පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 72 වැනි ‘ජාතික නිදහස් දින උත්සවයේ’දී ද ජාතික ගීය දෙමල බසින් ගැයීමට රජයේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ. 

ඒ අනුව, යහපාලන ආණ්ඩු සමයේදී මෙන්ම මෙවරද නිදහස් දින උත්සවය අවසන් කිරීමට පෙර ජාතික ගීය දෙමළ බසින් ගැයීමට අනුමැතිය ලැබී ඇතැයි පැවසේ.

මෙවර ජාතික නිදහස් දින උළෙලේ දී ජාතික ගීය දෙමල බසින් ගැයීමට ඉඩනොදෙන ලෙස උදය ගම්මන්පිළ ඇතුළු ආණ්ඩුවේ අන්ත ජාතිවාදී නඩයෙන් ජනාධිපතිට හා අගමැතිට දැඩි බලපෑමක් එල්ලවිය. ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතුය යන උද්ධච්ච තකතීරු මතය ඔවුහු දැන් මාසයක දෙකක කාලයක් තිස්සේ මාධ්‍ය ඔස්සේ ඉස්මත්තට ගනිමින් සිටිති.

ලෝකයේ කිසිඳු රටක් භාෂා දෙකකින් ජාතික ගීය ගායනා නොකරන බව ඔවුන්ගේ තර්කයයි.
Jathika Giya 2020.02.1 new
ලෝකයේ කිසිම රටක ජාතික ගීය භාෂා කීපයකින් ගායනා කරන්නේ නැතැයි (එබඳු රටවල් බොහෝ ඇත.) මොහොතකට හිතමු. පළමුවරට ලංකාවේ ජාතික ගීය සිංහල දෙමළ දෙබසින් ගැයීම ඇරඹුණොත් එය ලෝකයට ආදර්ශයක් වනු නැද්ද?

2016-2019 දක්වා නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමෙන් ඇතැම් සිංහල අඳබාලයන්ගේ උද්ධච්චකමට පහර වැදුණා මිස වෙන සිදුවූ අයහපතක් නැත.

අගමැතිතුමා දෙමල මාධ්‍යවේදීන්ට කියපු කතාව !

කෙසේවුවද අගමැති මහින්ද රාජපක්ෂ ජනවාරි 14 වැනිදා දෙමළ මාධ්‍ය ප්‍රධානීන් සමග කරන ලද සාකච්ඡාවකදී පවසා තිබුනේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නැති බවයි. 

ජාතික ගීය පිළිබඳ ප්‍රශ්නය ඔහු දකින්නේ පුවත්පත්වලින් බවත්, තම වේදිකාවල ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කරන බව නොකියන බවත් රටකට ජාතික ගී තිබෙන්නට හැක්කේ එකක් බවත්, ඉන්දියාවේ විවිධ භාෂා තිබුණද එක් භාෂාවකිවන් පමණක් ජාතික ගීය ගායනා කරන බවත් එහිදී අගමැතිවරයා පවසා ඇත.

එමෙන්ම දෙමළ උත්සවයකදී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට හැකි බවත් එයට තහනමක් නොමැති බවත් රජයක් ලෙස ඒ ගැන තීරණයක් ගෙන නැති බවත් විවිධ මත තියෙන දේශපාලඥයන්ගේ ප්‍රකාශ ආණ්ඩුවේ මතය නොවන බවත් ඔහු සඳහන් කර තිබේ.

සෑම ජාතියකට ම අභිමානයක් ගෙන දෙන දෙයක්

"ජාතික ගීය කියන්නේ සෑම ජාතියකට ම අභිමානයක් ගෙන දෙන දෙයක්. දෙමළ සහ සිංහල භාෂා දෙකෙන් ම ගායනා කරපු ජාතික ගීය දැන් සිංහල භාෂාවෙන් පමණක් ගායනා කරන්න යනවා කියලා සමහරු කියනවා. ඒ තුළින් වෙන්නේ දෙමළ ජනතාවගේ හිත්වල තමන් කොන් කර දාලා කියන හැඟීම නැවත වතාවක් ඇති වෙන එක."

