ලොව පුරා රටවලට මැතිවරණ වසරක් ලෙස සැලකෙන 2024 වසර ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද මැතිවරණ වසරකි.


1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුකූලව වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපති ධූරය දරන ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමි ධූර කාලය තව මාස කිහිපයකින් අවසන් වන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වසරේ දී ජනාධිපතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු පත් කරගත යුතු ය.

ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවයන් ද ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ පක්ෂ විසින් දැඩි උනන්දුවකින් බලා සිටින අවස්ථාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් 2024 මැයි 28 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය වසර දෙකකට කල් දැමිය යුතු බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ සියල්ල සහය දිය යුතු බවත් ය.

 

එම ප්‍රකාශය කිරීමත් සමඟ මේ වන විට ජනාධිපතිවරණය කල් දැමීම පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර බොහෝ දෙනා එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් බවට අදහස් දක්වා තිබේ.

දේශපාලන පක්ෂ රැසක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර සිවිල් සංවිධාන කිහිපයක් ද මෙම ප්‍රකාශය හෙලා දැක් තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කල් දැමීමට හැකියාවක් තිබේ ද? එසේ නම් එය කළ හැක්කේ කෙසේ ද? පුරවැසියන් වශයෙන් ඔබට කළ හැකි දේ කුමක් ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයාබැලීමකි.

ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කල් දැමීමට හැකි ද?

 

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කල්දැමීමට කිසිඳු ප්‍රතිපාදනයක් ලබා දී නැතැයි බීබීසී සිංහල විසින් කළ විමසීමක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය අතුල විතානවසම් පෙන්වා දුන්නේ ය. ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කල් දැමීම කළ නොහැකි බව ය.


"1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණ විදිහට පාර්ලිමේන්තුවත්, ජනාධිපතිවරයාත් මැතිවරණයකින් ඔවුන්ට හිමි වූ වසර හයක ධූර කාලය අවසන් වූ විට ඒවා ස්වභාවිකව විසිරුණා කියලා සලකනවා. ධූර කාලය අවසන් වුණාට පස්සේ ධූරය ස්වභාවිකව ම නැතිවෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේක වසර පහක් දක්වා අඩු කළා. ඒක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක දක්වලා නෑ මැතිවරණ කල් දැමීමට පුළුවන් කියලා," ආචාර්යවරයා පෙන්වා දුන්නේ ය.


මැතිවරණ පැවැත්විය යුතු ඇයි ?

මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ යතුර ලෙස හැඳින්වීමට හැකිය. අතීතයේ පැවති සෘජු ප්‍රජාතන්‍රවාදී පාලන ක්‍රමවල දී පුරවැසියන්ට සෘජුව තම මතය තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණි. නමුත් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය, එසේත් නැතිනම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දී සිදුවන්නේ මැතිවරණයක් හරහා පුරවැසියන් විසින් තෝරාගන්නා මහජන නියෝජිතයන් විසින් පුරවැසියන්ගේ අභිලාශ ක්‍රියාවට නැංවීමය.

ආචාර්ය අතුල විතානවසම් පෙන්වා දෙන්නේ කලින් කලට පවත්වන මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක මූලික පදනම බවයි. "කලින් කලට පවත්වන මැතිවරණ, එහෙමත් නැතිනම් අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන Periodical Elections කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක මූලික පදනම. මේ විදිහට කලින් කලට මැතිවරණ පවත්වන්නේ නැතිනම් එතැන ජනතාවගේ මතය නිරූපණය වෙන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ වසර පහක ධූර කාලය අවසන් වූ වහාම මැතිවරණ පැවැත්වීම සිදු කළ යුතුයි."

"ජනාධිපතිවරණය කල් දැමීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්"

මැතිවරණ කල් දැමීමට අවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී නොමැති අවස්ථාවක දී එය කල් දැමීමට උත්සහ කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ආචාර්යවරයා පෙන්වා දෙයි.

