රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට එළියට එම හරහා අධිකරණයේ පමණක් නොව සමස්ත සමාජයේම බිඳ වැටීම

ඇස්පනා පිට ප්‍රදර්ශනය වූ බවත්, ඊට එරෙහිව රන්ජන් සිරගත කිරීමට නොව, වහාම 'සිස්ටම් චේන්ජ්' එකකට යාමට මෙරට සියලු විද්වතුන් අවධානය යොමුකළ යුතු බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

මධ්‍යම පළාතේ හා ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මෛත්‍රී ගුණරත්න එබව සඳහන් කර සිටියේ, කථිකාචාර්ය දිලන්ත විතානගේ විසින් මෙහෙයවන 'ලීඩර් ටීවී' හි  ''සිතමු'' වැඩසටහනට එක්වෙමිනි.

රන්ජන් රාමනායකගේ හඬපට සමාජ ගතවිමෙන් පසු ඇතිව තිබෙන සමාජ -දේශපාලන කතිකාව හා අධිකරණයේ ස්වාධිනත්ව බිඳවැටීම පිලිබඳ මතුව ඇති සැකය සම්බන්ධයෙන් දිලන්ත විතානගේ කළ විමසීමේදී එබව පැවසු මෛත්‍රී ගුණරත්න තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා නෙමෙයි මේ හඬපට එලිය දැම්මේ. කොහොමහරි මේ හඬපට එලියට යාම තුළ මේ රටේ දේශපාලනඥයින්ගේ පමණක් නොව, නීති ක්ෂේත්‍රයේ හෙළුවත් රටටම පෙනුනා.

නීතිඥයෙක් ලෙස මම අවුරුදු 30ක් නීති ක්ෂේත්‍රයේ ඉන්නවා. ඇත්තටම මට වෙලාවකට තරහත් එනවා. ඇතැම් විනිසුරන් පෙනී පෙනී වැරදි කරනවා. මම මේ කතාකරන්නේ රන්ජන් මන්ත්‍රීතුමාගේ හඬපට සිද්ධියට සම්බන්ධ විනිසුරන් ගැන නෙමෙයි.  නමුත් සමස්තයක් ලෙස ගත්තාම මේ කාරණය පොදු අර්බුදයක්.

දැන් අපට මෙරට නිවැරදි මාවතට ගෙනියන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තියනවා. අපේ 'සිස්ටම්' එක වැරදියි කියලා ඔප්පුවෙලා තියනවා'' කියා සිටි මෛත්‍රී ගුණරත්න ජනාධිපති නීතිඥවරයා අතීත කතාවක් ද සිහිපත් කරමින් මෙසේ පැවසිය.

''...අබේපිටිය විනිසුරුතුමා ඝාතනය කලාට පස්සේ, විනිශ්යකාරවරුන්ගේ ආරක්ෂාවට විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවලා විශේෂ ආරක්ෂාවක් ලබාදුන්නා. එසේ විශේෂ ආරක්ෂාව දුන්න පොලිසියේ එක මහත්තයෙක් එක දවසක් මට කිව්වා, ''අපට හිතාගන්න බෑ මේ ජැජස්ලා කොහොමද වැඩ කරන්නේ කියලා. උදේට උසාවියේ විත්ති කුඩුවට නගින මිනිහා සමරහක් දාට රැට ජැජස්ලාගේ ගෙවල් වලට එනවලු. ඉතින් ඒ පොලිස් නිලධාරී මහත්තයා මගෙන්  අහනවා මොකක්ද මේ නීතිය කියලා.

 

''සිස්ටම් චේන්ජ් එකකට යා යුතුමයි''

ඉතින් මේ කතාවයි රන්ජන් මන්ත්‍රීතුමා කියන කතාවයි ගැලපෙනවනේ. ඉතින් මම කියන්නේ, දැන් අපි මෙරට සම්පුර්ණයෙන් ප්‍රතිව්‍යුහගත ගත කරන්න ඕන.

ඇත්තටම දුගීම දුප්පත් ජනතාවට එරෙහිව විතරද මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන් මිනිසුන් තුල සාධාරණ සැකයක් මතුවෙලා තියනවා. හිරේ විලංගුවේ දාන්නේ හිරේ විලංගුවේ වැටිලා ඉන්නේ දුප්පත්ම මිනිස්සු. කුඩු වසංගතය තුරන් කරනවා කීවට කුඩු ව්‍යාපාරිකයෝ ජාවරම්කාරයෝ යහතින් ඉන්නවා. කුඩු පැකට් එකක් තියාගෙන ඉන්න එකා හිරේ දානවා. මේවා 'මිඩියා ෂෝ. එක තමයි අපි කියන්නේ කොහොමහරි 'සිස්ටම් එක' වෙනස් කරමු කියලා.''

