අනවශ්‍ය කටකතා සහ ප්‍රචාරවලට නොරැවටී තම ජන්ද මධ්‍යස්ථානවලට ගොස් ජන්දය භාවිතා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලු ජන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියි.
අද (16) දිනයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක එබව සඳහන්වේ.
දිවයින පුරා සිටින ජන්ද දායකයින්ට නිදහසේ සිය ජන්දය භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණයක් මේ වන විට රට තුළ ශක්තිමත් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සියලු විධි විධාන ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත ලබාදී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වූ රටක පුරවැසියන්ගේ බලයක් මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති අයෙකු වෙනුවෙන් ජන්දය භාවිතා කිරීම බව ජනාධිපතිවරයා එම විශේෂ නිවේදනයෙන් පෙන්වා දෙයි.
යාපනයේ යෙදවු හමුදා මාර්ග බාධක ඉවතට
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත්කල නිවේදනයක සඳහන් වන්නේ, පලාලි සහ පලෙයි පොලිස් වසම්වල ඊයේ (15) දින උදෑසන සිට යුධ හමුදාවෙන් යොදවන ලද මාර්ග බාධක කිහිපයක් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගත් බවයි.
අද (16) දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මෙලෙස යුධ හමුදාව විසින් මාර්ග බාධක යෙදවීම නීත්‍යාණූකූල නොවන බැවින් යුධ හමුදා නිලධාරීන් වෙත ඒ පිළිබඳව පොලීසිය විසින් දැනුම් දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.
එලෙස පොලීසියේ දැනුම්දීම මත යුධ හමුදාව විසින් මෙම යුධ හමුදා මාර්ග බාධක සියල්ල ඉවත් කර ගැනිමට අවශ්‍ය කටයුතු කර ඇති බව පොලිසිය සදහන් කර සිටියි.