කොළඹ දී පැහැරගෙන, තර්ජනය කරන ලද බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (දෙසැම්බර් 09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

පැහැරගෙන යාමට ලක්වූ බව කියන අදාළ කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අපයෝජනයකට භාජනය වී තිබේද යන්න පිළිබඳව සහ ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට අද දින නියම කරනු ලැබිණි.

ඊයේ දිනයේදී අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අදාළ කාන්තාව පිරිමි වෛද්‍යවරයකු හමුවේ කායික වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීමට අකැමැත්ත පළ කිරීම නිසා එම පරීක්ෂණය ඊයේ දින අවසන් කර ගැනීමට නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

වෛද්‍යවරියක ඉදිරියේ එම පරීක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ඇය ඉල්ලීමක් කළ බවත් ඒ අනුව ඇයට අද දින කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයට වෛද්‍ය පරීක්ෂණ සදහා පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

පහරදීමකට සහ ලිංගික අපයෝජනයට!

මෙහිදී පැහැරගෙන යාමට ලක්වූ බව පවසන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කාන්තා වෛද්‍යවරයෙකු ඉදිරියේ සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

 තම සේවදායකයා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය වෛද්‍යවරයකු සහ දේශීය වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කරන ලදුව ලබාගත් වාර්තාවන්හි ඇය පහරදීමකට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් නීතිඥ කුමාරප්පෙරුම එහිදී කියා සිටියේය.

ඒ පිළිබඳව කරුණු දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කළේ සියලුම ස්ත්‍රී දූෂණ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ සාමාන්‍යයෙන් සිදුකරන්නේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිටින පිරිමි වෛද්‍යවරු බවත්, එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය එය බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.

මේ සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කෙසේ වෙතත් මෙම කාන්තාව වෛද්‍යවරියක ඉදිරියේ පරීක්ෂණයට භාජනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

 

අගතියට පත් කාන්තාවගේ මානසික තත්ත්වය!

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව යහපත් මානසික තත්ත්වයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව මානසික වෛද්‍ය මණ්ඩලයක් හමුවට යොමු කර වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවකි. එහිදී අදාළ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියා සිටියේ මෙම අවස්ථාවේ තම සේවාදායිකාව සුදුසු මානසික තත්ත්වයෙන් සිටින බවය.

අගතියට පත් කාන්තාව මෙම අවස්ථාවේ සුදුසු මානසික තත්ත්වයෙන් පසුවන බවට ඇයගේ නීතිඥවරුන් ප්‍රකාශ කරන හෙයින් එවැනි මානසික වෛද්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.

ඊට අමතරව එම කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අතවරයට භාජනය වී තිබේ ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත දුන් නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

පැය නවයක ප්‍රකාශයක් !

මෙහිදී මහේස්ත්‍රාත්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කාන්තාවගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට අද දිනයේද ඇයව කැඳවා ඇති බව සඳහන් කළේය.

අදාළ කාන්තාවගෙන් ඊයේ සවස 5.30 සිට අද අලුයම 2.30 දක්වා පැය නවයක් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙහිදී අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාව වෙත විදේශගතවීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය හැකිතාක් ඉක්මනින් ඉවත් කරගැනීමට අවශ්‍ය බවය. ඒ අනුව අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ ලබාගැනීම කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම කටයුතුවල ප්‍රගතිය ලබන 12 වනදා වාර්තා කරන ලෙස ද නියම කළාය.

ඒ අනුව ඇයට පනවා තිබු තාවකාලික විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 12 දක්වා දීර්ඝ කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය.

Dinesh Swiz 

පරීක්ෂණ ඉදිරියට ගෙනයාම සඳහා, පැහැරගැනීමට ලක්වූ බව පවසන නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම පිණිස ඇය පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කළ ඉල්ලීමට ස්විට්සර්ලන්තය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් දෙරට අතර රාජතාන්ත්‍රික මත ගැටුමක් පවා ඇතිව තිබිණි.

සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තත්ත්වයක ඇය නොමැති බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මින් පෙර සඳහන් කර කළේය. ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පසුගිය 3 වැනිදා කරුණු වාර්තා කරමින් අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කළේය.

එහි සඳහන් වුයේ දෙසැම්බර් 9 වැනිදාට පෙර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසය. ඒ අනුව ඊයේ (දෙසැම්බර් 8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ කාන්තාව ප්‍රකාශයක් දීමට කටයුතු කර තිබිණි.  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ දින සවස කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටිනු එහි ගිය මාධ්‍යවේදීන්ට ද දක්නට ලැබිණි.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය

"මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයින්ට එරෙහිව සිදුවූ ඉතා බරපතළ මෙන් ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා," යනුවෙන් ස්විට්සර්ලන්තය රජය මෙම සිදුවීම ගැන නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ස්විට්සර්ලන්තය එමගින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශය පසුගිය ඉරිදා (දෙසැම්බර් 01) නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ "ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද, සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව ඌබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වෙතැයි සාක්ෂි සහිතව," තානාපතිවරයාට පෙන්වා දෙන ලද බවය.

(බීබීසී සිංහල සේවය)


නීතිය නමන නැමිල්ල ඕෂල දකින හැටි...

කොළඹ දී පැහැරගෙන, තර්ජනය කරන ලද බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන දිනයටත් අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ආණ්ඩුවට පක්ෂපාති පෞද්ගලික මාධ්‍ය ඊයේ දිනයේදී මෙන්ම අද දිනයේ ද ඒ සම්බන්ධයෙන් සජීවී විකාශනයක් දෙන ආකාරයෙන් පුවත් වාර්තා කරමින් සිටිති.

එසේ පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් (Oshala Herath) මෙසේ සටහන් කර තිබේ.

''නිතිය නමන නැමිල්ල කොහොමද කිව්වොත් පොලිසිය ප්‍රශ්න කරන අතරතුරේ ෆෙස්බුක් update දෙන්නේ.. රාජපක්ශලා යටතේ මිනිස්සු පොලිසිය ගැන විශ්වාසය නැති වෙන එකත් අහන්න දෙයක් ද? පොලිසියෙන් කියලා ප්‍රශ්න කරන්නේ පොලිසියෙන්ද නැත්නම් බයියොමද කියලත් සැකයි. නිශාන්ත කන්දප්පා බයට රට ගිය එක ගැන කිසි සැකයක් නෑ

Osala fb

සබැඳි පුවත් :

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට රටයාමේ තහනමක්!

ස්විස් තානාපති නිලධාරිනිය "රඳවාගෙන තර්ජනය කිරීම" - ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර විරෝධයක්!

බරපතල කාරණයක්!- ස්විස් තානාපති නිලධාරිනියක පැහැරගැනීම ගැන විමර්ශන!

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්