හැත්තෑ දෙවන නිදහස් උළෙලේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කරනු ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් උතුරු පළාතේ තරුණයෙකු පළ කළ ප්‍රතිචාරයයි, ඒ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල එල්ටීටීඊ පාලනය පැවති සමයේ ජාතික ගීය සහ එය ගායනා කිරීම තහනම් කර තිබූ බව පවසන එන්. ජනගන්, ජාතික ගීය කුමන භාෂාවකින් ගායනා කළත් එය "දකුණේ ජනතාවගේ ජාතික ගීය පමණක්ය" යන අදහස එම පළාත්වල දෙමළ ජනයා අතර පැවති බව සිහිපත් කළේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"ඉන් පසුව, පසුගිය ආණ්ඩුව සමයේ ජාතික ගීය සිංහල හා දෙමළ භාෂා දෙකෙන් ම ගායනා කරන්න කියලා තීරණයකට ආවා. ඒ තීරණයත් එක්ක උතුරු නැගෙනහිර ජනතාවත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න පටන් ගත්තා. ඒක ක්‍රමයෙන් දෙමළ ජනතාවගේ සිත් තුළ තැන්පත් වුණා. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනකොට දෙමළ ජනතාවට රට ගැන යම් හැඟීමක් ඇති වුණා. මොක ද තමන් දන්න භාෂාවෙන් රටේ ජාතික ගීය ගායනා කරන නිසා.'

Jathika Giya 2020.02.011"දැන් උතුරු නැගෙනහිර ජනතාව ඉල්ලන්නේ දෙමළ භාෂාවෙන් ම ජාතික ගීය ගායනා කරන්න ඕන කියලයි. එල්ටීටීඊ පාලනය පැවති කාලයේ රටේ ජාතික ගීය එපා කියපු පිරිසක් දැන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න ඉල්ලනවා. ඒකෙන් ම තේරෙනවා අපේ දෙමළ ජනතාව දැන් ක්‍රමයෙන් වෙනස් වෙලා තියෙන හැටි. සිංහලෙන් ජාතික ගීය කියන කොට අපට තේරෙන්නේ නෑ. ඒ තුළින් රට ජාතිය ගැන හැඟීමක් ඇති වෙන්නේ නෑ,"

"ජාතික ගීය එපා කියපු මිනිස්සු දෙමළ භාෂාවෙන් හරි ජාතික ගීය කියන්න ඉල්ලන කොට එහි ඇති ගැඹුර තේරුම් ගන්න පාලකයන්ට හැකියාවක් නැත්නම් අපි මොකද කරන්නේ? නොතේරෙන භාෂාවකින් සිංදුවක් ඇහුවත් හැඟීමක් එනව ද? නැහැ නේද?" යනුවෙන් එන් ජනගන් වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

  president maithripala sirisena at 68th independence day in sri lanka
2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව නිදහස් සැමරුම් උළෙලවලදී දෙමළ භාෂාවෙන් ද ජාතික ගීය ගායනා කිරීමට පියවර ගත්තේය.

2016 වසරේ සිට 2019 වසර දක්වා එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ නමුත්, 2020 පෙබරවාරි 04 පැවැත්වීමට නියමිත නිදහස් උළෙලේදී ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කරනු ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව 'ඩේලි මිරර්' වෙබ් අඩවිය දෙසැම්බර් 24 වන දා වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව:

# ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිංහල සහ දෙමළ යන භාෂා දෙක ම රාජ්‍ය භාෂා ලෙස පිළිගනු ලැබ ඇත.

# නිදහස් සැමරුම් උළෙලේදී ජාතික ගීය සිංහල බසින් පමණක් ගයනු ඇතැයි වාර්තා පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ ප්‍රබල සංවාදයක් හට ගෙන තිබිණි.

# මෑත කාලයෙහි ජාතික ගීය මුල් කර ගනිමින් මතභේද හටගත් පළමු අවස්ථාව මෙය නොවේ.

# 2016 වසරේ පැවති නිදහස් දින උළෙලේදී පළමු වරට ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දුර දිග ගියේය.


# ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම හේතුවෙන් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා කැලණිය ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නොමැති බව 2016 නොවැම්බර් 18 දින ප්‍රකාශ කළේය.


# ශ්‍රී ලංකාව 1948 වසරේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලද නමුත් 1956 දක්වා රාජ්‍ය භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවය.

# 1956 වසරේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති ධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කළ රාජ්‍ය භාෂා පනත මගින් සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව බවට නීතිගත කරනු ලැබිණි.

# එවකට ප්‍රධාන වාමාංශික පක්ෂ දෙක වූ ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සෘජුව එම පිළිවෙතට දැඩි විරෝධය පළ කළ අතර සිංහල සහ දෙමළ භාෂා ද්වය රාජ්‍ය භාෂාව ලෙස පිළිගත යුතු බව ඔවුන්ගේ යෝජනාව විය.

