ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනසක්
සිදුවිය යුතුම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය ද ජනතාවගේ සෘජු නියෝජනය ද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්රමයේ වෙනස්කම් අවශ්‍ය බව ජනාධිපතිවරයා කියා සිටියේය.
අට වැනි පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ඊයේ (ජනවාරි 03) විවෘත කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවේ මෙම කරුණු සඳහන් විණි.
''ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකි වුවද, පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ජනතා පරමාධිපත්‍යය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළින්ම විසදාගත යුතුයි'' යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
විජේදාස ලවා 'මුට්ටිය' දැමීමෙන් පසු ......
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රකාශය කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙක සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රයේ දැඩි සංවාදයක් මතුවෙමින් තිබියදීය.
ජනාධිපතිවරයා වෙත යලි විධායක බලය ලබාදීමේ අවශ්‍යතාවය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් අවධාරණය කරමින් සිටියි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනස් කිරීමටත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් එමගින් යෝජනා කර තිබේ.
15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර මැතිවරණ දිස්ත්‍රික්කයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලබාගත යුතුව ඇති සියයට 5ක ඡන්ද ප්‍රතිශතය වෙනුවට පෙර තිබූ පරිදි සියයට 12 දශම 5 දක්වා වැඩිකිරීම සඳහා විජේදාස මන්ත්‍රීවරයා සිය 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් යෝජනා කර ඇත.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් යෝජනා කර ඇත්තේ, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය වෙනුවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසා ජනාධිපතිවරයා විසින් පත්කිරීම් සිදුකළ යුතු බවයි.
එසේම නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන් යන තනතුරු සඳහා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙනුවට අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පත්කිරීම සිදුකිරීම් කළ යුතු බවට යෝජනා කර ඇත.
ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යධුරය දැරිය යුතු අතර වෙනත් යම් අමාත්‍යධුරද ඔහු යටතේ පවත්වාගෙන යාහැකි ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළ සඳහන් වෙයි.
අගමැති මහින්දගේ ස්ථාවරය ?
19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර ඇති තත්වයක් තුළ වත්මන් ජනාධිපතිවරයා අද මේ ආකාරයෙන් හෝ කටයුතු කරමින් සිටින්නේ තමන් අගමැතිධුරයේ සිටින නිසා බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
අනුරාධපුර ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක සිදුකළ සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව කියා සිටියේය.
කෙසේවුවද සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා දෙකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් පිරිසක් එකඟ නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග වලින් වාර්තා වන බවයි.
එම සංශෝධන ආණ්ඩුවේ යෝජනා ලෙස ඉදිරිපත් නොකර පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩුව තුළ එම යෝජනා පිළිබඳව එකඟතාවක් නොමැති නිසා බවත් මේ වනවිට සංශෝධන පිළිබඳව ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් අතරවත් සාකච්ඡාවක් සිදුව නැති බවත් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
සබැඳි පුවත් :
විජයදාසගේ ව්‍යවස්ථා සංශෝධන උගුලක් ලු ! - ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක්
'යළි JR යුගයකට යාමට කෙරෙන යෝජනාව පරාජය කළ යුතුයි' - ජවිපෙ
යළි විධායක බලය ජනපතිට : ගෝඨාභය, විජේදාස ලවා මුට්ටියක් දමා බලයි !
'ගෝඨාභය අද මෙහෙමහරි වැඩක් කරන්නේ මං ඉන්න නිසා''- මහින්ද කියයි
ජනපති බලතලවලට ප්රබුද්ධයෝ ගැටෙති ! මීළඟ ජනාධිපති 'පඹයෙක්' ද ? ලිපියට පිළිතුරක්