අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ලබාදුන් ස්ථාන මාරුව සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පොලීසියට නොදන්වාම රටින් පිටව යාම ප්‍රබල අවධානයට ලක් වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පසුගිය සතියේ කටයුතු කළේය.
ඒ පිළිබඳව දැඩි කතාබහක් ඇතිවෙමින් තිබියදී ශානි අබේසේකර සමඟ විමර්ශන වල එක්ව කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඉරිදා (නොවැම්බර් 24) විදේශ ගතවූ බවට වාර්තා විය.
නිශාන්ත සිල්වා අවසරයකින් තොරව රටින් පිටව යාමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනාට පොලීසියේ අවසරයකින් තොරව රටින් බැහැර විය නොහැකි පරිදි ඔවුන්ගේ නාම ලේඛන ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලයට ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අවසරයකින් තොරව විදේශ ගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කවුද මේ ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ?
ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා හැඳින්විය හැකිය.
# රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය,
# කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම,
# භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය,
# මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ
# රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.
එම සිදුවීම් වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශනවල කටයුතු වල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.
ස්ථාන මාරුව ක්‍රියාත්මක වන අවස්ථාව වනවිට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මරණ ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේය.
පසුගිය යහපාලන රජය පත්වීමත් සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 2005-2015 පාලන කාලය තුළ සිදුවූ අපරාධ විමර්ශන සිදුවීම් නැවත විමර්ශනය ආරම්හවූ අතර ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා එම විමර්ශන බොහොමයක් භාරව කටයුතු කළ අය අතර වේ.
රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට දේශපාලන බලපෑම් මත කටයුතු කළ බවට ඔවුන්ට ඒ අවස්ථාවේදීත් චෝදනා එල්ලවූ අතර ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරමින් තමන් කරන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පමණක් බව අවස්ථා ගණනාවකදී සඳහන් කර තිබුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවේචනය කරමින් අදහස් පළ කළේ ඔවුන් විමර්ශනවලට අදාළව හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමිනි.
විශේෂයෙන්ම එම අපරාධ හමුදා බුද්ධි අංශ යොදාගෙන සිදුකර තිබෙන නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමකින් තොරව විමර්ශන සිදුකිරීමට නොහැකි බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව එවකට ජනාධිපතිවරයාට ලබාදුන් පිළිතුරය.
එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය වසරේ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීමෙන් සති කිහිපයකට පසුව පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ට හදිසි මාරුවක් ලබා දුන් අවස්ථාවේ එය ප්‍රබල විවාදයකට තුඩු දුන්නේය.
ජනාධිපතිවරයාගේ "නියෝග සහ උපදෙස් අනුව" පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මිගමුව කොට්ඨාසය වෙත ස්ථාන මාරුවක් ලබා දුන් බව ඒ අවස්ථාවේ පොලිස්පති පූජිත් ජයසුන්දර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වූ අතර, පසුව ඒ මාරුව අවලංගු කරන ලදි.
නව ජනාධිපතිවරයාගෙන් දැඩි ප්‍රතිචාර
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉරිදා (නොවැම්බර් 24) භික්ෂුන් වහන්සේ පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ශානි අබේසේකරගේ සහ නිශාන්ත සිල්වාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේය.
"අර දැන් අපේ විමර්ශන කරපු මිනිහා අන්න අද පැනලා ගිහිල්ලා. නිශාන්ත සිල්වා. ජිනීවා ගිහිල්ලා පැනලා," ජනාධිපතිවරයා කියා සිටියේය.
ඔවුන් පසුගිය වසර 5 තුළ රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය ආකාරයට කටයුතු කළ බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී එම නිලධාරීන් දෙදෙනාට චෝදනා කළේය.
"ශානි අබේස්කර එයාට හිතාගෙන ඒකට හරියන්න විමර්ශනය කරනවා ඒවා ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්න අහන්නේ නැහැ. යුද්ධය කරපු අයවයි නිලධාරීන්වයි නාවික හමුදාපතිවරයා හිරේ දාන්නයි, බුද්ධි අංශය හිරේ දාන්නයි. මාව හිරේ දාන්නයි. එච්චර විතරක් නෙවෙයි ඒගොල්ලෝ කොහොමද මගේ නම කියන්නේ කියලා බල කරපු නිලධාරීන්. රාජ්‍ය නොවන සංවිධාන ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. සාධාරණය කියන්නේ ඒක නෙවෙයිනේ, නීතියේ ආධිපත්‍ය කියන්නේ ඒක නෙවෙයිනේ," ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.
ශානි අත්අඩංගුවට ගන්නැයි බලපෑම් !
මේ අතර ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ඔහු සිදු කළ සියළු විමර්ශන නැවත විමර්ශනයට ලක් කළ යුතු බව බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ නමුත් ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ශානි අබේසේකරට ලබාදුන් මෙම ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් බවය.
"ශානි අබේසේකර කියන්නේ පක්ෂ පාට නොබලා වැඩකරපු අවංක නිලධාරියෙක්. මහබැංකු බැඳුම්කර විමර්ශනයේදී අර්ජුන ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වපු එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් ඔහු හෙළිකළා. මුදලට මිලදී ගත නොහැකි ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ රහස් පොලිස් නිලධාරියා ශානි අබේසේකර කියන එක මගේ මතය. ඔහුට කරන මේදේ යුක්තිය හොයන්න රාජපක්ෂ කඳවුරේ තියෙන අකමැත්ත නැවත වරක් පිළිබිඹු කරන්නක්," එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කරගැනීමට අවශ්‍යව සිටින ඇතැම් කණ්ඩායම් එම විමර්ශනය මෙහෙයවූ ශානි අබේසේකර ගැන වැරදි තොරතුරු ජනතාවට ගෙනයමින් සිටින බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කියා සිටියේය.
අදාළ මාරුව "මිනීමරුවන්ගේ ජයග්‍රහණයක්" හා "දූෂිතයන්ට සහයක්" බව එජාප මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසන අතර, එය දේශපාලන අරමුණකින් යුතුව කරන ලද ස්ථාන මාරුවක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ද ට්විටර් පණිවුඩයක් යොමුකරමින් පවසා තිබුණි.
එම් ඒ සුමන්දිරන් ගේ ට්විටර් පණිවුඩය
මේ අතර ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ලබාදුන් ස්ථාන මාරුවට අනුමැතිය ලබාදීම ගැන සිය විමතිය පළකර තිබේ.
නව ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් පත්වුණු විගස මෙම ස්ථාන මාරු අවශ්‍යතාව පැනනැගීම මගින් එය දේශපාලන අවශ්‍යතාවක් මත සිදුවූවක් බව පෙනෙන්නට තිබෙන බව එම ලිපිය මගින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කර තිබේ.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ජනමාධ්‍යවේදීන් සම්බන්ධ සිද්ධි රැසක විමර්ශන පැවැත්වූ ශානි අබේසේකර එම තනතුරින් ඉවත්කිරීම එම පරීක්ෂණවලට හා අධිකරණ කටයුතු වලටද දැඩි බාධාවක් ඇතිවිය හැකි බවද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මතය වී තිබේ.
එය "බරපතල සැකයට තුඩු දෙන කාරණයක්" බව පවසමින් අදාළ ස්ථාන මාරුව අවලංගු කරන මෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණි.
(බීබීසී සිංහල සේවය)