"අම්මා, තාත්තා, පුතා, දුව එකට ඉඳලා කතා කරන්න බැරි ඒවා නොමිලේ දෙනවා තරම් පල්ලෙහාට වැටුණු මිනිහෙක් බවට පත් වෙලා."
"දෙයි හාමුදුරුවනේ මේවා අහලා තියනව ද කිසි දවසක. ගෙදර රූපවාහිනිය බලනකොට නෝනයි මහත්තයයි දරුවෝ ටිකයි පෑඩ් මෑන් කතා කරනකොට අම්මයි තාත්තයි නැගිටලා යනවා. ඉන්න බෑ, හිරිකිතේ ලැජ්ජාවෙ."
ඉහත දැක්වෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කාන්තා සනීපාරක්ෂක තුවා පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ තවත් හිටපු ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවක පළ කළ අදහස්ය.
කාන්තා සනීපාරක්ෂක තුවා පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එසේ අදහස් පළ වෙද්දී තම මව්වරුන්, දියණියන්, සොහොයුරියන් සහ සහකාරියන් ඇතුළු පොදුවේ කාන්තාවන් මුහුණ දෙන ස්වභාවික සංසිද්ධියක් පිළිබඳව කතා කිරීම වරදක් නොවන බවට තවත් සමහරු තර්ක කරති.
විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි ගතානුගතික අදහස් දරන බහුතරය වෙසෙන රටක ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂක තුවා පිළිබඳ පවතින "පසුගාමී අදහස්" වෙනස් විය යුතු බවට ඔවුහු තර්ක කරති.
අශෝක හඳගම සිය FB පිටුවේ පළකර ඇති පොස්ටුවක්
සිංහල සහ හින්දු චාරිත්‍ර අනුව එම සමාජයේ ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම පවුලේ සමීපතමයන් පමණක් නොව අසල්වැසියන්ට ද රහසක් නොවන්නේ එකී ස්වභාවික සංසිද්ධිය උත්සවාකාරයෙන් සමරනු ලබන නිසාය.
නමුත් ඔසප් වීම, සනීපාරක්ෂාව, උපත් පාලනය වැනි ලිංගික අධ්‍යාපනයට ඇතුළත් වන බොහෝ කරුණු ශ්‍රී ලංකාව තුළ තහනම් මාතෘකා (Taboo) බවට පත්ව ඇත.
එවැනි පසුබිමක ඔසප් වීම, පාසල් වයසේ පටන් සේවා ස්ථානය දක්වා ම කාන්තාවන්ට අභියෝගයකි.
සනීපාරක්ෂක තුවා සහ ඔසප් සමයේ භාවිත කෙරෙන සනීපාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින ඉහත කී ආකාරයේ ආකල්ප ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපයේ සෙසු රටවලට ද පොදු බව වාර්තා දෙස බැලීමේදී පෙනී යයි.
ශ්‍රී ලංකාවේ පාසල්
දකුණු ආසියාවේ පාසල් තුළ ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සම්බන්ධයෙන් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව:
දුගීභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැරියන් වැඩි දෙනෙක් සනීපාරක්ෂක තුවා වෙනුවට ඒ සඳහා රෙදිකඩක් භාවිත කරති.
ශ්‍රී ලංකාව තුළ පාසල් දැරියන් සඳහා වෙන ම වැසිකිළි පැවතියත් සනීපාරක්ෂක තුවා ඇතුළු ඒ සඳහා යොදා ගනු ලබන දේ මාරු කිරීම සඳහා වැසිකිළි භාවිත කරන්නේ 34% ක් පමණක් බව වාර්තා වේ. ඔසප් කාලය තුළ දෙමව්පියන්ගෙන් 60% සිය දියණියන් පාසල් නොයවති.
මිථ්‍යාව සහ තහනම් මාතෘකා
ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් දැරියක් සියදිවි හානි කර ගැනීමේ පුවතක් 2017 වසරේදී දකුණු ඉන්දියාවෙන් වාර්තා විය.
එමෙන් ම කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් සිය කෝවිලට ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර දෙන බවට කේරළයේ සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා කළ ප්‍රකාශයක් 2015 වසරේදී දැඩි ආන්දෝලනයකට ලක් විය.
ඔසප් වීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් පවතින සම්මතයන් සහ මිථ්‍යා මත මෙන් ම එය සමාජය තුළ තහනම් මාතෘකාවක් වීම නිසා දැරියන්ගේ පාසල් පැමිණීමට බලපෑම් එල්ල වන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමා වන බවත් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය කළ අධ්‍යනයකින් හෙළි වී ඇත.