 

Text 9 7''මේ පවුලට තුනෙන් දෙකක් නම් දෙන්න එපා''

මෙම වැඩසටහනේදී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න දැඩි ලෙස අවධාරණය කර සිටියේ, ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බලයක් ලබා නොදිය යුතු බවයි.

''දැනටමත් ජනාධිපති රාජපක්ෂ කෙනෙක්. අගමැති රාජපක්ෂ කෙනෙක්. ආරක්ෂක රාජ්‍ය ඇමති රාජපක්ෂ කෙනෙක්. රාජ්‍ය ආයතනවලින් සියයට 60ක් 70ක් තියන්නේ මේ රාජපක්ෂ පවුල යටතේ. ඉතින් එහෙම තියද්දි තුනෙන් දෙකකුත් දුනොත් ඒකාධිපති පාලනයක් ඇතිවෙනවා ඒකාන්තයි.

දැනට පවතින 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් එසේ ඒකාධිපතියකු බිහිවීමේ ඉඩ යම් තරමකින් අහුරලා තියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නකොට 18 වැනි ව්‍යවස්ථා සංශෝධය ගෙනත් මැරෙනතුරුම ජනාධිපති විදියට ඉන්න හදපු හැටි මතකද ?

කොහොමවුනත් අපට පුළුවන් වුනා රාජපක්ෂලාගේ ඒ ඒකාධිපති ගමන 2015දී නවත්වන්න. දැන් ආපසු එවැනි තැනකට රට වැටෙන්න දෙන්න බැහැ. වැරදිලාවත් දෙන්න එපා රටම ඉවරයි.''

රාජපක්ෂවරුන් තුනෙන් දෙකක් ඉල්ලන්නෙම ආණ්ඩුවේ නොහැකියාව නිසා යයි මෛත්‍රී ගුණරත්න මෙහිදී අවධාරණය කර සිටියේය.

 

ගෝඨාබය ගැන විශ්වාසය කළ මිනිස්සු !

Text 9 8ඇත්තටම පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ඇති බහුතරයක් මිනිස්සු, ගෝඨාභය රාජපක්ෂ මේ රට හදයි කියල විශ්වාසයකින් ඔහුව ජනාධිපති කළා. ඔහු සම්ප්‍රදායික දේශපාලනඥයකු නොවූනත් ආරක්ෂක ලේකම් විදියට හිටපු කාලයේ ක්‍රියාකළ ආකාරයෙන් ඔහු හොඳ කළමනාකරුවෙක් විදියට මිනිස්සු විශ්වාස කළා. 

ඇත්තටම ඔහු ජනාධිපති වුනාට පස්සේ කපට් සුට් ඇන්දේත් නැහැ. එතුමා ජනාධිපති වෙලා දැන් මාස තුකට ආසන්නයි. මහ මාර්ග සුද්ද පවිත්‍ර කිරීම ආදිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒවා එතුමා ආරක්ෂක ලේකම් විදියට ඉන්නකොටත් කළා. දැන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩිදෙයක්.

ජනාධිපති RMV එකට හදිසියේ කඩා පැන්නට වැඩක් නැහැ. එහෙම ගිහින් අලුත් 'සිස්ටම්' එකක් හදන්නේ නැතුව. මේවා 'මිඩියා ෂෝ' විතරයි. දැන් මොකද වෙලා තියන්නේ හොරකම වැඩිවෙලා . එදා රුපියල් 10,000ක් පගාව දීලා කරගත්ත වැඩේ කරගන්න දැන් 25,000ක් ගෙවන්න වෙලා. මොකද ජනාධිපතිතුමාගේ අවධානය වැඩියි කියල.

එකයි අපි කියන්නේ, මෙහෙම 'මිඩියා ෂෝ' නැතුව 'සිස්ටම්' එක වෙනස් කරමු කියලා.

 

සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කළ යුතුයි :

මේ රටේ සෑම ගමක් වෙනුවෙන්ම ග්‍රාම සේවක, සමෘද්ධි නිලධාරී, කෘෂි නිලධාරී ආදී වශයෙන් මසකට රුපියල් 50,000කට වැඩි වැටුපක් ලබන රජයේ නිලධාරීන් 15කට ආසන්න ගණනක් විවිධ දීමනා හා විශ්‍රාම වැටුප් සහිතව පත්කර ඇතත් කිසිඳු ගමක් නියමාකාරයෙන් දියුණුවක් ලබා නොමැත්තේ ඒ නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීමට කිසිඳු රජයක් අපොහොසත්වීම නිසා බව සිය ආණ්ඩුකාර ධුරයේ හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අද්දැකීම් පැහැදිලි කරමින් අදහස් දැක්වූ මෛත්‍රී ගුණරත්න, වහාම සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

