දේශීය මෙන්ම ආනයනික පාරිභෝගික භාණ්ඩවල මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති මෙවැනි මොහොතක ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලේ අඛණ්ඩ අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදීමෙන් සිදුව ඇත්තේ ජනතාව තවත් පීඩාවට පත්වීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු එබව කියා සිටියේ ස්ථාවර නියෝග 27(2) යටතේ ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රශ්න කිහිපයක් යොමුකරමිනි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් පහත වැටී තිබෙන තත්වයක එහි වාසිය මෙරට පාරිභෝගිකයාට ලබා දීමට රජය ක්‍රියා නොකිරීමෙන් පැහැදිලි වන්නේ ආර්ථිකය කළමනාකරණය කිරීමට රජයට ඇති නොහැකියාව බව එහිදී පැවසු විපක්ෂ නායකවරයා තවදුරටත් මෙසේ සඳහන් කළේය.

''ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අඩුවන අවස්ථාවලදී දේශීය ඉන්ධන මිල ගණන් අඩු කොට භාණ්ඩ හා සේවාවන්හී මිල ගණන් මනා පාලනයකින් යුක්තව පවත්වා ගෙන යමින් ජනතාවට සහන ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක්  පසුගිය රජය සමයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. 

හැකි සෑම විටම ජනතාවට සහන ලබා දී ඔවුන්ගේ ජීවන වියදම පාලනය කිරීමත්, ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමත් එහි ප්‍රධානතම අරමුණු බවට පත් විය.

මෙම රජය බලයට පත්වීමෙන් අනතුරුව මේ වන තෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට කටයුතු කොට නොමැති අතර, 2020 ජනවාරි මස 15 වෙනි දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කර සිටියේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් ඉහළ ගියහොත් දේශීය ඉන්ධන මිල තවත් ඉහළ දැමීමට සිදුවන බවයි.

''ආර්ථිකය කළමනාකරණය කිරීමට රජයට ඇති නොහැකියාව ''

කෙසේ වුවද, නව කොරෝනා වෛරසයේ බලපෑම මත ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් පහත වැටී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන අන්දමට විශේෂයන්ම පසුගිය මාසය තුළ සැළකිය යුතු ප්‍රමාණයකින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් පහත වැටී තිබෙනවා. 

මිල ගණන් පහත වැටීම කෙතරම්ද කිවහොත් ස්ථාවර මිලක් පවත්වා ගැනීමේ අරමුණින් ඔපෙක් සංවිධානය තෙල් සැපයුම සීමා කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කොට තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කරන ලද 2019 සැප්තැම්බර් මස 10 වෙනි දිනට සාපේක්‍ෂව 2020 පෙබරවාරි මස 14 වෙනි දින වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 62.65 සිට ඇ.ඩො. 56.41 ක් දක්වා 10% කින් පහත වැටී ඇති අතර සිංගප්පූරු වෙළඳපොලේ පෙට්‍රල් බැරලයක මිල 5.9% කින්ද, ඩීසල් බැරලයක මිල 11.8% කින්ද පහත වැටී තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් යටතේදී හෝ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලබා දීමට රජය ක්‍රියා නොකිරීමෙන් පැහැදිලි වන්නේ ආර්ථිකය කළමනාකරණය කිරීමට රජයට ඇති නොහැකියාවයි. 

දේශීය මෙන්ම ආනයනික පාරිභෝගික භාණ්ඩවල මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති මෙවැනි මොහොතක ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලේ අඛණ්ඩ අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදීමෙන් සිදුව ඇත්තේ ජනතාව තවත් පීඩාවට පත්වීමයි. 

එසේම, ඉන්ධන මිල මෙලෙස පවත්වාගෙන යාමෙන් ගම්‍ය වන්නේ රජය පාර්ලිමේන්තු මැතිවරණය තෙක් ඉහළ මිල ගණන් පවත්වාගෙන ගොස් මැතිවරණ සමය එළඹෙත්ම මිල ගණන් අඩු කිරීමක් සිදු කොට මැතිවරණයේදී අයුතු වාසියක් ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

 
මෙම තත්ත්වය යටතේ පහත කරුණු පිළිබඳව රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙමි.
 
1) දැනට මාසයකට වැඩි කාලයක් මුළුල්ලේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අඛණ්ඩව පහත වැටෙමින් තිබුනද, මෙතෙක් එම වාසිය ජනතාවට ලබා නොදීම රජයේ දුර්වල ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඑලයක් බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඉන්ධන මිල ගණන් මෙතෙක් පහත නොදැමීමට හේතු මොනවාද?

2) ලෝක වෙළඳපොලේ වර්තමාන ඉන්ධන මිල ගණන් සැසඳීමේදී අවම තරමින් ඩීසල් ලීටරය රු. 104/- සිට රු. 91.92/- දක්වාත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රු.137/- සිට රු. 124.30/- දක්වාත්, භූමිතෙල් ලීටරය රු. 70/- සිට රු. 58.80/- දක්වාත්
අඩු කොට ජනතාවට සහනයක් ලබා දීමේ හැකියාව පවතින බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඒ මන්ද?

3) ඉන්ධන මිල ගණන් පහත දැමීම ජාතික වගකීමක් බැවින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටීමට සාපේක්‍ෂව වහාම දේශීය ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය කටයුතු කරන්නේද? එසේ පහත දමන්නේ නම් කොපමණ ප්‍රමාණයකින්ද? එය ඉටු කරනු ලබන දිනය කවදාද?

4) රජය විසින් ඉන්ධන මිල අඩු කොට ජනතාවට සහනයක් ලබා නොදී අයුතු ලාභයක් ලබමින් කටයුතු කිරීම ජනතාවගේ ජීවන වියදම දරා ගත නොහැකි මට්ටමකට පත් වීමට හේතු වන බවත්, ජනතාව හා ව්‍යාපාර මත අනවශ්‍ය බරක් පැටවීමක් බවත්, එම තත්ත්වය සමස්ත ජන සමාජයටම අහිතකර අන්දමින් බලපාන බවත් රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඒ මන්ද?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image