ඔසප් වීම සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පවතින දැනුම, ආකල්ප සහ භාවිතය පිළිබඳ සොයා බැලීම සඳහා කළුතර දිස්ත්‍රික්කයට අයත් යොවුන් දැරියන් 720 දෙනෙකු සහ ගුරුවරියන් 282 දෙනෙකු යොදා ගනු ලැබ ඇත්තේ 2015 වසරේදීය.
"නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත"
එහිදී සොයා ගත් මූලික කරුණු:
# ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තිබී ඇත්තේ පාසල් කීපයක පමණි.
# ගුරුවරියන්ගෙන් 60% ක විශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය අපිරිසිදු බවය.
# නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත.
# යෝනි මාර්ගය තුළට ඇතුළු කරන ටැම්පුන් (Tampon) භාවිතයෙන් අතුරු ආබාධ ඇති වෙතැයි ගුරුවරියන්ගෙන් 40% කගේ විශ්වාසය වී තිබේ.
# රජයේ පාසල්වලින් සබන් තිබී ඇත්තේ 41% ක පමණි.
# හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සනීපාරක්ෂක තුවා ඇතැයි සඳහන් කර ඇත්තේ විදුහල්පතිවරුන්ගෙන් 1% ක් සහ ගුරුවරියන්ගෙන් 6% ක් පමණි.
පාසල් දැරියන්
වැඩිවියට පත් වීමට පෙර ඔසප්වීම පිළිබඳ තොරතුරු නොදන්නා දැරියන්ගේ ප්‍රතිශතය
(දත්තවලට අදාළ වසර ශ්‍රී ලංකාව 2014, පාකිස්තානය 2017, නේපාලය 2016, ඉන්දියාව 2016, බංග්ලාදේශය 2014, ඇෆ්ගනිස්තානය 2010)
# ඔසප් කාලය තුළ ස්නානය කළ යුතු බව පාසල් සිසුවියන්ගෙන් 80% ක් දැන සිටියහ.
# ඔසප් රෙදිකඩ සබන් යොදා සේදිය යුතු බවත් විෂබීජ නැසීම සඳහා යළි භාවිතයට පෙර වියළා ගත යුතු බවත් පාසල් සිසුවියන්ගෙන් 70% ක් දැන සිටියහ.
# සෑම මසක ම ඔසප් සමයේ දිනක් හෝ දෙකක් පාසල මගහැරෙන බව පාසල් දැරියන්ගෙන් 37% ක් පවසා තිබේ.
# 66%ක් පාසල් සිසුවියන් වැඩිවියට පත් වන තෙක් ඔසප් වීම පිළිබඳව දැන සිට නැත.
කලාපයේ වෙනත් රටවල්
ඔසප් වීම ආරම්භයත් සමග කාන්තාවන්ට අත්විඳීමට සිදුවන වේදනාව දැක්වීම සඳහා සමාජ ජාල තුළ පළ කරනු ලැබූ ඡායාරූපයක්
නිල වාර්තාවලට අනුව කලාපයේ වැඩි වශයෙන් ම සනීපාරක්ෂක තුවා භාවිත කරන රට භූතානයයි. එරට කාන්තාවන්ගෙන් 90% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරන බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි.
ඉහත කී වාර්තාවට අනුව ඉන්දියාවේ 58% ක් පිරිසිදු ආරක්ෂණ ක්‍රමවේද (සකසා ගත් රෙදිකඩ, සනීපාරක්ෂක තුවා, ටැම්පුන්) භාවිත කරති. කෙසේ නමුත් මිල අඩු සනීපාරක්ෂක තුවාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වේ.
පාකිස්තානයේ දැරියන්/කාන්තාවන් 66% ක් කපු රෙදි භාවිත කරන අතර ඉන් 49% ක් ඒවා යළි භාවිත කරති. 17% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරති.
බංග්ලාදේශයේ 10% ක් ඉවතලන සනීපාරක්ෂක තුවා භාවිත කරති.
ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රයක් නේපාලයේ පැවතෙයි.
එය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් 2017 වසරේදී සම්මත කරනු ලැබීය.
ඔසප් වූ කාන්තාවක නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 කි) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලබා දී ඇත.
ඔසප් නිවාඩු
මේ අතර ඔසප් කාලය තුළ කාන්තාවන්ට යම් කිසි ආකාරයක සහනයක් ලබා දීම සඳහා ඇතැම් රටවල් සහ ආයතන පියවර ගනිමින් සිටිති.
ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.
සැම්බියාවේ රැකියා කරන කාන්තාවන්ට මාසයකට එක් වතාවක් තමන් කැමති දිනක නිවාඩුවක් ලබා ගැනීමේ අයිතිය නීති මගින් හිමිකර දී තිබේ.
(සුනෙත් පෙරේරා BBC සිංහල)