පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපති,

අගමැති ප්‍රමුඛ රජය පෙනී සිටින බව  කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

රටේ නිලධාරීන් ජාතිය ගැන සිතා නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නේ නම් රජය එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

 

''මේක ජයග්‍රහණයක්''

රජය විසින් ගත් එම තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ ප්‍රතිචාර පලවෙමින් තිබේ. ඒ අතර 'කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''ගෝටාබය ජනාධිපතියි, කැබිනට් මණ්ඩලයයි දේවානි සමඟ හිට ගැනීම "ලැජ්ජාව වහගැනීමට කරපු එකක්" කියල මගේ ෆේස්බුක් මිතුරියක් යට පෝස්ට් එකේ කියල තියෙනව. මම කියන්නෙ එහෙමම හිතන්න එපා කියල. තද වහල්ලු කීපදෙනෙක් ඇරුනහම අනිත් ඔක්කොමල පක්‍ෂ බේදයක් නැතිව ඇය එක්ක හිටිය.

ජනතා මතයට හිස නැමීම වැදගත්. ස' ගිය සතියෙ කිව්වෙ "මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම හා යුතුකමයි.

එය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියල. "I will do it my way. Don’t try to interfere. You have no right to interfere තමා තිබ්බ චින්තනේ.

ඒක උඩනෙ අර කස්ටිය නිකන් සබන් නාස්තිකරේ. ඒත් කැබිනට් මණ්ඩලයයි, ස'යි එතුමියගෙ පැත්තෙ හිටගන්නෙ දැන්. තඩි බයිසන් තැත්තො විතරයි අප්සෙට්.

මේක ජයග්‍රහණයක්!

ඇය වෙනුවෙන් පෙනී සිටි සැමට ප්‍රණාමය!  ''

වන සංරක්ෂණ නිලධාරිනී දේවානී ජයතිලක හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ගෝලබාලයින් අතර සිදුවූ මතගැටුම සම්බන්ධයෙන් ඊයේ සහ අද දිනයේ ද සමාජ මාධ්‍යවල පුළුල් සංවාදයක් මතුව ඇති අතර දිලිත් ජයවීර ඇතුළු ජනාධිපතිවරයාගේ සමීප හිතවතුන් ද දේවානී ජයතිලකගේ ක්‍රියාව ඇගයීමට ලක්කර තිබිණ.

 

''දේවානීගේ ආරක්ෂාව තහවුරු කරන්න'' -CHR

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින්, මීගමුව කඩොලාන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා නිර්භිතව සිය අදහස් පළ කළ ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනී දේවානී ජයතිලක මහත්මියගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි කියා සිටියි.

වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ ආරක්ෂාව තහවුරුකරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,  මීගමුව කඩොලාන ශාක පද්ධතිය රැක ගැනීම සම්බන්ධයෙන් සෘජුව සිය විරෝධතාව දැක්වීම නිසා ඇය වෙත තර්ජන එල්ල වීමේ දැඩි අවධානයක් පවතින බවයි.

13 1මේ නිසා ඇයගේ රැකියාවේ සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බව ආරියවංශ මහත්මිය පෙන්වාදෙයි.

එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඊයේ (12) පස්වරුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද ඇයගේ ආරක්ෂාව අනතුරේ පවතින බව පිළිගනිමින් ''අනූ නමයෙන් බේරුණේ. මමයි බේරාගත්තේ. නැත්තං එයාට ගහනවා'' යනුවෙන් ප්‍රකාශයක් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

එම ප්‍රකාශය වන සංරක්ෂන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය වෙත අනියමින් එල්ල කළ බලපෑමක් බව ද සුරංගි
ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි.

මේ නිසා සිව්දරු මවක් වන දේවානි ජයතිලක මහත්මියගේ ආරක්ෂාව තහවුරු කිරීම මේ මෙහොතේ රජයේ වගකීමක් වන බව ආරියංවංශ මහත්මියගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ලිඛිතව ඉල්ලිමක් කර ඇති බවද ආරියවංශ මහත්මිය සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දේවානි ජයතිලක මහත්මියගේ වෘත්තිය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව වහා තහවුරු කළ යුතු බව එම ලිඛිත ඉල්ලීමෙහි දැක්වෙන බව ඇය සඳහන් කළාය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්