වත්මන් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් ඇමරිකානු රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිව එරට සෙනට් සභිකයින්, කොන්ග්රස් සාමාජිකයින් සහ අනෙකුත් අදාළ රජයේ
නිලධාරීන් වෙත ඔබට සුදුසු යැයි සිතෙන පරිදි ඔබේ කනස්සල්ල ප්‍රකාශ කරන්නැයි ශ්‍රී ලංකා රජය විසින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඊ මේල් හරහා එම ඉල්ලීම කර ඇත.
එම ඉල්ලීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇති හංසි මුණසිංහ (Hansi Munasinghe) මෙසේ පවසයි.
''මේ විද්‍යුත් තැපෑල දැන් ලැබුණේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයෙන්. ඔවුන් උත්සාහ කරන්නේ ශවේන්ද්‍ර සිල්වා වටා ශ්‍රී ලාංකිකයන් බලමුළු ගැන්වීමට ය. එක්සත් ජනපදයේ මගේ අවුරුදු 10 කට ආසන්න කාලයක් තුළ මට ඔවුන්ගෙන් යම්කිසි සන්නිවේදනයක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි අතර එයත් ශවේන්ද්‍ර සිල්වා හට එක්සත් ජනපදයට ඇතුළුවීමට අයිතිය පිලිබඳවය.''
Hansi Munasinghe ගේ ට්විටර් සටහන හා තානාපති කාර්යාලයේ ඊ මේල් පණිවිඩය
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් යොමුකර ඇති ඊ මේල් පණිවිඩයේ මෙසේ සඳහන් වේ.
''එක්සත් ජනපද රජය විසින් යුදහමුදාපති හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ට හට සංචාරය කිරීමට සීමාවන් පැනවීම, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය සලකා බැලීමේදී අතිශය අවාසනාවන්ත තීරණයකි.
අමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ගෙන ඇති මෙම අවාසනාවන්ත තීරණය සම්බන්ධයෙන් සෙනට් සභිකයින්, කොන්ග්රස් සාමාජිකයින් සහ අනෙකුත් අදාළ රජයේ නිලධාරීන් වෙත ඔබට සුදුසු යැයි සිතෙන පරිදි ඔබේ කනස්සල්ල ප්‍රකාශ කරන මෙන් තානාපති කාර්යාලය අපේක්ෂා කරන්නෙමු.
මේ සම්බන්ධයෙන් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් අමුණා ඇත. වඩාත් ශක්තිමත් නඩුවක් ඉදිරිපත් කිරීම සඳහා පසුබිම් තොරතුරු ලෙස 2019 සැප්තැම්බර් 28 වැනි දින නිකුත් කරන ලද තවත් මාධ්‍ය නිවේදනයක් මෙහි අමුණා ඇත.''
යුධ හමුදාපතිට එරෙහි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ තීන්දුව ශ්‍රී ලංකා රජය කොතරම් බැරෑරුම් ලෙස සලකන්නේ ද යන කාරණය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙම මැදිහත්වීමෙන් ම පැහැදිලිවේ.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ චෝදනාව !
ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තහංචි පනවා ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියර වූ 2009 දී යුද හමුදාවේ 58 වැනි සේනාංකය විසින් නඩු නැති ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයේ යෙදීම සඳහා ඔහු විසින් විධාන වගකීම දැරූ බවට චෝදනා ඉදිරිපත් කරමිනි.
නව රජයේ විදෙස් ප්‍රතිපත්තිය තවත් දැඩිවේ
යුද හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය දැඩිව විරෝධය පළ කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (17) ඔහුව හමු වූ අමෙරිකාවේ ඩිමොක්රටික් පක්ෂයේ සහ රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයන් වෙත දැනුම් දී සිටියේය.
අදාල විරෝධය පිළිබඳව වොෂිංටන් පාලනය දැනුවත් කරන බව මෙරට අමෙරිකානු තානාපතිනියද අමාත්‍යවරයා හට පෙරේදා දැනුම් දී තිබුණි.
මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මියව පෙරේදාවිදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය ඇය වෙත පළ කර සිටියේය.
අමෙරිකාවේ ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් ඒමි බේරා සහ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජෝර්ජ් හෝල්ඩිං යන මහත්වරුන්ද ඊයේ පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වූ අතර අමාත්‍යවරයා එහිදීත් ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට අමෙරිකාව පැනවූ තහනම සම්බන්ධයෙන් රජයේ විරෝධය පළ කළේය.
