු ලැබූ හමුදාවේ අවිධිමත් සහ නීත්‍යනුකූල නොවන මැදිහත්වීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අනිවාර්ය පුනරුත්ථාපනය සඳහා එය අඛණ්ඩව සම්බන්ධ වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමට හේතු වී තිබේ. 

 
 
ආසන්නතම සිදුවීම වන්නේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී පුද්ගලයෙකු මිය යාමයි.

තවද, මෙම රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීමේදී හමුදා නිලධාරීන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාගේ අධිකාරියට යටත් වේද යන්න අපැහැදිලි වන අතර, මෙම පුද්ගලයින්ගේ අණදීමේ දාමය සහ වගවීම පිළිබඳ තත්වය ද කනස්සල්ලට හේතු වේ.


වෙනත් ගැටළු: මත් දව්‍ය පුනරුත්ථනය මධ්‍යස්ථාන

යෝජිත නීතිය මගින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් සහ අනෙකුත් සේවකයින් තොරතුරු ‘හෙළිදරව් නොකිරීමේ’ ගිවිසුමක් අත්සන් කළ යුතුය.

මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල සිදුවෙමින් පවතින සිදුවීම් ද ඇතුළුව පුනරුත්ථාපන මධ්‍යස්ථානවල වාර්තා වී ඇති අයිතීන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්, එවැනි ගිවිසුමක් ඇති කරන්නේ මෙම මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට වඩා උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම වැළැක්වීමේ අරමුණින් බව පෙනී යයි.

යෝජිත නීතියේ දැක්වෙන්නේ අත්අඩංගුවේ පසු වන පුද්ගලයකුට අදාළ වාර්තා අධිකරණ නියෝගයකින් හෝ මධ්‍යස්ථානය තුළ බරපතළ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මිස මුදා නොහැරිය යුතු බවයි.

 මෙම විධිවිධානය මගින්, මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් හෝ ඉක්මනින් සිදු විය හැකි උල්ලංඝනය කිරීමක් සම්බන්ධ විමර්ශනවලට අදාළ ලේඛන කැඳවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඇති අයිතිය සීමා කිරීමට උත්සාහ කරන්නේද යන්න පැහැදිලි නැත.

පුනරුත්ථාපන මධ්‍යස්ථානය වැනි නිදහස අහිමි වූ ස්ථානවල යුද හමුදා ප්‍රචණ්ඩත්වය බහුලව පවතින රටක බලය භාවිතා කිරීමට අවසර දීමේ, මෙම ප්‍රතිපාදනය ප්‍රචණ්ඩත්වය සක්‍රීය කර දිරිමත් කරයි.


පනත් කෙටුම්පතේ ඇති ඉතාම භයානක විධිවිධානයේ දැක්වෙන්නේ, ‘සාධාරණ හේතුවක් නොමැතිව පහරදීම, තුවාල කිරීම, අයහපත් සැලකිලි දැක්වීම හෝ පුනරුත්ථාපනය යටතේ සිටින ඕනෑම පුද්ගලයෙකු හිතාමතාම නොසලකා හරින’ මධ්‍යස්ථානයේ ඕනෑම සේවකයෙකු මෙම නීතිය යටතේ වරදක් කරන බවයි.


එවැනි ක්‍රියාවක් වධහිංසාවට එරෙහි සම්මුති පනත යටතේ වධහිංසා පැමිණවීමක් වනු ඇත. නමුත් එම වධහිංසාවට එරෙහි සම්මුති පනත පිළිබඳ කිසිදු සඳහනක් යෝජිත පනතෙහි නොමැත.

පළමුව, එම වගන්තිය සකස් කර ඇති ආකාරය අනුව පුද්ගලයෙකුට තුවාල කිරීමට හෝ අයහපත් ලෙස සැලකීමට සාධාරණ හේතුවක් තිබිය හැකිය. එම ප්‍රතිපාදනය මගින් ආත්මාරක්ෂාව සඳහා අවශ්‍ය බලය යෙදවීමේ අවස්ථා ආමන්ත්‍රණය කරන්නේ නම්, එය පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව තිබුණි.

ඒ වෙනුවට, විධිවිධාන සකස් කර ඇති ආකාරය ප්‍රචණ්ඩත්වය යුක්ති සහගත කරයි. වධහිංසාවට එරෙහි සම්මුති පනත අනුව නඩු විභාග මහාධිකරණයේ පැවැත්විය යුතු නමුත් යෝජිත කෙටුම්පතට අනුව එවැනි නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ සාරාංශ නඩු විභාගයකදී බැහැර කළ හැකිය.

වධහිංසාවට එරෙහි සම්මුති පනත යටතේ වරදකට දඬුවම වසර 7කට නොඅඩු සහ අවුරුදු 10කට නොවැඩි සිරදඬුවමක් වන අතර යෝජිත නීතියේ එය උපරිම මාස 18කි. මෙම වෙනස පෙන්වා දෙන්නේ මෙම මධ්‍යස්ථානවල සහ ඇතැම් පුද්ගලයන්ට එරෙහි යොදවන ප්‍රචණ්ඩත්වය ආණ්ඩුව බරපතල ලෙස නොසලකන බව නිදර්ශනය කිරීම සඳහා මිස සිරගත කිරීමේ කාලය වැඩි කිරීමක් ඉල්ලා සිටීමට නොවේ.

