සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන්නට නියමිත නව දේශපාලන සන්ධානය අලුත් නමකින් සහ අලුත් ලකුණකින් පෙබරවාරි 10 වෙනිදා වන විට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ලැබේ.

මේ වනවිට නව සන්ධානයේ ව්‍යවස්ථාව සහ අදාළ සියලුම කාරණා සම්පූර්ණ කර ඇතැයි දැනගන්නට ලැබෙන අතර එහි මහ ලේකම් තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරටද, ජාතික සංවිධායක තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකටද ලබාදෙන්නට නියමිත බව දැනගන්නට ඇත.

එහි ප්‍රථම පියවර ලෙස නව සන්ධානයේ ලේකම් තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරට ලබාදෙන්නට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව පෙබරවාරි 10 වැනි දින එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුම් දීමට නියමිතය.

''කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගත යුතුයි''  

පෙබරවාරි 05 වැනි දින එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කොළඹදී රැස්වී රංජිත් මද්දුම බණ්ඩාර සන්ධානයේ ලේකම්වරයා ලෙස යෝජනා ස්ථිරත්වයෙන් තීරණය කරනු ලැබූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ කියා තිබුණේ එම තනතුර එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගත යුතු බවය.

කෙසේ වෙතත් එජාපයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ ප්‍රබලයෙකු ප්‍රකාශ කළේ තම පාර්ශවයෙන් නව සන්ධානයේ මහා ලේකම් ලෙස නවීන් දිසානායකගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කරන්නට බලාපොරොත්තුවන බවය. ඒ අනුව බොහෝදුරට එම මණ්ඩලය තුළ සන්ධානයේ මහා ලේකම් කවුරුන්ද යන්න තෝරාගැනීම සඳහා ඡන්දයක් විමසනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

මෙම තත්වය පිළිබඳව අදහස් දැක්වූ සජිත් පාර්ශවයේ ප්‍රබලයෙකු ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත් ප්‍රේමදාසට පූර්ණ බලය ලබාදී ඇති බවයි. 

ඒ අනුව එජාපය මෙම ගොඩනැගෙන නව සන්ධානයේ එක් පක්ෂයක් පමණක් නිසා එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයට සන්ධානයේ අනෙකුත් තනතුරු පිරවීමේ බලයක් නොමැති බව ඔහු සඳහන් කළේය. 

 එහෙත් එජාපයට එලෙස තවදුරටත් මෙම සන්ධානය ගොඩනැගීම අවහිර කරන්නට අවශ්‍ය නම් ඔවුන්ට මෙම සන්ධානයෙන් ඉවත්විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

(කේ.සංජීව -අනිද්දා පුවත්පත)
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්