''යුද අපරාධ කලේ ඇමෙරිකාව මිස ශවේන්ද්‍ර සිල්වා නොවේ'' - ගම්මන්පිල
මේ අතර 'පිවිතුරු හෙළ උරුමය' විසින් ඊයේ (17) කැඳවා තිබු මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ එම පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුයේ, යුද අපරාධ කර ඇත්තේ, ඇමෙරිකාව මිස ශවේන්ද්‍ර සිල්වා නොවන බවයි.
ඔහු එහිදී මෙසේද පැවසිය.
''කිසිම සාක්ෂියක් නැතුව හිතළු මත පදනම්ව රචිත දරුස්මාන් වාර්තාව පදනම් කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදය යුද අපරාධ චෝදනා එල්ල කරමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරලා තිබෙනවා. ශවේන්ද්‍ර සිල්වා වැරදිකරු වුණු අධිකරණය කුමක්ද? ශවේන්ද්‍ර සිල්වාට පමණක් මේ තහනම ගේන්න ශවේන්ද්‍ර තනියම කළ යුද අපරාධය කුමක්ද? ඇමෙරිකාව මේ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය යුතුයි.
ශවේන්ද්‍රට දඬුවම් දෙන්න ඔහු කළ එකම අපරාධය ඇමෙරිකාව පරාජය කරන්න බෑ කියා වර්ග කළ කොටි සංවිධානය පරාජය කරන්න තීරණාත්මක ලෙස දායක වීම ද? එතකොට ඇමෙරිකාව 2001 දී ත්රස්තවාදයට එරෙහිව ලෝක යුද්ධය නමින් ඇරඹුවේ බොරුවක් ද?
නිර්දෝෂි ශවේන්ද්‍රට යුද අපරාද චෝදනා නගන ඇමෙරිකාව තමයි ලොව අංක එකේ යුද අපරාධකරුවා. ජපානයේ හිරෝෂිමාවට පරමාණු බෝම්බයක් අත් හැරලා 80,000ක් අහිංසක මිනිසුන් මරා දාලා තවත් 70,000ක් තුවාල කළා. නාගසාකි නගරයට එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් 40,000ක් මරා දාලා 60,000ක් තුවාල කළා. දෙවන ලෝක යුද්ධය අවසන් වුණාම ඉතිරි බෝම්බ ඇමෙරිකාවට ගෙන යෑම වියදම්කාරි නිසා ඒ බෝම්බ ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් නගරයට ගුවනින් අත් හැරලා 25,000ක් මරලා දැම්මා. වියට්නාම් යුද්ධයේ දී අහිංසක ජනතාවට රසායනික අවි ප්‍රහාර ජීව විද්‍යාත්මක අවි ප්‍රහාර එල්ල කරලා වියට්නාම් ජාතිකයින් ලක්ෂ 38ක් මරලා දැම්මා.
ඒ විතරක් නොවේ ත්රස්තවාදයට එරෙහිව යුද්ධය කියලා බොරු චෝදනා මත ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරලා ලක්ෂ 15ක් මරා දැම්මා.
ඇත්තටම යුද අපරාධකාරයා ඇමෙරිකාවයි. ඇමෙරිකාව ලංකාවට යුද අපරාධ චෝදනා නගනවා කියන්නේ දැලි කුණු වැකුණු මුට්ටිය රිදී හට්ටියකට ඔබ කලුයි කියනවා වගේ වැඩක්. ඒ නිසා අපි ඇමරිකාවට කියනවා ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියලා.
ශවේන්ද්‍රට පෙර ඇමරිකානු තහනම ආවේ ෆොන්සේකාට ! - අදටත් ක්‍රියාත්මකයි !!
ශවේන්ද්‍රට පැනවූ තහනමේ දිගුවක් : ශ්‍රී ලංකාවට ඇමරිකානු යුධ ආධාර අත්හිටුවීමේ අවධානයමක් !
ශවේන්ද්‍ර ඇමරිකාව සමග 'ගේම' ඉල්ලයි: ‘ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නෑ-ඉල්ලන්නෙත් නෑ’ කියයි.
ඇමරිකාව යුද හමුදාපති ශවේන්ද්‍රට තහනමක් පැනවීම ගැන ශ්‍රී ලංකා රජයෙන් දැඩි ප්‍රතිචාරයක්!