සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවට

චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL VLOGS යූ ටියුබ් නාලිකාව හිමි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසූරිය සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් SL Vlog යූටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුනි 07වැනිදා) නියෝග කළේය.

මෙම සිද්ධිවලට අදාළ පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති නිසාත් මෙම සිද්ධිවලට අදාළව මහජන නොසන්සුන්තාවක් නිර්මාණය වෙමින් පවතින නිසාත් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සඳහන් කළේය.

 

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කළ යුතු බවට විදර්ශන කන්නන්ගර, තරිඳු ජයවර්ධන, තරිඳු උඩුවරගෙදර, ලක්මාලි හේමචන්ද්‍ර, බ්‍රිටෝ ප්‍රනාන්දු යන අය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කර ඇති බවත්, ඒ තුළින් ඔවුන් අධිකරණයට අපහාසයක් කර ඇති බවත් සිංහල රාවය සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබීය.



නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර නටාෂා එදිරිසූරිය තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නගත ප්‍රකාශය කිරීමට පෙර ඊට අදාළ පිටපත සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොමැති බව ද සඳහන් කළේය.



"ස්වාමීනි.. මෙම ප්‍රකාශය කිරීමට පෙර සැකකාරිය එහි පිටපත සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගෙන නැහැ. තමන් සිදු කිරීමට යන ප්‍රකාශය තුළ බරපතල ගැටලුවක් මතු විය හැකි බව ඇය දන්නවා. ඒ නිසයි ඊට අදාළ පිටපත රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් නොකළේ. මෙම සැකකාරිය විසින් කළ ප්‍රකාශය සඳහා මුදල් යෙදවීම, ප්‍රචාරය කිරීම සඳහා ආධාර අනුබල දීම බෲනෝ දිවාකර නමැති සැකකරු සිදුකර තිබෙනවා. ඒ නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෲනෝ දිවාකර යටතේ සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යයි. මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් එම සාක්ෂි වලට බලපෑම් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට සාක්ෂි විනාශ කිරීමටත් හැකියාව තිබෙනවා."යනුවෙන් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.




ඇප දෙන ලෙසට ඉල්ලීමක්...


සැකකාර නටාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි... මාගේ සේවාදායිකාව කළ ප්‍රකාශයක් නිසා බෞද්ධයින් කලබලයට පත්වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙවැනි සිද්ධීන් වලින් බෞද්ධයින් කවදාවත් කලබලයට පත් වෙන්නේ නෑ. මෙවැනි ප්‍රකාශ නිසා බෞද්ධයින් කවදාවත් වෛරය පතුරු වන්නෙත් නෑ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කරුණ තමයි බෞද්ධයාගේ මූලික පදනම. ඒ නිසා මාගේ සේවාදායිකාවගේ ප්‍රකාශය හේතුවෙන් බෞද්ධයින් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිගන්න බැහැ.”



ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ, “මෙම ප්‍රකාශය අප්‍රේල් මස පළමු වැනිදා "මෝඩාභිමානය" නැමැති වැඩසටහනක දී සිදුකරන ලද්දක්. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කරමින් සඳහන් කර තිබෙනවා තමන් වහන්සේ කියන දෙයක් පවා එකවරම පිළිගන්න එපා කියලා. හොඳට හොයලා බලලා පිළිගන්න කියලයි උන්වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. මේ සැකකාරිය සිදු කළ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේට හෝ බෞද්ධ දර්ශනයට අපහාසයක් සිදුවී නෑ. එම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීමක් ඇති වෙලත් නෑ. ඒ නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යන්න බැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න තම සේවාදායිකාව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.