"භාෂා දෙකක් නම් එක් රටක් - එක භාෂාවක් නම් රටවල් දෙකක්" යන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ ඓතිහාසික ප්‍රකාශය මගින් 'සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක' පෙන්වා දෙනු ලැබිණ.

# ඉන් වසර විසි දෙකකට පසු එනම් 1978 වසරේ සම්මත කරන ලද 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' මගින් සිංහල සහ දෙමළ භාෂා ද්වය රාජ්‍ය භාෂා ලෙස පිළිගනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ ඉතිහාසය

Screen Shot 2020 02 01 at 9.48.51 PM# ජාතික ගීය යනු, යම් රටකට හෝ ජාතියකට පක්ෂපාතීත්වය පෙන්නුම් කරන දේශානුරාගය දැන්වීම සඳහා රටක් හෝ ජාතියක් විසින් නිල වශයෙන් පිළිගන්නා ලද ගීතයකි.

# යටත් විජිත පාලන සමයෙහි ශ්‍රී ලංකාව (එවක Ceylon) ඇතුළුව සියළු බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ජාතික ගීය වශයෙන් ගැයුණේ "God save the King/Queen" බ්‍රිතාන්‍ය ජාතික ගීයයි.

# 1947 දී පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් සහ 1948 දී දේශපාලන නිදහස ලැබීමෙන් පසුවත් ශ්‍රී ලංකාවට පිළිගත් ස්වදේශික ජාතික ගීයක් නොතිබිණි. ජාතික ගීයක් නිර්මාණය කිරීමේ වගකීම පැවරුණේ 'ලංකා ගාන්ධර්ව සභාවටය'. ඒ සඳහා තරගයක් පැවැත්වුණු අතර සුදුසු ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා මණ්ඩලයක් පත් කෙරිණි.

# අදාළ මණ්ඩලය විසින් ජාතික ගීය වශයෙන් එක් ගීතයක් තෝරා ගනු ලැබූ අතර, එය රචනා කළ පී.බී ඉලංගසිංහ සහ එය සංගීතවත් කිරීම පැවරුණ ලයනල් එදිරිසිංහ එම මණ්ඩලයේම සාමාජිකයන් වීම මතභේදයට තුඩු දුන් කරුණක් විය. එම ගීය ආරම්භ වූයේ "ශ්‍රී ලංකා මාතා/පාලා යස මහිම/ජය ජය" යනුවෙනි.

# තරගය සඳහා ඉදිරිපත් කර තිබූ කවියෙකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ප්‍රචලිත ආනන්ද සමරකෝන් විසින් රචිත "නමෝ නමෝ මාතා" ගීය ජයග්‍රහණය නොකළ ද, එය ජනතාව අතර ප්‍රචලිත විය. ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිනොගෙන තිබූ නමුත් එය ගුවන් විදුලිය ඔස්සේ අසන්නට ලැබිණි.

# වැඩි දෙනෙකු අතර ජනප්‍රිය වූ "නමෝ නමෝ මාතා" ගීය නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලා 1950 වසරේ දී එවක මුදල් ඇමතිවරයා වූ ජේ.ආර් ජයවර්ධන කැබිනට් පත්‍රිකාවක් යොමු කළේය. එවක අගමැතිවරයා වූ ඩී.එස් සේනානායක ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයා වූ ශ්‍රීමත් ඊ.ඒ.පී විජේරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර "නමෝ නමෝ මාතා" ගීය ජාතික ගීය විය යුතු බව එම කමිටුව විසින් තීරණය කරනු ලැබීය.

# ආනන්ද සමරකෝන්ගේ එකඟත්වය ඇතිව එහි යම් වෙනස්කම් සිදු කෙරුණු අතර, 1951 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් "නමෝ නමෝ මාතා" ගීය ජාතික ගීය ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස නිර්දේශ කෙරිණි. ඊට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි විය.

# ඩී.එස් සේනානායක ප්‍රමුඛ ආණ්ඩුවේ සිටි ජී.ජී. පොන්නම්බලම් සහ සී. සිත්තම්බලම් යන කැබිනට් ඇමතිවරුන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් වීමට පෙරම "නමෝ නමෝ මාතා" ජාතික ගීය දෙමළ බසට පරිවර්තනය කර නිල වශයෙන් පිළිගත යුතු යයි අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක ප්‍රකාශ කළ බව පැවසේ. 

