පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කර පරාජය වී ‘බැක්සයිඩ්’ එකෙන් පාර්ලිමේන්තුව ගිය පුද්ගලයෙක් තමනට එරෙහිව මඩ මෙහෙයුමක් ආරම්භකර ඇති බව රාජ්‍ය ඇමති කාංචන විජේසේකර පවසයි.
පෙරේදා දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් කරන ලද ප්‍රකාශයක වචනයක් ගෙන එම මඩ ප්‍රහාරය ක්‍රියාත්මක කරනුයේ අදාල පුද්ගලයාගේ කණ්ඩායම් විසින් බවද ඔහු සඳහන් කරයි.
මේ බව සඳහන් කරමින් කාංචන විජේසේකර රාජ්‍ය ඇමතිවරයා තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
''රන්ජන්ගේ පළමු ප්‍රකාශයේ එක් වචනයක් අරගෙන මටත් මඩ ගහන්න ඊයේ දවස පුරාම ක්‍රියාත්මක වුන සමාජ මාධ්‍ය මෙහෙයුම සංවිධානාත්මකව ක්‍රියාත්මක වුවක්. එය විමර්ශනය කරන විට එය වටහා ගැනීමට අපහසූ නොවන අතර ඒ සෑම පිටුවල සමානකම් ඇත.
ඒ සියල්ලගේම පිටු වල මේ දවස් වල ප්‍රවර්ධනය කරන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ මාතරින් පරාජය වී “බැක්සයිඩ්” එකෙන් පාර්ලිමේන්තු ගිය එක්කෙනෙක්ගේ “මඩ නැති දේශපාලනය කියලා එකක්”. ඒ ප්‍රවර්ධනය කරපු බොහෝ දෙනෙක් සජිත් ජනාධිපති කරන්නත් කැම්පේන් කරපු අයමයි.
පැකර්ගේ සහ මදුෂ්ගේ මුදල් සහ පාතාලයට මා නිහඩ කල නොහැක. අපිට ගහන්න ගහන්න මිනිස්සු අපිත් එක්ක එකතු වෙනවා. මා හැමදාමත් නිවැරදි දේ වෙනුවෙන් සහ අභියෝග හමුවේ පෙනී සිටියා සේම ඉදිරියටත් එය එසේම සිදු කරනවා. ඊයේ සහ අද දවසේ මා වෙනුවෙන් හඬ නැගු සැමට ස්තූතිය. වචනයෙන් හෝ ශක්තියත් වූ ඔබ සැමට ස්තූතියි.''
වීඩියෝ
''හඬ පට බැංකුවේ ආරක්ෂිත සේප්පුවේ තියෙනවා'' -රන්ජන් රාමනායක
පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයට අනුව ඊට අදාළ හඬ පට පාර්ලිමේන්තුවේ සභාගත් කිරීමක් සිදුකර නොමැති බවත් ඒ හේතුවෙන් සභාවේ සියලු මන්ත්‍රිවරුන්ගේ ගරුත්වයට හානියක් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියේය.
මේ අවස්ථාවේදී අදහස් දක්වමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන්ගේ ජංගම දුරකථන 04ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ හඬ පට පටිගත කොට තිබු දෘඩ තැටි 08 ක් පොලිසිය විසින් ඔවුන්ගේ භාරයට ගත් බවයි. කෙසේ වුවත් වත්මන් රජයේ මැති ඇමතිවරුන්ට අදාළ සුවිශේෂී හඬ පට තමන් ආරක්ෂා සහිතව පෞද්ගලික බැංකුවක ආරක්ෂිත සේප්පුවක තබා ඇති බව ඔහු සඳහන් කළේය.
මේ වන විට තමන් අධිකරණ නියෝග මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බැවින් එම හඬ පට තබා ඇති බැංකුවට ගොස් ඒවා ලබා ගැනීමට දින දෙකක කාලයක් ඇප ලබා දෙන්නැයි රන්ජන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විවෘත ඉල්ලීමක් කළේය.
එමෙන්ම වත්මන් ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් වන හඬ පට කිහිපයක් අද සවස 6.00 වීමට පෙර තමන් සභාගත කරන බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා තමන්ගේ ලේකම්වරයෙක් පසුපස රජයේ පාර්ශ්ව මේ වන විට ලුහුබදිමින් සිටින බවද කියා සිටියේය.
වීඩියෝ