හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ සමීපතම ආධාරකරුවකු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි ජනවාරි 06 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා අද (31) නියෝග කළාය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ මෙහෙයවීම යටතේ පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත්වුණු සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට මූල්‍ය පහසුකම් සපයා දුන්නේ යැයි සැකපිට රූමි මොහොමඩ් අද (31) පෙරවරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිය. ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවූ අවස්ථාවේදීය.

රූමි මොහොමඩ්ට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ විදෙස් ගමන් තහනමක්ද පනවන ලදී .

ලක්ෂ 20 ක මුදලක් දීලා !

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වී තිබෙන සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ මෙහෙයවීම යටතේ පවත්වා තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීම සඳහා දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා තිබෙන බවත්, ඉන් පසුව එය කේවල් කර රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර තිබෙන බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, ඔවුන්ට එම ලක්ෂ 20ක සපයා දී තිබෙන්නේ මොහොමඩ් රූමි නැමැති සැකකරු විසින් බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් කියා සිටියේය.

 මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් පමණක් සටහන් කර ගෙන තිබෙන බවත් ඔහු පරීක්ෂණ සඳහා අවංක සහයෝගයක් ලබා දී නොමැති බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ අනුව විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

ඇප දිය හැකි වැරදි !

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනෙවිරත්න අධිකරණයට කියා සිටියේ තම සේවාදායකයාට එල්ල කර තිබෙන්නේ ඇප දිය හැකි වැරදි බව සඳහන් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ දින අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙන හෙයින් මෙම සැකකරු දැන් ඇපමත මුදල් ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් මෙම සැකකරුගෙන් දැනට ප්‍රකාශයක් පමණක් සටහන් කරගෙන තිබෙන හෙයින් විමර්ශන කටයුතු අවසන් කර නොමැති නිසා මෙම අවස්ථාවේ අප ලබා දුන හොත් ඉදිරි පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටද නියම කළාය .

සබැඳි පුවත් :
රාජිතව වෙනත් වටයකින් කොටු කිරීමට යයි :රූමි මොහොමඩ් අත්අඩංගුවට

රාජිතගේ සගයා රූමි අත්අඩංගුවට ගැනීමේ උත්සාහය වැළකේ : එත් විදේශ ගමන් තහනම් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්