යෝජිත නීතියේ සඳහන් වන්නේ ඕනෑම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සේවයේ නියුතු පුද්ගලයෙකුගේ රාජකාරියට ‘බාධා කිරීම’ වරදක් වන අතර ඒ සඳහා දඩ මුදල රුපියල් පනස් දහසක් හෝ මාස හයක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම වන බවයි.

මත්ද්‍රව්‍ය මත යැපීමක් ඇති පුද්ගලයින් ප්‍රතිකාර ක්‍රියාවලියේදී, ඇබ්බැහියෙන් ඉවත් වීමේ රෝග ලක්ෂණ අත්විඳිය හැකි අතර එම තත්වය මෙම වගන්තිය තුළට ඇතුළත් කළ හැකි හැසිරීම් වලට තුඩු දිය හැකිය. එබැවින් මෙම වගන්තිය, දුෂ්කර ප්‍රතිකාර ක්‍රියාවලියෙහි පැති අපරාධ බවට පත් කරයි.

පුනරුත්ථාපනය ලබන පුද්ගලයෙකු මධ්‍යස්ථානයෙන් පැන ගිය විට, එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පනත් කෙටුම්පත පොලිසියට හෝ බලයලත් හමුදා නිලධාරීන්ට අධිකාරය ලබා දෙයි. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙකු අනිවාර්ය පුනරුත්ථාපනයකට යටත් නොවිය යුතු අතර තමන්ට අවශ්‍ය ඕනෑම වේලාවක ප්‍රතිකාරවලින් ඉවත් වීමට අයිතියක් තිබිය යුතුය.

මෙම විධිවිධානය එම අයිතිය උල්ලංඝනය කරයි.


පුනරුත්ථාපන ක්‍රියාවලියක කිසිදු අංශයකට සන්නද්ධ හමුදාවන් හෝ පොලිසිය සම්බන්ධ නොවිය යුතුය. තවද, ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම වැළැක්වීම සඳහා කවර හෝ ආරක්‍ෂාකාරී පියවරයන් පනවන්නේ නැතිව, පොලිසිය/සන්නද්ධ හමුදාව විසින් එම පුද්ගලයා වහාම මධ්‍යස්ථානයට භාර දිය යුතු බව ද විධිවිධානයේ සඳහන් නොවේ. එමගින් පොලීසියට හෝ හමුදාවට අපයෝජනය කිරීම සඳහා ඉඩ ඉතිරි කරයි.


ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුළු මධ්‍යස්ථානයක සේවයේ නියුතු ඕනෑම පුද්ගලයෙකුට, නිකුත් කරනු ලබන ‘ඕනෑම නීත්‍යානුකූල උපදෙස්වලට කීකරු වීමට බල කිරීමට’ ‘අවම බලය’ භාවිතා කිරීමට පනත් කෙටුම්පත බලය දෙයි.

මෙය වධහිංසා පැමිණවීම සඳහා නීත්‍යානුකූල අවසරයකි. මන්ද කිසිදු තත්වයක් යටතේ පුද්ගලයෙකුට අණකට කීකරු වීමට බල කිරීම සඳහා කිසියම් ආකාරයක බලයක් භාවිතා කළ නොහැකි නිසාය. එවැනි මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් අසරණ වන අතර සම්පූර්ණයෙන්ම කාර්ය මණ්ඩලයේ අනුකම්පාවට යටත් වේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානය වැනි නිදහස අහිමි වූ ස්ථානවල යුද හමුදා ප්‍රචණ්ඩත්වය බහුලව පවතින රටක බලය භාවිතා කිරීමට අවසර දීමේ, මෙම ප්‍රතිපාදනය ප්‍රචණ්ඩත්වය සක්‍රීය කර දිරිමත් කරයි.

එපමණක් නොව, හානිය අවම කිරීමේ උපාය මාර්ග ප්‍රතික්ෂේප කර ඇති නිසා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට මත් ද්‍රව්‍ය භාවිතය නැවැත්වීමට බල කිරීමට භාවිතා කරන එකම ක්‍රමය වන්නේ වැළකී සිටීමේ පමණක් වන සන්දර්භය තුළ, එවැනි පුද්ගලයින්ට සාමාන්‍ය දෛනික කටයුතුවල යෙදීමට පවා නොහැකි වන දරුණු ශාරීරික රෝග ලක්ෂණ අත්විඳිය හැකිය.

එවැනි පුද්ගලයින්ට විවිධ කාර්යයන්හි නිරත වීමට බල කිරීම සදහා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමේ අවස්ථා පැහැදිලිව ලේඛන ගත කර තිබේ. එබැවින්, මෙම විධිවිධානය මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඩි කිරීමට හේතු වනු ඇත.


සිය අනිසි බලය යෙදවීම පුළුල් කර ගැනීමට සහ අපයෝජනය, ප්‍රචණ්ඩත්වය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සාමාන්‍යකරණය කිරීමට සහ නීතිගත කිරීමට ආණ්ඩුව දරන උත්සාහය වේගයෙන් ඉදිරියට යමින් තිබේ.


(අම්බිකා සත්කුනනාදන් විසින් ඉංග්‍රිසි බසින් පළ කරන ලද ලිපියක් ඇසුරෙන් සකස් කරන ලද්දේ සුනන්ද දේශප්‍රිය විසිනි. ඍජු පරිවර්ථනයක් නොවන බව සළකන්න.)

 
sunanda deshapriya(සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58