පරීක්ෂණ පවත්වා තොරතුරු රැස් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමක් අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්

අණ පැනවීම දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

කොළඹ සහ ඒ අවටින් පළමු රාජපක්ෂ පාලන සමයේදී පුද්ගලයන් පිරිසක් පැහැර ගෙන ගොස්, බිම්ගෙවල සිරකොට වධ දී අතුරුදහන් කළ බවට චෝදනා ලබන දිවයිනේ ඉහළම නාවික සෙන්පතියා ඇතුළු නිලධාරීන්ට එරෙහිව මහාධිකරණ විනිසුරු තුන්කට්ටුවක් හමුවේ කෙරෙන නඩු විභාගය අත්හිටුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියේ වැඩ භාරගැනීමෙන් දෙමාසයක් ගතවීමටත් පෙර පත් කරන ලද මුල්ම කොමිසම් දෙකින් එකක් විසින් නියෝග කරනු ලැබ ඇත.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩීකේපී දසනායක

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් පදවිලාභී වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩීකේපී දසනායක ඇතුළු 14 දෙනකුට හයසියයකට වැඩි චෝදනා යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් යටතේ විභාග වන නඩුව අත් හිටුවන ලෙස නීතිපතිවරයාට නියෝග කොට ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ සිදුවී ඇතැයි පැවසෙන දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව විසිනි.

 

'නීතිමය බලයක් නැහැ' - එම් ඒ සුමන්දිරන්

Sumanthiran MP “නීතිපතිගේ කාර්යභාරයට පමණක් නොව, සැබවින්ම අධිකරණයටම නිර්ලජ්ජිත ඇඟිලි ගැසීමක්,” ලෙස කොමිසන් නියෝගය දෙමළ  ජාතික සන්ධානයේ ප්‍රකාශක එම් ඒ සුමන්දිරන් විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෙලා දැක ඇත.

මේ අතර නීතිපති දප්පුල ද ලිවේරා කොමිසමට ලියා දන්වා යවා ඇත්තේ නඩු කටයුතු සම්බන්ධයෙන් පනවන අණ පිළිපැදීමට තමන් බැඳී නැති බව ය.

“මෙම නඩුව සම්බන්ධ නිල කටයුතු සිදුකිරීමෙන් වැළකී සිටීම සඳහා නීතිපතිවරයාට අණ දීමේ කිසිදු ව්‍යවස්ථාපිත හෝ නීතිමය බලයක් කොමිසමට නොමැති බව ඇප විසින් දන්වා යවා තිබෙනවා,” යි නීතිපති ප්‍රකාශිකා නිශාරා ජයරත්න මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

අධිකරණ ක්‍රියාදාමයක් අත්හිටුවීමට ජනාධිපති කොමිසම කළ නියෝගය සමගින් ආණ්ඩුව නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට දී ඇති සහතික සම්බන්ධයෙන් බරපතල සැකසංකා මතුවී තිබේ.

“තවද, මේ අධිකාරී පත්‍රය යටතේ කරනු ලබන පරීක්ෂණය වූ කලී ශ්‍රී ලංකා පොලීසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් විසින් ගනු ලැබ ඇති හෝ ගනු ලැබිය හැකි කිසියම් ක්‍රියා මාර්ගයන්ට අමතර වශයෙන් සහ අගතියකින් තොරව වන බැව් සනිටුහන් කරනු ලබන හෙයින් ද,” යනුවෙන් 2015 ජනවාරි මස 08 වැනි දිනෙන් ආරම්භව 2019 නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වන කාල සීමාව තුළ සිදු විණැයි කියනු ලබන දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක් කිරීම පිළිබඳව පරීක්ෂා කොට තොරතුරු ලබාගනු පිණිස කොමිසමක් පත් කිරීම ප්‍රකාශ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

 

චෝදනා 667ක්

 එහි දැක්වෙන පරිදි කොමිසමේ වාර්තාව මාස හයක් ඇතුලත ජනාධිපතිවරයාට භාරදිය යුතු ය.

ත්‍රීකුණාමලයේ ගන්සයිට් නාවික වධකාගාරය

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් පැහැරගන්නා ලද සිංහල, දෙමළ හා මුස්ලිම් 11 දෙනකු සිරකොට තබාගෙන, වධ දී, අතුරුදහන් කිරීම ඇතුළු චෝදනා 667 ක් යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනකුට එරෙහි නඩුව විභාග කරනු ලබන්නේ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ අමල් මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් විසිනි.

අපරාධයට ගොදුරු වී ඇත්තේ කස්තුරිආරච්චිලාගේ ජෝන් රීඩ් හෙවත් ජෝන්, රජීව් නාගනාදන් හෙවත් මල්ලි, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජිත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, ඇන්ටනි කස්තුරිආරච්චි, කනගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් හෙවත් හාජ්ජියාර් යන එකොලොස් දෙනා ය.☐

© JDS (jdslanka.org)

සබැඳි පුවත් :

තරුණයින් අතුරුදන් කිරීමේ නඩුව අත්හිටුවීම : පසුගිය ඔක්තෝබර් 26 ඇතිවුණ තත්වයක් !

නීතිපතිට කරන බලපෑම් සම්බන්ධයෙන් මැදිහත්වීම කාලෝචිතයි නේද? - ශිරාල්, නීතිඥ සගයින් ගෙන් විමසයි

නීතිපති 'ගේම' ඉල්ලයි : තමන්ට නියෝගදීමට ජනාධිපති කොමිසමට අයිතියක් නැතැයි කියයි !

ජනාධිපති කොමිසම වැඩ : කරන්නාගොඩට DKPට එරෙහි නඩු විභාග අත්හිටුවයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්