කොළඹ දී පැහැරගන්නා ලදුව, තර්ජනයකට ලක් කළ බව පැවසෙන, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 17 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියම කළාය.

පැමිණිල්ල අද (දෙසැම්බර් 12) කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර කියා සිටියේ ඉකුත් දා අධිකරණය විසින් දෙන ලද නියෝගය පරිදි පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කළ බවය. 

ඒ අනුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට අදාළ කාන්තාව ලක් කෙරුණද ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තීරණය කර ඇතැයි සඳහන් කළේය. 

අදාළ කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් හමුවට:

ඒ අනුව අදාළ කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීම සඳහා නියෝගයක් දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට නියෝග කළාය. 

එහිදී මහේස්ත්‍රාත්වරිය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, මෙම නියෝගය පරිදි හෙට දින අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කිරීමට හැකිවන බවත් ඒ පිළිබඳ වාර්තාවක් ලබන 17 වෙනිදා අධිකරණය වෙත ලබා දීමට හැකි වනු ඇති බවත් කියා සිටියේය. 

ඒ අනුව මෙම පරීක්ෂණවල ප්‍රගතිය ලබන 17 වෙනිදා අධිකරණය හමුවේ වාර්තා කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එතෙක් අදාළ කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම සඳහා පනවා තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන බව සඳහන් කළාය.

තානාපති නිල නිවසේදී ප්‍රශ්න කරන්නැයි කළ ඉල්ලීම ඉවතට

 110117326 swiss.png                                                          ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය කොළඹ

එහිදී පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියා සිටියේ තම සේවාදායිකාව මේ වන විට දින ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශ දී ඇති බවකි.  

ඇය මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් ඇයගේ ඉදිරි ප්‍රකාශ සටහන් කර ගැනීම් ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවෙසේ දී සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය. 

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර  කියා සිටියේ තමන් එම ඉල්ලීමට විරුද්ධ වන බවය. 

ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස යනු වෙනත් රාජ්‍යයකට සම්බන්ධ ප්‍රදේශයක් බැවින් ශ්‍රී ලංකා නීතියට අනුව එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමේදී නීතිමය ගැටලු මතුවිය හැකි පෙන්වා බවය. 

එම නිසා සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ මෙම ප්‍රකාශ සටන් කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදීම සිදු කිරීම සුදුසු බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

නීතිඥවරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ 

නීතිඥ උපුල් කුමාරප්පෙරුම 
Uplතවදුරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ නිලධාරිනියගේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කළේ  විමර්ශනයේදී අනාවරණය වූ කරුණු බව සඳහන් කරමින් මෙම නඩුවට පෙනී සිටින නීතිඥවරුන්ට අපහාසාත්මක හා තර්ජනාත්මක වන ආකාරයෙන් ඇතැම් පිරිස් ජනමාධ්‍ය ඔස්සේ අගතිදායක ප්‍රකාශ, ප්‍රවෘත්ති නිවේදන හා කරුණු දක්වන බවය.

දැනට අධිකරණය හමුවේ ඇති පරීක්ෂණයක් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම බරපතළ අපහාසයක් බව සඳහන් කළ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මෙවැනි ප්‍රකාශ හරහා වින්දිත කාන්තාවගේ විශ්වාසනීයභාවයට දැඩි හානියක් සිදුවන බව පෙන්වාදුන්නේය. 

සේවාදායකයින්ට තමන් කැමති නීතිඥවරයෙකු තෝරා ගැනීමට හැකියාව තිබෙන බවත් එවැනි නීතිඥවරුන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් අවලාද නැගීම මඟින් නීතිඥවරුන්ට සිය වෘත්තීය ස්වාධීනව ඉටුකර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත් නීතිඥ කුමාරප්පෙරුම පෙන්වා දුණි.

ඒ අනුව මෙම නඩුවට අදාළව මේ මස 09 වනදා සිට අද දින දක්වා විවිධ පුද්ගලයින් විසින් මාධ්‍ය වෙත මුදාහරින ලද අගතිදායක කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම  අධිකරණයෙන් ඉල්ලා සිටියා.

රජයේ නීතිඥ ජනක බණ්ඩාර ද සඳහන් කළේ  අධිකරණය හමුවේ පවතින කටයුත්තක් පිළිබඳව පිටතට ගොස් කරුණු දැක්වීම තුළින් විමර්ශනවලට බලවත් හානියක් සිදුවන බවකි.

අධිකරණයට අපහාසයක් !

අධිකරණයේ පවතින නඩු කටයුත්තක් පිළිබඳව පාර්ලිමේන්තුවේ පවා කතා නොකරන පසුබිමක් තුළ යම් යම් පුද්ගලයින්ගේ මෙවැනි වැරදි නිසා විමර්ශන කටයුතුවලට බාධා සිදුවන බව පිළිගත් රජයේ නීතිඥවරයා මෙය Upl text 12අධිකරණයට අපහාසයක් ලෙස ද හැඳින්විය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය ද සඳහන් කර සිටියේ විමර්ශනයක් සම්බන්ධයෙන් අධිකරණය පිටත යම් යම් පිරිස් විසින් කරුණු දැක්වීම් සිදු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි තත්ත්වයක් බවයි.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අගතියට පත් පාර්ශවයේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට දැනුම් දුන්නේ එවැනි අගතිදායක තොරතුරු මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ නම් එවැනි තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැපයීමට පියවර ගන්නා ලෙසය.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් සපයන එවැනි තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් කර යම් වරදක් අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියම කරන ලදී.

''අදාළ කාන්තාව සඳහන් කරන කරුණු පරස්පරයි'' -  කැබිනට් ප්‍රකාශක

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ 
Rameshමේ අතර අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ අදාළ සිදුවීමට ලක්වූ බව පවසන කාන්තාව සඳහන් කරන කරුණු පරස්පර බව හෙළිවී ඇති බවකි. 

නව රජය අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් මෙය සිදුකර ඇති බව රජයේ අදහස බව ඔහු කියා සිටියේය. 

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන පරීක්ෂණවලින් මේ ගැන ඉදිරියේදී තවත් කරුණු හෙළිවනු ඇති බව ඔහු පැවසිය.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් දැන් පැවැත්වෙමින් පවතින බව  සඳහන් කළ ඔහු එම පරීක්ෂණ අවසන්වූ පසු මේ පිළිබඳ සත්‍ය රටට හෙළිවනු ඇති බව ද සඳහන් කළේය.  

(බීබීසී සිංහල සේවය)


සබැඳි පුවත් :

ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

ස්විස් තානාපති නිලධාරිනියගෙන් පැය නවයක ප්‍රකාශයක්

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට රටයාමේ තහනමක්!

ස්විස් තානාපති නිලධාරිනිය "රඳවාගෙන තර්ජනය කිරීම" - ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර විරෝධයක්!

බරපතල කාරණයක්!- ස්විස් තානාපති නිලධාරිනියක පැහැරගැනීම ගැන විමර්ශන!

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image