සැකකාර බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත 3(1) වගන්තිය යටතේ මාගේ සේවාදායකයාට එරෙහිව පොලිසිය කරුණු වාර්තා කර තිබෙනවා. 3 (1) වගන්තිය යටතේ යුද්ධය පැතිරවීම, ප්‍රචණ්ඩ ක්‍රියා වලට පෙළඹීම් සිදුකිරීම, ජාතීන් හා ආගම් අතර ගැටුම් නිර්මාණය කිරීමට අනුබල දීම වැනි කටයුතු ඇතුළත් වෙනවා. එහෙත් මෙම ප්‍රකාශය අන්තර්ජාලයට උඩුගත කරා කියලා කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් උද්වෙගත වෙලා නෑ. යුද්ධය පැතිරවීමක් සිදුවෙලාත් නැහැ. එසේ නම් මාගේ සේවාදායකයා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අත්අඩංගුවට ගන්නේ කොහොමද?”ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.


“බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී "චිංචිමානවිකාව" පැමිණ උන් වහන්සේට අපහාස කළා. මෙම සිද්ධියට පාදක වන ප්‍රකාශයට වඩා දරුණු අපහාසයක් තමයි එදා සිදු වුණේ. එම අපහසයට එරෙහිව බුදුරජාණන් වහන්සේ කැළඹුණේ නැහැ. පැමිණිලි කළෙත් නැහැ. ඇක්ෂන් ගන්න කියලා උන් වහන්සේ එදා ආණ්ඩුවට කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ සත්‍යය ජයගන්නා බව දැන සිටියා. ඒ නිසා එවැනි පියවරවල් වලට උන්වහන්සේ ගමන් කළේ නැහැ. බෞද්ධයින් තුළ තාදි ගුණය තිබිය යුතුයි. නොසැලෙන ගුණය තිබිය යුතුයි. නියම බෞද්ධයා අටලෝ දහමින් සැලෙන්නේ නැහැ. මෙම නඩුවට පාදක වන ප්‍රකාශයේ බරපතළ භාවය වටහා ගෙන මාගේ සේවාදායකයා පසුව එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගෙන තිබෙනවා. සමාව ඉල්ලීමක් කර තිබෙනවා. එසේනම් මේ ආකාරයෙන් පියවර ගන්නේ ඇයි? නියම බෞද්ධයින් මේවා ක්‍රියා කරන්නේ නැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.


“හැමෝම රහත් වෙලා නැහැ”

මෙහිදී පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් සම්බන්ධයෙන් මත පළ කරන්න පුළුවන්. ඒත් අපහාස කරන්න බැහැ. මෙම සැකකාරියගේ ප්‍රකාශයෙන් බුදුදහමට දැඩි අපහාසයක් සිදුවී තිබෙනවා. බුදු දහම කියන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා සුරක්ෂිත කොට පෝෂණය කර තිබෙන ධර්මයක්. ලංකාවේ වැඩි පිරිසක් බෞද්ධ බව ඇත්ත. ඒත් ඒ හැමෝම රහත් වෙලා නැහැ. මෙම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීම් ඇති වෙන්න පුළුවන්. මිනීමැරීම් වැනි අනතුරු පවා ඇතිවීමට හැකියාව තිබෙනවා"යනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ පැවසීය.


සිංහල රාවය සංවිධානයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇතැම් පුද්ගලයින් මාධ්‍ය සංදර්ශන පවත්වා ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට බලපෑමක් කර ඇති බව අවධාරණය කළේය.


" ස්වාමීනී.. මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විදර්ශන කන්නන්ගර, තරිඳු ජයවර්ධන, ලක්මාලි හේමචන්ද්‍ර, බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. මේක කෙලින්ම අධිකරණයට කරපු බලපෑමක්. අධිකරණයේ ස්වාධීනත්වයට කරපු අපහාසයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතුයි" යනුවෙන් ඉල්ලීමක් කළ එම නීතිඥවරයා අදාළ ප්‍රකාශ අඩංගු වීඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට නියෝග කරනු ලැබීය.


ඉන් අනතුරුව ඇප ඉල්ලීම් වලට අදාල ලිඛිත දේශන සහ ඊට අදාළ විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 21 වැනිදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළේය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්