ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, සීමාසහිත ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා ආයතනවල සිදුවී ඇතැයි පැවසුන වංචා දූෂණ හා

රාජ්‍ය සම්පත් අවභාවිතය සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2018 පෙබරවාරියේ පත්කල විශේෂ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තු 'කෝප්' කමිටුවට ඉදිරිපත් කරන්නැයි එම කමිටුවේ සාමාජිකයකු කතානායකවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ අනිල් ගුණරත්නගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර තිබු එම ජනාධිපති කොමිසමේ සෙසු සමාජිකයින් වුයේ, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය යි.

ශ්‍රී ලංකන් එයාර්ලයින්, සීමා සහිත ශ්‍රී ලංකන් කේටරින් සහ සීමා සහිත මිහින් ලංකා සමාගම්වල 2006 ජනවාරි මස 06 වන දින සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළ සිදුවුවා යැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන හා පරීක්ෂා කර වාර්තා කිරීම මෙම ජනාධිපති කොමිසමට පවරා තිබු කාර්ය භාරය විය.

හිටපු ජනාධිපතිවරයා විසින් එම ජනපති කොමිසමේ විමර්ශන සඳහා අවශ්‍ය නෛතික උපදෙස් ලබා දීම සඳහා විශේෂ නීතිඥ කණ්ඩායමක් 2018 මාර්තු මාසයේදී පත් කළේය. එම කමිටුවට සාමාජිකයින් 8 දෙනෙකු ඇතුළත් වූ අතර අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව එහි ප්‍රධානියා ලෙස නම් කර තිබිණ.

එසේම, අදාල ජනාධිපති කොමිසමට සහාය දක්වමින් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පොලිස්පතිවරයා විසින් පත්කර තිබිණ. කොමිසමේ ඉල්ලීමකට අනුව පත්කරනු ලැබූ මෙම පොලිස් කණ්ඩායම සහකාර පොලිස් අධිකාරි ලෝරන්ස්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවිය.  

අදාල ජනාධිපති කොමිසමට පැවරුන වගකීම ඉටුකිරීම සඳහා ලබාදී තිබු කාලය ප්‍රමාණවත් නොවුයෙන් ජනාධිපතිවරයා විසින් එම ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කළේය.

ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනයට අදාළ වාර්තාව මේවනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දී ඇතත් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

පාර්ලිමේන්තු 'කෝප්' කමිටුව අනිද්දා (19) රැස්වීමට නියමිතව ඇති අතර එහිදී අදාල ජනාධිපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්