2018 වසරේ පෙබරවාරි මස හතරවෙනි දින එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේ එම විරෝධතාවාදීන්ට තර්ජනය කළ බවට චෝදනා ලත් බ්‍රිගේඩියර්වරයා ඊට වරදකරු බව අධිකරණය තීන්දු කළේය.

එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ එවක මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබුණ නඩුව විභාග කළ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

චූදිත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව විභාගයට ගත් ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික් විනිසුරු එමා ආර්බත්නොට් (Emma Arbuthnot) දුන් තීන්දුවෙන් ප්‍රකාශ වෙන්නේ යුද හමුදා නිලධාරියා එම චෝදනාවලට වරදකරු වෙන Priyantha text 2019.12.7අතර ඔහුට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නොලැබෙන බවය.

අදාළ දිනයේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දමිළ හිතවාදීන් කණ්ඩායමක් ධජ පතාක රැගෙන සටන්පාඨ කියමින් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටියදී නිල ඇඳුමින් සැරසුන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම විරෝධතාවාදීන්ගේ ගෙල කපා දමන බව දැක්වෙන ඉඟියක් තුන් වරක්ම සිය අතේ ඇඟිලිවලින් විදහා දක්වා ඇති බවත් අධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ වෙයි.

නිලධාරියාගේ එම හැසිරීම එම අවස්ථාවේ ගනු ලැබ ඇති "නිශ්චල ඡායාරූප සහ වීඩියෝ පට මගින් තහවුරු කෙරෙන" බවත් තීන්දුවේ දැක්වෙයි.

ඒ අනුව චූදිත බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ තර්ජනාත්මක අභිනය සහ එහි සිටි පුද්ගලයන්ට එරෙහිව අඩන්තේට්ටම සිදු කිරීමට සැරසෙන ලෙස බිය ගැන්වීම බ්‍රිතාන්‍යයේ සමාජයේ නීතිය සහ සාමය සුරැකීමට අදාළ පනත (Public Order Act 1986 )අනුව වැරදි ක්‍රියාවක්ය යන්න අධිකරණ තීන්දුව වෙයි.

 110037297 west
                                                        වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙස්ට්මිනිස්ටර් නඩු විභාගය ඉදිරියේ පෙනී නොසිටි අතර ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිතයෙක් ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.

2018 පෙබරවාරි 04 වන දින මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිද්ධිය බ්‍රිතාන්‍ය සමාජයේ දැඩි අවධානයට යොමු වූ මාතෘකාවක් බවට පත්වීමත් සමඟ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීන්දු කළේය.

ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලද අතර, එවක යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානයක කියා සිටියේ එම නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු නැවත කැඳවා ගත් බවය.

"යුද හමුදාපති හැටියට මම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා. හරිද වැරදිද කියල තීරණය කළ යුත්තේ වෙන කෙනෙක්," ජනරාල් මහේෂ් සේනානයක පැවසිය.

ඇතැම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා 2018 පෙබරවාරි 04 වෙනිදා ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වූ අතර, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක යෙදෙන අතරතුර අදාළ නිලධාරියා 'යමෙකුගේ ගෙල සිඳින බව කියා පෑමේ සංඥාවක්' කිරීම එහි සිටි පුද්ගලයන් බිය ගැන්වීමක් බව ජොආන් රයන් (Joan Ryan ) සහ ෂෝආන් මැක්ඩොනග් (Siobhain McDonagh) යන මන්ත්‍රීවරියන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාට ලිපියක් මගින් කියා සිටියහ.

"එක්සත් රාජධානිය තුළ කටයුතු කරන නිල මට්ටමේ අමුත්තකු වශයෙන් එම හැසිරීම සුදුසු නොවන, පිළිගත නොහැකි මෙන්ම තර්ජනාත්මක වූවක්," යයි එම මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ.

රාජ්‍යතාන්ත්‍රික මුක්තිය යටතේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව එක්සත් රාජධානියේ අධිකරණයක නඩු පැවරිය නොහැකි බව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය වී තිබුණි.

එහෙත් චූදිත බ්‍රිගේඩියර්වරයා රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් භුක්ති නොවිඳින බව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ පළමු තීන්දුව මගින් ප්‍රකාශයට පත් කෙරුණ අතර නව තීන්දුව මගින් ද එම පළමු තීන්දුව තහවුරු කරනු ලැබ ඇත.

වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය චෝදනාවලට වරදකරු යයි තීන්දු කෙරුණ බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දුට අදාළ වරද සම්බන්ධයෙන් ස්ටර්ලින් පවුම් දෙදාහක් ද නඩු ගාස්තු සහ අතිරේක ගාස්තු සහ වන්දි වශයෙන් ගෙවිය යුතු මුදල් ද ඇතුළුව ස්ටර්ලින් පවුම් 4419.80 ක දඩයක් නියම කරනු ලැබ ඇත.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්