එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේවනවිට ගැසට් කර ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනස් කිරීමටත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් එමගින් යෝජනා කර තිබේ.

15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර මැතිවරණ දිස්ත්‍රික්කයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලබාගත යුතුව ඇති සියයට 5ක ඡන්ද ප්‍රතිශතය වෙනුවට පෙර තිබූ පරිදි සියයට 12 දශම 5 දක්වා වැඩිකිරීම සඳහා විජේදාස මන්ත්‍රීවරයා සිය 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් යෝජනා කර ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් යෝජනා කර ඇත්තේ, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය වෙනුවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසා ජනාධිපතිවරයා විසින් පත්කිරීම් සිදුකළ යුතු බවයි.

එසේම නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන් යන තනතුරු සඳහා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙනුවට අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පත්කිරීම සිදුකිරීම් කළ යුතු බවට යෝජනා කර ඇත.

‍ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යධුරය දැරිය යුතු අතර වෙනත් යම් අමාත්‍යධුරද ඔහු යටතේ පවත්වාගෙන යාහැකි ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළ සඳහන් වෙයි.



''රාජ්‍ය පාලනයට විශාල බාධාවක්'' -ජනාධිපති කියයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු ජනාධිපති බලතල හා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන යළිත් වරක් කතාබහක් ඇතිවුයේ, ඔහු ඉන්දියාවේ හින්දු පුවත්පතට පසුගියදා කළ ප්‍රකාශය හේතුවෙනි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන්ට 2/3ක බලයක් ලැබුනහොත් අසාර්ථක 19 වන සංශෝධනය අහෝසිකරන බවට ඔහු එහිදී අවධාරණය කර තිබිණ.

එසේම පසුගිය දෙසැම්බර් 28 දා  මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුයේ, 19 සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධාවක් බවයි.

ජනාධිපතිවරයා පුවත්පත් කර්තෘවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හමු වූ පලමු අවස්ථාවේදී ද අවධාරණය කර සිටියේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවයි.
 
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළු රටම අවුල් කළ බව එහිදී පැවසු ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනයාමට නම් එය අහෝසි කළ යුතු බව කීවේය.

රාජ්‍ය ලාංජනය 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 වසරේ අප්‍රේල් 28 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල සහය හිමිවිණ.

ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, අමාත්‍යවරුන් ප්‍රමාණය සීමාකිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට එම අවස්ථාවේ බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිවිය.

19 වෙනි සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය ද වෙනස් කෙරිණ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර, පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත.

එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය. ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වූ ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලය සීමා කර තිබේ.

කෙසේ නමුත් 19 වන සංශෝධනය සම්මත කරගැනීමට මූලිකත්වය ගත්, එය තමන් ලද ජයග්‍රහණයක් ලෙස හැඳින්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම සිය පාලන කාලයේ අවසන් අදියරේදී 19 වන සංශෝධනයට විරුද්ධව අදහස් පළකිරීම ආරම්භ කළේය.

19 slfp

"පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි මේවා කතා කරන්න ඕන. අවුරුදු හතරහමාරක කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වුණේ ප්‍රධානම හේතුව තමයි 19 වන සංශෝධනය. 19 වන සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවයි කියලා. ඒ දෙපැත්තට අදින තත්ත්වය ඇතිවුණේ 19 වන සංශෝධනයෙන්," යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශ කළේය.

 

''පරස්පරතාවලට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවේ'' -ආචාර්ය විශාකා සූරියබණ්ඩාර

කෙසේ නමුත් එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එම ප්‍රකාශය ගැන බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසුවේ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින පරස්පරතාවලට හේතුව කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බවය.

text 30 3 vishaka"මේක මේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න කියනවා වගේ කතාවක්. මෙතන තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නෙවේ, දේශපාලනික පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක්. 19 වන සංශෝධනයෙන් ඔය කියන තරම් බලය අවම වීමක් සිදුවුණේ නැහැ. තමන්ගේ බලය පාවිච්චි නොකිරීමයි මෙතන තියෙන ගැටලුව. සමහර ජනාධිපතිවරු තමන්ගේ බලය ඉක්මවා භාවිත කළා. තවත් අය බලතල තියාගෙන ඒවා නෑ වගේ හිටියා," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර සඳහන් කළාය.

නව ආණ්ඩුව පත්වීමත් සමග 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකළ යුතු බවට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෘජුව සිය අදහස පළකර තිබුණේ එලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන පසුගිය ආණ්ඩුව සමයේදීම විවිධ අදහස් පළවීමෙන් අනතුරුවය.

නව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ගැන මේ වන විට පාර්ශව ගණනාවක් අදහස් පළකර තිබේ. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක නායකයෙකු වන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිවිරුද්ධ අදහසකි.

ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ සිට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට පරිවර්තනය වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය බව ද ඔහු සඳහන් කර තිබුණි.

"අපේ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට පරිවර්තනය වීම. එයට ගන්නා වූ එක පියවරක් වශයෙන් තමයි ඔය 19 වෙනි සංශෝධනය ගැණුනෙ. ඒනිසා අපහසුතාවයක් හා නොයෙකුත් බාධක මතුවෙන්න පුළුවන්.

නමුත් මූලික ප්‍රතිපත්තිමය අරමුණ ජනාධිපති ආණ්ඩුක්‍රමයක ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට පරිවර්තනය වීම. විධායක බලයත් පාර්ලිමේන්තුව අතටම ගැනීම. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ අදහස් මොනවද කියලා මම දන්නෙ නෑ. ඒ පිළිබඳව සමහරවිට එතුමාගෙ අදහසත් අපෙ අදහසත් අපට එකට එකතු කරන්න පුළුවන් කමකුත් එන්න පුළුවන්. ඒවා අපි කතා කළ යුතු දේවල්," වාසුදේව නානායක්කාර රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

text 30 3 Wasudewa"තුනෙන් දෙකක බලයක් අපට ලබන ඡන්දෙන් පසුව ලැබෙනවා නම් පළමුවෙන්ම කරන්න ඕනෙ දේ තමයි අපේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. ඒක ඔක්කොටම වඩා ලොකු අවශ්‍යතාවයක්. මේ ඡන්ද ක්‍රමය තුළ මහජනයාගෙ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් වෙලා."

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙන ඒමට මූලිකත්වය ගත් එක්සත් ජාතික පක්ෂයද දෙසැම්බර් 02දා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නව ජනාධිපතිවරයාගේ ස්ථාවරයට ප්‍රතිචාර දැක්වීය.

"රජය පැත්තෙන් මතයක් ඇවිල්ල තිබෙනවා 19 වන  සංශෝධනය නිසා රට පාලනය කරන්න අමාරුයි. ඒ නිසා මේක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අයට අපි කියන්න කැමතියි මේක එක්සත් ජාතික පක්ෂය තනියම ගෙනාපු එකක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ සියළු දෙනා සහය දුන්න එකක්.

මේක ගෙනාවේ මේ රටේ තියෙන උසස් ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි කියන මතය නිසා. ඒ ආයතනවලට නිදහසේ ක්‍රියාකරන්න ලැබුණු නිසා අපි දැක්කා අපේ ආණ්ඩුව සමයේ අධිකරණය ස්වාධීනව කටයුතු කළ ආකාරය. මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කළ ආකාරය," එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේය.

19 වන සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ආණ්ඩුව සමග සාකච්චා කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව පැවසූ  ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සමස්තයක් ලෙස ගත්කළ 19 වැනි සංශෝධනය සාධනීය එකක් බව සඳහන් කළේය.

(උපුටා ගැනීම්- බීබීසී සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image