ක්ෂුද්‍ර මුල්‍ය සාමාගම් ගමේ කාන්තාවන්ට සියයට 30කටත් වඩා වැඩි පොලියට ණය ලබාදෙමින් ඔවුන්ව සූරාකන බව කියා සිටි මෛත්‍රී ගුණරත්න, ගම මට්ටමින් පිහිටුවන සමුපකාර හරහා ගම් මට්ටමින් සිදුකරන ව්‍යාපෘති සඳහා ඉතාමත් අඩු පොලියට ණය ලබාදීමේ හැකියාවක් පවතින බවද පෙන්වා දුන්නේය.

 

විෂන් එකක් නැති මිනිස්සු !

පළාත් සභා අසාර්ථක දේශපාලන විසඳුමක් දැයි දිලන්ත විතානගේ විමසා සිටි අවස්ථාවේදී මෛත්‍රී ගුණරත්න කියා සිටියේ, වරද ඇත්තේ පළාත් සභා ක්‍රමයේ නොව, ඒ සඳහා පත්වූ  ඇතැම් දේශපාලනඥයින්ට පළාත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් නිසි දැක්මක් නොමැතිවීම බවයි.

''හරි විෂන් එකක් තියන මිනිස්සු ඒවගේ තැන් වලට දාන්න ඕන'' යයි ඔහු කියා සිටියේ ආණ්ඩුකාරවරයකු ලෙස වසරකට ආසන්න කාලයක් මධ්‍යම හා ඌව ජනතාවට කළ සේවාව ද සිහිපත් කරමිනි.

ගම් මට්ටමෙන් නිෂ්පාදන ධාරිතාවය වැඩිකරමින්, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින්, සංචාරක ව්‍යාපාරයට දියුණු කරමින් ඉදිරි වසර කිහිපය තුල මනා කලමනාකරිතාවකින් කටයුතු කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය නැතත් ශ්‍රීලංකාවට නැගී සිටීමේ අවස්ථාවක් ඇතැයි ඔහු පැහැදිලි කළේය.

 

''ගෝඨාභයට සහය දෙන්න සුදානම්''

එවැනි 'සිස්ටම්' වෙනස් කිරීමක් හරහා රට ගොඩනැගීමට අවංක උත්සහයක් දරන්නේ නම්, තම පක්ෂය ජනාධිපති ගෝඨාභයට කොන්දේසි විරහිතව සහය දැක්වීමට සුදානම් බව ඔහු කියා සිටියේ, තුන්වැනි බලවේගය ලෙස තම පක්ෂය ඉදිරියට ගෙන යන බවද අවධාරණය කරමිනි.

'' අපි එක්සත් ජාතික නිදහස් පෙරමුණ නිල වශයෙන් පිටුවලා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුලදී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුනා. එහිදී අපට මන්ත්‍රීවරුන් 30ක් පත්කර ගන්න පුළුවන් වුනා. දැන් පොහොට්ටුව ගැනත් එජාපය ගැනත් ශ්‍රීලනිපයත් ගැනත් මිනිස්සු කලකිරිලා ඉන්නේ. ඒ පක්ෂ වල නායකයින් කුලල් කා ගන්න නිසා. ඔව් අපේ පක්ෂය මේ රටේ තුන්වැනි බලවේගය ලෙස ඉදිරියට ගේනවා..'' ඔහු අවධාරණය කළේය.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේදැයි දිලන්ත විතානගේ කළ විමසීමේදී මෛත්‍රී ගුණරත්න කියා සිටියේ, තමන්ට මහ මැතිවරණයට ඉදිරිපත් වන්නැයි මධ්‍යම හා ඌව පළාත් වල මිනිසුන් ගෙන් බලවත් ඉල්ලීමක් ලැබී ඇති බවයි. කෙසේවුවද තම ගම් ප්‍රදේශයෙන් ඉදිරිපත්වීමට බලාපොරොත්තු නොවන බවද ඔහු කියා සිටියේය.

''ගම ගාල්ලේ වුනාට එහේ ලොකු තරඟයක් තියනවා. අනෙක අවම වශයෙන් කෝටි පහක්වත් වියදම් කරන්න වෙනවා. ඉතින් කොහෙන්ද ඒ සල්ලි අයෙත් හොයා ගන්නේ.'' ඔහු වැඩිදුරටත් පැවසිය.

 

සම්පුර්ණ සංවාදය පහත විඩියෝවෙන් බලන්න.

සබැඳි වීඩියෝ :

ශ්‍රී ලංකාවේ දමිළ බෞද්ධයින් 40,000කට වඩා ඉන්නවා - උතුරේ හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්