# එය දෙමළ බසට පරිවර්තනය කරනු ලැබුවේ කොළඹ සහිරා විද්‍යාලයේ ගුරුවරයෙකු වූ පණ්ඩිත් එම්. නල්ලතම්බි විසිනි. ඒ අනුව දෙමළ බහුතරය වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල "නමෝ නමෝ තායේ" ලෙස ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආරම්භ විය.

# 1961 වසරේදී "නමෝ නමෝ මාතා" යන්න "ශ්‍රී ලංකා මතා" යනුවෙන් වෙනස් කෙරුණේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වූ ආනන්ද සමරකෝන්ගේ දැඩි විරෝධය හමුවේය.

# පසුව ඔහු සියදිවි හානිකර ගත්තේ ඔහුගේ විරෝධය නොතකා ජාතික ගීයේ සිදු කළ වෙනස්කම නිසා යයි මතයක් පවතී.

ජනාධිපතිවරණයෙන් පසු...

Gotabaya 2
# නොවැම්බර් 16 වන දා පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ බහුතර සිංහල බෞද්ධ ජන පදනමක් සහිත ප්‍රදේශ ජයග්‍රහණය කළ අතර, උතුරු සහ නැගෙනහිර, දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාවන් වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවල වැඩි ඡන්ද ලබා ගෙන තිබුණේ ඔහුගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසය.

# ජනාධිපතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී බහුතර සිංහල බෞද්ධ ජනයා සහ සෙසු ජනවර්ග අතර පැහැදිලි බෙදීමක් දක්නට ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

# දෙමළ භාෂාවෙන් ජාතික ගීය නතර කිරීමක් පිළිබඳව සංවාදයක් පවතින අතරවාරයේ ජනවාරි 07 වෙනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් 'නොබෙදුණු සහ නොබෙදිය හැකි රටක සමාන පුරවැසි අයිතිවාසිකම් ඇතිව සමාන පුරවැසියන් ලෙස දිවි ගෙවීමට දෙමළ ජනයා තවමත් සූදානම් බව' කියා සිටියේය.

"රටක නායකයාගේ ජනප්‍රියත්වය පිළිබඳ පරීක්ෂාව යනු, ඔහුගේම මිනිස්සු ඔහු වෙත තබා ඇති විශ්වාසය නොව, අනෙක් පුද්ගලයන් ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට සූදානම් ද? යන කාරණයයි," පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් සඳහන් කළේය.

# රුවන්වැලි මහා සෑය අබියසදී සිය පදවියේ දිව්රුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 'බහුතර සිංහල බෞද්ධ ප්‍රජාව තමාට ඡන්දය ලබා දීම පිළිබඳ කෘතවේදීත්වය පළ කරමින්, තමාට ඡන්දය ලබා නොදුන් පුද්ගලයන් ද ඇතුළුව තමා රටේ සියලුම පුරවැසියන්ගේ ජනාධිපතිවරයා' යයි ප්‍රකාශ කළේය.

# සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසන්නේ, සෙසු ප්‍රජාවන්ගේ විශ්වාස දිනා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ද අවබෝධයෙන් පසුවෙන්නේ යයි ඔහුගේ එම ප්‍රකාශයෙන් පෙනී යන බවය.


 ‘ජාතික ගීය’ දෙමළ බසින් ගයන උත්සාහයක්!

 ‘ජාතික නිදහස් දින උත්සවයේ’දී සිංහල බසින් පමණක් ජාතික ගීය ගැයීමට විරෝධය දක්වා දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට සමාජ ක්‍රියාකාරින් පිරිසක් එක්ව කටයුතු සංවිධානයකර තිබිණ.

ඔවුන් මෙම ගීතය පුහුණවන අවස්ථාවක් පහත වීඩියෝවේ දැක්වේ.

වීඩියෝ 

 

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)
 


සබැඳි පුවත් :

අගමැති දෙමළ මාධ්‍යයට කියපු කතාව සිංහල මාධ්‍යයටත් කියමුද ? (VIDEO)

පෙබරවාරි 04: ශ්‍රී ලංකා 'ජාතික ගීය' දෙමළ බසින් ගයන උත්සාහයක්! (VIDEO)

රජුන් තැනු දිලිත් ගෙන් ශ්‍රිරාල් කරන ආදරණිය ඉල්ලීම ?

දෙමල සන්ධානයේ සුමන්තිරන්ට සුදන්ත හිමිගෙන් මරණීය තර්ජනයක් ! - (VIDEO)

'රජයේ ආකල්ප සුහදත්වයට බාධාවක්' -මනෝ ගනේෂන්, ජනපතිට ලියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්