කම්කරු නීති උල්ලංඝණය කරමින්, බලහත්කාරී පාලනයක් ගෙන යන ප්‍රධානියකු ලෙස වැවිලි සමාගමක

අයිතිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට චෝදනා එල්ල වී තිබේ.


'' වතු කම්කරුවන්ගේ අයිතිය, කම්කරු නීති, ගැසට් කරපු රුපියල් 1000 වැටුප මේ කිසිවක් සලකන්නේ නැතුව තමයි වතු පාලකයෝ වැඩ කරන්නේ. ඒ අතරින් ප්‍රමුඛයා වෙන්නේ ධම්මික පෙරේරා මන්ත්‍රී තුමාගේ හේලීස් වැවිලි සමාගම,'' යැයි ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසයි.


කම්කරු අමාත්‍යංශ වැය ශීර්ෂය වෙනුවෙන් පැවති විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් කියා සිටියේ ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන වැනි වැවිලි සමාගම් හිමියන් කම්කරු නීති ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන බවයි.

 

'' රටට ඩොලර් ගේනවා කියලා පාර්ලිමේන්තු ආපු ධම්මික පෙරේරා මන්ත්‍රීතුමා එයාගේ යටතේ ඉන්න කම්කරුවන්ට අයිතිවාසිකම් දෙන්නේ නැහැ. අඩුම ගානේ වැඩි කරපු රුපියල් 1000 දෙන්නෙත් නැහැ.''

 

'' වතු දිස්ත්‍රික් 10 ක පාලනය තියෙන්නේ වතු අයිතිකාරයෝ හතර පස් දෙනෙක් අතේ. ආණ්ඩුවට වැඩි බලයක් ඒ අයට තියෙනවා. බලංගොඩ සහ මඩොල්සිම වැවිලි සමාගම් අයිති හැරී ජයවර්ධනට, හේලීස්, හොරණ, තලවාකැලේ, කැළණි වැලි වැවිලි සමාගම් ධම්මික පෙරේරා මන්ත්‍රීතුමාගේ.''


ලිංගික හිංසන


1553655255 sri lanka tea estate workers


වතු කම්කරුවන් අතරින් සියයට 75 ක් ස්ත්‍රීන් වන බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව නොසළකන වතු හිමියන් විසින් කම්කරු අයිතීන්, කාන්තා අයිතීන් හා මානව හිමිකම් ද උල්ලංඝණය කරන බවට චෝදනා කරන ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම්වරයා, වැඩබිම තුල ස්ත්‍රීන්ට වන ලිංගික හිංසනය පිටුදැකීම වෙනුවෙන් ලෝක කම්කරු සංගමය හඳුන්වා දී තිබෙන ``C 190`` සම්මුතිය වතුකරයේ  බලාත්මක කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලයි.


1992 වසරේදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව විසින් වතු සමාගම් 22 ක් පුද්ගලීකරණය කරන විට කම්කරුවන් ලක්ෂ 12 ක් සේවය කළ අතර මේ වන විට වතු ශ්‍රම බළකාය ලෙස දැක්වෙන්නේ 1 40 000 කි.  ඉන් සියයට 75 ක් ස්ත්‍රීන්ය.

 

කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස ගෙවීම පඩි පාලක සභාව වෙතින් නිර්දේශ කිරීම නිසා ඊට එරෙහිව වතු හාම්පුතුන් විසින් අධිකරණයේ පිහිට පැතීමත් සමග වතු හිමියන් හා වෘත්තීය සමිති අතර පැවති සාමුහික ගිවිසුම ද බල රහිත විය. එම නිසා වතු හිමියන් වෘත්තීය සමිති පිළිනොගන්නා බවද මන්ත්‍රී  වඩිවේල් පවසයි.

 

'' රුපියල් 1000 කින් ජිවත් වෙන්න අද කාටද පුළුවන්. ඒත් ඒක දෙන්නත් එක එක වැඩ කොන්දේසි දානවා. සාමාන්‍යයෙන් වතුකරයේ පවුලකට ජීවත්වෙන්න අවම වශයෙන් රුපියල් 3750 ක් යනවා. පඩි පාලක සභාවෙන් හරි අලුත් සාමුහික ගිවිසුමකින් හරි කමක් නැහැ  මේ ගැන වැඩ කරනවා නම් CWC සමග අපිත් සහාය දෙනවා.''


පොලිසිය හා හමුදාව


කම්කරු ආරවුල් විසඳීමට පොලිසිය කැඳවීමට වතු පාලකයන් ක්‍රියා කිරීම නිසා කම්කරු නිලධාරීන්ගේ රාජකාරි අවතක්සේරු කර ඇති බව පවසන LJEWU ලේකම්වරයා. කම්කරු ඇමතිගෙන් සහ පොලිස් ඇමතිගෙන් ඉල්ලා සිටියේ පොලිසිය මැදිහත් කර කම්කරුවන් බිය ගන්වමින් ඔවුන්ගේ නිදහස අහිමි කරන ක්‍රමය වහා නවතා දමන ලෙසයි.


'' අනෙක් පැත්තෙන් ජනවසම හා රාජ්‍ය වැවිලි සංස්ථාව වල සභාපතිලා හැටියට දාලා තියෙන්නේ හමුදා විශ්‍රාමිකයෝ. හමුදාවට අපි ආදරය කරනවා. ගෞරව දක්වනවා. ඒත් ඔවුන්ට මේක කරන්න බැහැ.''

 

'' 92 පුද්ගලීකරණය කළේ මේ වතු ආණ්ඩුවට කරගන්න බැරි හින්දා. ගිවිසුම් ගහලා සමාගම් වලට දුන්නේ. ඒත් අද වටවල වැවිලි සමාගම නැහැ ඒක හැටන්  වෙලා. අගලවත්ත දම්රෝ වෙලා. වතු අධිකාරි බංගලා ඔක්කොම හොටෙල් වෙලා. ගස් කපනවා ඒ හින්දා නාය යාම් වැඩියි. එක තේ පැලයක් අලුතෙන් හිටවන්නේ නැහැ. මේවා මෙහෙම වෙන්න පුළුවන් ද. මේ රජයේ දේපොළ.

 

වතු සමාගම් නැවත තේ වගාව නොකිරීම නිසා ඉඩම් හෙක්ටයාර් 9000 ක් වල් බිහිවී ඇති බැවින් දිවියන්, ඌරන් හා බඹරුන්ගෙන් කරදර විඳීමට වතු කම්කරුවන්ට සිදුව ඇතැයි වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා පවසයි.


''දළුකඩන අම්මලා 27 දෙනක් බඹරු විදලා මැරිලා තියෙනවා.''


උතුරු නැගෙනහිර පළාත් වල මෙන්ම වතුකරයේ ද බොහෝ ප්‍රශ්න ඇතත් ඒවා පිටතට නොඑන්නේ කඳුකර ජනයා රටට ආදරේ නිසා බව පවසන LJEWU ලේකම්, එහෙත් පාලකයන් විසින් වතු කම්කරුවන්ව නොසළකා හැර ඇති බවට චෝදනා කරයි.


'' වෘත්තීය සමිති වතු කරයේ ජනතාවට LTTE ට යන්න දුන්නේ නැහැ. JVP ට යන්න දුන්නේ නැහැ. අපි නවත්වා ගත්තා. හැමදාම වැඩ කරනවා. කොරෝනා කියල වතු කම්කරුවෝ වැඩට නොගින් හිටියේ නැහැ. ඒත්  වතු කම්කරුවන්ට  කුඩම්මාගේ සැලකිල්ල.''

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්