නූතනම තාක්ෂණයට ලංකාවේ නීතිරීති ගැලපෙනවාද නැද්ද යන කාරණාවත්,

සමාජයට එවැනි නීතිරීති ගැන දැනුමක් තිබෙනවාද යන කාරණාවත් ගැන අප දැඩිව සිතාබැලිය යුතු බව රන්ජන් රාමනායකගේ හඬපට සිදුවීමත්, ඉන්පසු නීතිය ක්‍රියාත්මක වූ අකාරයත් ගැන සලකා බලද්දී පැහැදිළි වේ.

Text 2 2පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ, ලංකාවේ පවතින නීතීය යටතේ නීති ප්‍රතිපාදන නොමැති නිසා යම් කිසි පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ දූරකථන සංවාදයක් මාධ්‍යට මුදා හරිමින් ප්‍රසිද්ධ කළ මොහොතක එසේ දූරකථන සංවාද ප්‍රසිද්ධ කළ පුද්ගලයින්ට එරෙහිව පොලීසියට ස්වධීනව ක්‍රියාත්මක කිරීමට හෝ විමර්ශණයක් සිදු කිරීමට ඉඩකඩක් නැති බවය. 

එහෙත් පරිගණකයක් ලෙස සැලකිය හැකි ඕනෑම උපාංගක ඇති දත්ත සොරා ගෙන හෝ අදාල දත්ත විකෘති කරමින් ප්‍රසිද්ධ කළ අවස්ථාවක 2007 අංක 24 දරණ පරිඝණක අපරාධ පනත යටතේ යම් කිසි පුද්ගලයෙකු පොලිසියට පැමිණිලි කළහොත් ඇමතුම ප්‍රසිද්ධ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ එම කාරණාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමක් කළ හැකි බව ඔහු පැවසීය.

පසුගිය සතියේ අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගෙන් කළ විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

 

වින්දිතයන් විසින් පැමිණිලි කිරීමේ අවශ්‍යතාවය :

ඔහු එහිදී පැහැදිළි කළේ, යම්කිසි පුද්ගලයෙකු පෞද්ගලික ඇමතුමක් ප්‍රසිද්ධ කළ පමණින් පොලිසීයට ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැති බවය.

පසුගිය කාලසීමාවේදී මාධ්‍ය ආයතන මෙන්ම අජිත් ප්‍රසන්න, සිංහලේ සංවිධානය ඇතුළු පාර්ශ්ව ගණනාවක් අනුන්ගේ හඬපට ප්‍රසිද්ධ කිරීමේ සිදුවීම දකින්නට ලැබුණි. ඊටත් පෙර නාමල් කුමාර නැමැත්තා පොලීසියේ ප්‍රධානියෙකු සමඟ කළ දුරකථන ඇමතුම් ප්‍රසිද්ධ කළේය.

ඉන්පසුව නීතිපති දෙපාර්තුමේන්තුවේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමග කළ ඇමතුමක් ප්‍රසිද්ධ කිරීමේ සිදුවීමක්ද අසන්නට ලැබුණි. එතැනිනුත් එහා ගොස්,  අනුන්ගේ ඇමතුම් ප්‍රසිද්ධ කිරීමේ සිදුවීම එදිනෙදා ජිවිතයේ අසන්න‌ට ලැබෙයි.

එවැනි සිදුවීමක් ගැන පොලීසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැක්කේ ඇයිදැයි විමසීමේදී පොලිස්පතිවරයා පෙර කී පැහැදිළි කිරීම කළේය. ඔහු පෙන්වාදෙන්නේ වින්දිතයන් පැමිණිලි කිරීමේ අවශ්‍යතාවයයි.

 

Text 2 1හිරුනිකාගේ පැමිණිල්ල !

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය සතියේ පැමිණිල්ලක් කර තිබුණේ ඉහත කී 2007 අංක 24 දරණ පරිඝණක අපරාද පනතේ 07 වෙනි වගන්තිය යටතේය. එම මන්ත්‍රීවරිය ජනවාරි 20වන දින ඉහත කී පනත යටතේ පැමිණිල්ලක් කර තිබුණි.

පරිඝණකයකින් දත්ත සොරා ගැනීම, විකිණිම, ලඟ තබා ගැනීම, ඒවා ප්‍රසිද්ධ කිරීම හෝ විකෘති කිරිම හා උඩුගත කිරීම, භාගත කිරීම, පිටපත් කර ගැනීම සහ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මන්ත්‍රීවරිය පැමිණිලි  කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රන්ජන් රාමනායක අතර සිදුවුනා යැයි පවසමින් විකෘති කරන ලද හඬපට කිහිපයක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් ඒ මහත්මිය සිදු කළ පැමිණිල්ලට විමර්ශණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය. ඒ අනුව ඇයට ඉදිරියේදී නීතිමය සහන හිමිවනු ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාවිච්චි කළ නීති ප්‍රතිපාදනවලට අමතරව සිවිල් නඩු පැවරීම සඳහා නීති ප්‍රතිපාදන ඇත. එහෙත්  මෙවැනි අවස්ථාවක පොලිසීය ඉබේ ක්‍රියාත්මක වෙන්නේ නැත. නීතිමය සහනයක් ලබන්නට නම් වින්දිතයෙක් දැනට ඇති නීතියක ප්‍රතිපාදන පාවිච්චි කරමින් සිදුවූ අපරාධය ගැන පැමිණිලි කළ යුතුය.

 

වඩාත් බරපතල කාරණය :

වඩාත් බරපතල තත්වය වන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට බරපතල ලෙස හානිවෙන අන්දමේ තොරතුරු ජංගම දූරකතනයකින් සොරකම් කොට, ප්‍රසිද්ධ කිරීම රන්ජන් රාමනායක හඬපට සිදුවීමෙන් පසු දිරිමත් වීමේ  අවදානමක් පැවතීමයි. එමෙන්ම එලෙස දත්ත සොරකම් කිරීම නීතිවිරෝධී බවත්, එයට එරෙහිව පැමිණිලි කිරීමේ හැකියාවක් ඇති බවත් සාමාන්‍ය පුරවැසියන් නොදැන සිටීමයි.

අනෙක් අතට ලංකාවේ ඇමතුම් අනවසරයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට අදාලව තවත් නීතිරීති සම්මත විය යුතු බවද පැහැදිළි කාරණාවකි. ලෝකයේ බොහෝ රටවල සයිබර් අපරාධ වලට අදාලව නවීනම නීති ඇතත්, ලංකාවේ‌ එවැනි නීති නැත.

(රේඛා නිලුක්ෂි හේරත් - අනිද්දා )

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්