ජනාධිපති මාධ්‍ය අංශය මේ වනවිට කල්ලි තුනකට බෙදී ඇති තත්වයක් තුළ එහි වැඩකටයුතු මුළුමනින්ම අඩාලවී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
එම ආරංචිමාර්ගවලට අනුව මොහාන් කල්ලිය, චමින්ද කල්ලිය හා තාරක කල්ලිය ලෙස ජනාධිපති මාධ්‍ය අංශයේ සේවකයින් පිල් බෙදී ඇති බවත් මුලික රාජකාරි පසෙකලා ඔවුනොවුන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් එකිනෙකාට එරෙහිව ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරට කේලම් කීම ප්‍රධාන රාජකාරිය කරගෙන සිටින බවත් පැවසේ.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක පත් කරනු ලැබුවද දින කිහිපයකදී ඔහුගේ තනතුරු නාමය මාධ්‍ය උපදේශක ලෙස සංශෝධනය වීමද මෙම අභ්‍යන්තර ගැටුමේ ප්‍රතිඵලයක් බව සඳහන් වේ. කෙසේවුවද ඔහුව යළි මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස නම් කිරීමට යළි තීරණය කර ඇතැයි ද පැවසේ.
මාධ්‍ය අංශයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස චමින්ද කරුණාරත්න, මොහාන් කරුණාරත්න, විදර්ශන බණ්ඩාර යන කටයුතු කරන අතර රාජකාරි කටයුතු වලදී ඔවුන් අතර ද ගැටුම් මතුව ඇතැයි ඉහත ආරංචිමාර්ග පවසයි.
මෛත්රීවාදීන්ගෙන් පලිගැනීම !
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශයට අලුතින් පත්වූ බලධාරීන් විසින් පළමුව සිදුකර ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කල චමින්ද සිරිමල්වත්ත නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ලෙස පත්කර දින කිහිපයක් තුලදී ඔහුව ඉවත් කිරීමයි.
එසේම, මෛත්රීපාලවාදීන් යයි සැකකෙරෙන සියලුම සේවකයින් ද මේවනවිට ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉවත් කරමින් සිටියි.
ඒ අතරේ “ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි!” යන ශීර්ෂයෙන් යුතුව පුවත් 'ප්ලාන්ට්' කිරීමක් සිදු කර තිබිණ.
හිටපු ජනාධිපතිගේ මාධ්‍ය අංශයේ නිවේදනය
මෙම පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය අංශය විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් වුයේ, අස්ථානගත වූ බවට වාර්තා වන අංක NA7580 දරන බස් රථය ජනාධිපති ලේකම් කාර්යාල රථවාහන නැවතුමේ ගාල් කර ඇති බවත්, මාධ්‍ය අංශය සතුව තිබූ වටිනා තාක්ෂණික උපකරණ සියල්ල ජනාධිපති කාර්යාලය ගබඩාවේ ඇති බවත් ය.
ජනපති නියමයෙන් විශේෂ විමර්ශනයක් !
මේ සම්බන්ධයෙන් අප ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී සඳහන් කලේ, බස් රථය සහ තාක්ෂණික උපකරණ අස්ථානගත වීම පිළිබඳව කිසිඳු නිවේදනයක් ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර නොමැති අතර ජනාධිපතිවරයා විසින් එබඳු අස්තානගතවීමක් පිලිබඳ විමර්ශනයක් කරන ලෙස නියෝගයක් ද ලබාදී නොමැති බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ බස්රථය සහ වටිනා තාක්ෂණික උපකරණ අස්ථානගත වී නොමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ මාධ්‍ය ඒකකය මඟින්ද වත්මන් ජනපති මාධ්‍ය අංශය මඟින්ද තහවුරු කර ඇති බවත් පැවසු එම නිලධාරියා, වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි අසත්‍ය පුවතක් මාධ්‍යය වෙත ලබාදුන්නේ කව්රුන්ද යන කාරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවයි.