දිනය 2019 දෙසැම්බර් 19 වැනිදාය. ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ විශාලතම වෘත්තිය සමිතිය වන ලංකා බැංකු සේවක සංගමයේ ලංකා ලැංකු ශාඛාවේ (ලංකා බැංකු සේවක සංගමය දේශපාලන වෘත්තිය සමිතියක්

නොවේ ) ක්‍රියාකාරීන් බැංකු ශාඛාවලට යමින් සිට ඇත්තේ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහාය. එය ලංකා බැංකු සේවක සංගමය පමණක් නොව අනෙකුත් සංගම්ද කළමණාකරීත්වය දැනුවත් කරමින් සිදුකරන කටයුත්තකි.

එහෙත් එම සාමාජිකයන් දැනුවත් කිරීමේ කටයුත්ත ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව තුළ සිදුකර අවස්ථාවේ ගැටුම්කාරී තත්වයක් ඇතිවී තිබේ. 

ප්‍රගති බැංකු සේවක සංගමය යනුවෙන් මෑතක පිහිටුවාගත් සංගමයක ප්‍රධානියෙකු එම සංගමයේ සාමාජිකයන්ටත් ලංකා බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරීන් සාමාජික අයදුම්පත් ලබාදී බඳවා ගැනීමට උත්සහා කරන බවට චෝදනා එල්ලකර ඇත. එහිදී ආරවුලක් ඇතිවන්නට ගොස් ඇතත් විශාල ප්‍රශ්නයක් සිදුවී නැත.


නිශාන්ත සමරසිංහ : බැංකු කළමණාකාරීත්වයට වඩා බලවතෙක් :

සාමාජිකයන් දැනුවත් කිරීමේ ඊළඟ කටයුත්තට ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාවේ ක්‍රියාකාරිකයන් ගොස් ඇත්තේ එම බැංකුවේ බම්බලපිටිය ශාඛාවටය . එහි සාමාජිකත්වය අමතමින් සිටින විට කඩා වැදී ඇත්තේ ප්‍රගති බැංකු සේවක සංගමයේ නායකයා වශයෙන් සැලකුම් ලබන නිශාන්ත සමරසිංහ ඇතුළු පිරිසකි. 

ඔවුන් එම අවස්ථාවේ ලංකා බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරීන්ට එරෙහි තර්ජනාත්මකව හැසිරී ඇත්තේ එම ශාඛාව වෙත ඒ අවස්ථාවේ පැමිණ සිටි ගනුදෙනුකරුවන් පිළිබඳව නිසි තැකීමක් නොකරමිනි. බැංකු කළමණාකාරීත්වයද කිසිදු ගණනකට නොගනිමිනි.

මේ කථාව හුදු වෘත්තිය සමිති දෙකක ක්‍රියාකාරීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හෝ ආරවුලක් වශයෙන් අවශ්‍ය නම් යමකුට අර්ථකතනය කළ හැකිය. එහෙත් එම සිදුවීමත්, සිදුවීමෙන් පසු මේ වනවිට සිදුවී ඇති හා සිදුවෙමින් පවතින ක්‍රියා දෙස බලන විට පසක් වන්නේ එ තුළ  කථා කළ යුතු භයානක ප්‍රවණතාවක් තිබෙන බවය. ඒ රාජ්‍ය බැංකුවල විනය පටිපාටියට දේශපාලනය ඉතා නරක අන්දමින් බලපෑම් කරමින් සිටින බවය. 

මේ සිදුවීම පිළිබඳව එම බැංකු ශාඛාවේ ඉහළ කළමණාකාරීත්වයට පැමිණිලි කර තිබුණි. එමෙන්ම ලංකා බැංකු සේවක සංගමයද පැමිණිලි කර තිබුණි . එම පැමිණිලි අනුව ලංකා බැංකු කළමණාකාරීත්වය සිදුකරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු මෙම සිද්ධියේ ප්‍රධානතම චූදිතයා වන නිශාන්ත සමරසිංහගේ වැඩ තහනම් කර තිබුණි. ඔහුට පරීක්ෂණ කණ්ඩායම හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස තිබූ දැනුම්දීමද බැංකු කළමණාකාරීත්වයට වඩා ඔහු බලවතෙකු ලෙස හඟිමින් ඔහු ප්‍රතික්ෂේප කර තිබුණි.

පූර්ව අවසරයකින් තොරව රාජකාරී වෙලාවේ කාර්යාලයෙන් බැහැර වීම, බම්බලපිටිය ලංකා බැංකු ශාඛාවට එහි කළමණාකාරීත්වයේ අවසරයකින් තොරව ඇතුල්වීම, අවසර රැගෙන එහි පැමිණ සේවකයන් සමග සාකච්ඡා කරමින් සිටි ලංකා බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරීන්ට බාධා කිරීම, ඔහුගේ බාධා කිරීම හමුවේ එම අවස්ථාවේ සේවා ලබාගැනීම සඳහා පැමිණි ගනුදෙනුකරුවන් බියට පත්වී බැංකු පරිශ්‍රයෙන් ඉවත්වීම හා බම්බලපිටිය ශාඛා කළමණාකාරීත්වයට තර්ජනය කිරීම ආදිය ඔහුට ඇති චෝදනාය.

වාසුදේව ගෙන් කළමණාකාරීත්වයටද බලපෑම් !

මේ චෝදනා ඉවත් කරගෙන ඔහුව නැවත සේවයේ පිහිටුවන ලෙස ලංකා බැංකුවේ සභාපතිවරයාට මෙන්ම කළමණාකාරීත්වයටද බලපෑම් එල්ලවී ඇත. 

 එම බලපෑම් එල්ලවී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාගේ මැදිහත්වීමෙනි. ඊට හේතුවී ඇත්තේ වාසුදේව නානායක්කාර රාජ්‍ය ඇමතිවරයාගේ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වශයෙන් මේ කියන නිශාන්ත සමරසිංහ නමැත්තා කටයුතු කිරීමය. 

ලංකා බැංකු සේවක සංගමයේ නිලවරණයෙන් ස්වාධීන පිලට එරෙහිව ප්‍රගති පිල වශයෙන් තරග කර දිනන්නට නොහැකිවීම නිසා හදාගත් මේ ප්‍රගති බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙසද වාසුදේව නානායක්කාර රාජ්‍ය ඇමතිවරයා කටයුතු කරන බව ප්‍රසිද්ධ කරුණකි.

මෙවැනි සිදුවීම් වලදී බැංකුවේ වෙනත් සේවකයන් සම්බන්ධයෙන් ගන්නා ලද විනය ක්‍රියාමාර්ග මෙම දේශපාලන බලපෑම් හමුවේ නිශාන්ත සමරසිංහට එරෙහිව නතර වී ඇත. ඔහුගේ වැඩ තහනම දින කිහිපයකින් ඉවත් කර ඇත. ඔහුට එරෙහිව විනය පරීක්ෂනයද නවතිනු ඇත.

වැඩ තහනම නවතාගත් මේ ජයග්‍රාහී දේශපාලන බලපෑම් ප්‍රගති සංගමය සිය පත්‍රිකාවක සඳහන කර ඇත්තේ ' ප්‍රගති බැංකු සේවක සංගමයට නායකත්වය ලබාදුන් නිශාන්ත සමරසිංහ සහෝදරයා බොරු චෝදනා මත වැඩ තහනමට ලක් කිරීමේ උත්සහාය අගමැති අණින් නවතියි 'යනුවෙන්ය.

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  '96න් පසු සේවකයන්ගේ දායක නොවන විශ්‍රාම වැටුප දිනාදීමට නායකත්වය දුන්, එම විශ්‍රාම වැටුප සේවක විශ්‍රාම වැටුප හා සමකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීමට පුරෝගාමි වූද නිශාන්ත සමරසිංහ ' වශයෙන්ය.

 'රාජපක්ෂ උණ හා චණ්ඩිපාට්' :

යුක්තිගරුක හා නීතිගරුක රටක් හැදීම සඳහා යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ දේශපාලන හයිය ඇතිව ලංකා බැංකුව තුළ මේ පිරිස ඉදිරියට කෙසේ හැසිරේවිදැයි සිතා ගැනීමට අමාරු නැත. 

එය හොඳින් තේරුම් ගත හැක්කේ එදා බම්බලපිටිය ලංකා බැංකු ශාඛාව තුළ සිදූවූ සිදුවීමට අදාල මේ වනවිට සංසරණය වෙමින් පවතින වීඩියෝපයට නැරඹිමෙන් පමණය. 'රාජපක්ෂ උණ හා චණ්ඩිපාට්' එහි හොඳින්ම නිරූපිතය. බැංකුවක සේවකයන්ද යන්න සැකසිතෙන තරමට මේ අයගේ අශෝභන හැසිරීම එහි තිබේ. 

මෙවැනි දේවල් තවදුරටත් වුවහොත් හෙට ලංකා බැංකුවේ විනයට නම් රාජපක්ෂවරුන්ගේ පිහිට පමණමය.

(ඉඳුවර බණ්ඩාර - අනිද්දා පුවත්පතින්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්