ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුටුව ලකුණෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිත්වීම සඳහා
නිර්මාණය කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාළව ශ්රීලනිපය පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ඉටු නොවීම නිසා එම පක්ෂය ඉදිරි මහමැතිවරණයට වෙනම ඉදිරිපත් වීම ගැන සලකා බැලීමට ලබාපොරොත්තු වන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසුව, පොදුජන පෙරමුණේ නායකයන් අතර අභ්‍යන්තර සාකච්ඡා පවත්වා ඇත. එම සාකච්ඡාවලී ඇති කරගත් එකඟතා දැනුම්දීම ශ්රීලනිපය වෙනම ඉදිරිපත් වීම පිළිබඳව සලකා බැලීමට හේතුවී ඇත.
මෛත්‍රීගේ සම නායක ඉල්ලීම කුණු බාල්දියට !
නව සන්ධානයේ සම නායකයන් ලෙස පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පත් කිරීමට කර ඇති යෝජනාව පොදුජන පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබේ. ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේනට සම ජාතික සංවිධායක තනතුරක් ලබාදිය හැකි බව පොදුජන පෙරමුණ පාර්ශවයෙන් කියා ඇත. අනෙක් සම ජාතික සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ පත් කිරීමට නියමිතය.
ඊට අමතරව ශ්‍රීලනිපයට මහමැතිවරණයේදී නාමයෝජනා ලැයිස්තුවලින් සීයට 30ක් ලබාදීමට එකඟ නොවීමද ශ්රීලනිපය වෙනම ඉදිරිපත් වීම ගැන සලකා බැලීමට හේතුවී තිබේ. ඒ වෙනුවට දැනට සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට සහ ඊට අමතරව දිස්ත්‍රික්කයකට එක බැගින් නව අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට පොදුජන පෙරමුණ එකඟ වී තිබේ.
නව සන්ධානයකින් නාමයෝජනා සකස් කිරීමේ යොජනවටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් එකඟ වී නැත.
මන්ත්‍රීධුර 10ක්වත්....
මෙම තත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ, ශ්‍රීලනිපයේ දැනට සිටින මන්ත්‍රීවරුන්ට පමණක් නාමයෝජනා ලබාදෙන්නේ නම්, ඊට වඩා තනිව මැතිවරණයට ඉදිරිපත් වීම යහපත් බවය. ප්‍රාදේශීය මට්ටමේ ශ්‍රීලනිප නායකයන්ද වෙනව මැතිවරණයට ඉදිරිපත් වෙන ලෙස ඉල්ලා ඇති බවත් ඔහු සිහිපත් කළේය.
පොදුජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයේදී තම පක්ෂයේ අඩු පිරිසකට නාමයෝජනා ලබාදී මැතිවරණයේදී එම අපේක්ෂකයන්ද පරාජය කිරීමේ ඉඩක් ඇති බව ඔහු කීය. එයට වඩා තනිව මැතිවරණයට ඉදිරිපත් වුවහොත්, ජාතික ලැයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රීධුර ප්‍රමාණයද ඇතුළුව අඩුව තරමේ මන්ත්‍රීධුර 10ක්වත් ලබාගත හැකිවේයැයි ශ්රීලනිපය අනුමාන කරන බව ඔහු වැඩිදුරටත් කීය.
''පෙර පැවති එකඟතා දැන් වැඩක් නැහැ'' -සාගර කාරියවසම්
අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණයට නාමයෝජනා සකස් කිරීම සහ නව සන්ධානය ගොඩ නැගීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සන්ධානයේ පක්ෂවල නායකයන් සාකච්ඡා කොට තීන්තුවක් ගත යුතු බවය.
පසුගිය ජනාධිපතිවරණයට පෙර තිබු තත්වය දැන් නොමැති බවත්, ඒ නිසා නව තත්වයට ගැළපෙන ලෙස අලුත් එකඟතා ඇති කරගත යුතු බවත් ඔහු කීය.
විවිධ නායකයන් විවිධ ප්‍රතිශත හිසේ තබාගෙන අදහස් අදහස් දැක්වුවත්, එලෙස නාමයෝජනා සකස් කළ නොහැකි ඔහු වැඩිදුරටත් කීය.
ඒ ඒ දිස්ත්‍රික්කවල අවශ්‍යතා එකිනෙකට වෙනස් බවත් එම අවශ්‍යතාවලට අනුව නාමයෝජනා සකස් කළ යුතු බවත් ඔහු කීය.
ඇතැම් දිස්ත්‍රික්කවල දෙමළ ජනතාව නියෝජනය කරන නායකයන්ට ඒ තත්වය ගැළපෙන ලෙස නාමයෝජනා දිය යුතු බව උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේය.
(තරිඳු උඩුවරගෙදර -අනිද්දා)
සබැඳි පුවත් :
පොහොට්ටුව හා ශ්‍රීලනිප අර්බුදය ගැන ගොඩහේවා කියන කතාව
මෛත්‍රීට 'පොහොට්ටුවෙන්' නාමයෝජනා නැහැ : ශ්රීලනිපය තනිව ඉල්ලුවොත් 04යි ලු !
''කෙනෙහිලි ඉවසන්න බැහැ'' : ජනපතිට සහයදෙන්න ශ්රීලනිපය තනිවම මහ මැතිවරණයට !
වෙනවෙනම තරඟකර පසුව එක්වෙමුයි බැසිල් ගෙන් 'කැරට් අලයක්' !
බැසිල් වැඩ අරඹයි : මෛත්‍රී තනිකර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පොහොට්ටුවට - පේෂල දැනටම ගිහින්