කොළඹ දී පැහැරගන්නා ලදුව තර්ජනයකට ලක් කරන ලදැයි පැවසුනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය

අද (දෙසැම්බර් 16) අත්අඩංගුවට ගන්නා ලදුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේ, අදාළ කාන්තාව දෙසැම්බර් 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

ගානියා බැනිස්ටර් නමැති අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද (දෙසැම්බර් 16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක පැවසුවේ, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කිරීමේ චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දුන් බවය.

අදාළ කාන්තාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඇයව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ද රැගෙනවිත් තිබිණි.

 

ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමග ....

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක පසුගිය නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව දෙසැම්බර් 12 වෙනිදා මේ සම්බන්ධ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර කියා සිටියේ ඉකුත් දිනක අධිකරණය විසින් දෙන ලද නියෝගය පරිදි පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කළ බවය.

ඒ අනුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට අදාළ කාන්තාව ලක් කෙරුණද ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තීරණය කර ඇතැයි සඳහන් කළේය.

ඒ අනුව අදාළ කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීම සඳහා නියෝගයක් දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට නියෝග කළාය.

එසේම අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් අදාළ කාන්තාව වෙත පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් 17 වෙනිදා දක්වා දීර්ඝ කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එදින නියම කළාය.

මේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී අදාළ කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

ඇය අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් ඇයගේ ඉදිරි ප්‍රකාශ සටහන් කර ගැනීම් ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවෙසේ දී සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ඇගේ නීතිඥයින් කළ ඉල්ලීමට අධිකරණය එදින එකඟ නොවීය.

 

පහරදීමකට සහ ලිංගික අපයෝජනයට!

පසුගිය 09 වෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැරගෙන යාමට ලක්වූ බව පවසන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම, තම සේවාදායකයාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කාන්තා වෛද්‍යවරයෙකු ඉදිරියේ සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

තම සේවදායකයා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය වෛද්‍යවරයකු සහ දේශීය වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කරන ලදුව ලබාගත් වාර්තාවන්හි ඇය පහරදීමකට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද නීතිඥවරයා කියා සිටියේය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියක නොවැම්බර් මස 25 වෙනිදා හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමග ඒ සම්බන්ධ විමර්ශන ඇරඹුණු අතරම එය යම් තරමකට රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක ස්වරූපයක් දරන්නට විය.

"මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයින්ට එරෙහිව සිදුවූ ඉතා බරපතළ මෙන් ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා," යනුවෙන් ස්විට්සර්ලන්තය රජය මෙම සිදුවීම ගැන නිකුත් කළ නිවේදනයක දැක්විණි.

එයින් ස්විට්සර්ලන්තය වැඩිදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශය ඊට පසු දිනක නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ "ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද, සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව ඌබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වෙතැයි සාක්ෂි සහිතව," තානාපතිවරයාට පෙන්වා දෙන ලද බවය.

 

තානාපතිගේ ප්‍රතිචාරයේ කිසිදු වැරද්දක් නැතැයි ජනාධිපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්පීටර් මොක් අද උදෑසන හමු වූහ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්පීටර් මොක් අද උදෑසන හමු වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මේ හමුවේදී, ජනාධිපතිවරයාගේ පත්වීම ගැන සුභ පැතුම් පළ කළ තානාපතිවරයා, සිය තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියක සම්බන්ධයෙන් හටගත් සිදුවීමේදී ශ්‍රී ලංකාවට හානියක් කිරීමේ කිසිදු අපේක්ෂාවක් ස්විට්සර්ලන්තයට නොවූ බව සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

"දෙරටේම යහපත වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. පවතින උණුසුම් තත්ත්වය ජයගැනීමට වගේම කිසියම් අනවබෝධයක් පවතීනම් එය ඉවත්කරගැනීමටත් අවශ්‍යයි" යැයි තානාපතිවරයා සඳහන් කළ බව අදාළ නිවේදනයේ දැක්වේ.

මීට ප්‍රතිචාර ලෙස, ක්‍රියාත්මක වන විමර්ශනවල ප්‍රගතිය තානාපතිවරයාට පැහැදිලි කළ ජනාධිපතිවරයා, මේ සිදුවීමට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මුලින් දැක්වූ ප්‍රතිචාරයේ කිසිදු වැරද්දක් තමන් නොදකින බව ජනාධිපතිවරයා පවසා ඇත.

සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ගැටලුවකට මුහුණ පෑ විට තානාපති කාර්යාලයට ඊට මැදිහත්වීමට සිදුවන අතර එය සාධාරණීකරණ කළ හැකි දෙයක් ලෙස ජනාධිපති රාජපක්ෂ සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

(බීබීසී සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්