"වර්තමාන ජනාධිපතිවරයා කියන්නේ මහජන ඡන්දයකින් පත්වුන ජනධිපතිවරයෙක් නොවෙයි. ඔහු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වුණාට පසුව පාර්ලිමේන්තුවේ ඡන්දයකින් පත් වුණ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඔහු වැඩබලන ජනාධිපතිවරයෙක් කියලා අපට හඳුන්වන්න පුළුවන්. ව්‍යවස්ථාවේ 40 (1) (අ ) වගන්තියේ දක්වලා තිබෙනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට ධූරයේ සිටින්න පුළුවන් කලින් හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය විතරයි කියලා."

 

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙකුට කරන්න පුළුවන් දේවල් සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට කරන්න පුළුවන් දේවල් අතර වෙනසක් තියෙනවා. 31 (3) (ඉ) වගන්තියට අනුව ඉහත ආකාරයට අනුප්‍රාප්ත වන තැනැත්තෙකුට වැඩි ධූර කාලයක් සදහා තවදුරටත් ධූරය දැරීම පිණිස ජනතාව වෙත ආයාචනය කිරිමට බලයක් නෑ. ජනාධිපතිවරයා එහෙම කරනවා නම් එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්," ආචාර්ය අතුල විතානවසම් පැහැදිලි කළේ ය.


එනිසා බැවින් වර්තමාන ජනාධිපතිවරයා ගේ ධූර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ ජනාධිපතිවරණය පැවැත්වීම කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

1982 මාමාගේ උපාය 2024 දී පුතාට ගලපන්න පුළුවන් ද?

dgsrrtfds

ජනධිපතිවරණය කල් දැමීමක් සිදුවන්නේ නම් එය සිදු කළ හැකි ආකාරය පිළිබඳව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. එම කොටස පහතින් උපුටා දක්වා තිබේ.

 "ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව අනුව එවැනි සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වේ. (මන්ත්‍රීවරුන් 150 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම) පසුව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වේ. තුනෙන් දෙකක බලයක් නැතිව එවැනි පනතකට ජනමත විචාරණයකට යා නොහැක."


1977 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ධූර කාලය තවත් වසර හයකින් දීර්ඝ කරගැනීම සඳහා 1982 වසරේ දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් කැඳවූ ජනමත විචාරණය එසේත් නැතිනම් "ලාම්පු කළගෙඩි ඡන්දය" ලෙස ප්‍රසිද්ධ මත විමසීමෙන් බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව සිය ධූර කාලය වසර හයකින් දීර්ඝ කරගන්නා ලදි.

 

මැතිවරණ කල් දැමීමට ජනමතවිචාරණය?

ආචාර්ය අතුල විතානවසම් ද පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය කල් දමනාව නම් එය සිදු කළ හැකි වන්නේ 1982 දී ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයට බවයි. "මුල් ව්‍යවස්ථාවේ කිසිම තැනක ජනමතවිචාරණයක් මැතිවරණ කල් දැමීමට යොදාගත හැකියි කියලා සඳහන් වන්නේ නෑ. වර්තමානයේ වුණත් ජනමතවිචාරණ ප්‍රතිපාදන වල කිසි තැනක එය මැතිවරණ කල් දැමීමට යොදාගත හැකි බව සඳහන් වෙන්නේ නෑ. ඒ කියන්නේ මැතිවරණයක් සහ ජනමතවිචාරණයක් කියන්නේ පැහැදිලිවම දෙකක්."

"1982 දී තවත් වසර හයකින් තමන්ගේ බලය දීර්ඝ කරගන්න ජේ.ආර් ජයවර්ධන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුන්වන සංශෝධනය ගෙනැවිත් ඒ පැවැත්වීමට නියමිත මහමැතිවරණය කල් දැමීමට අදාලව ඒ අවස්ථාවේ ජනමතවිචාරණයක් පැවැත්වීමට අදාලව ව්‍යවස්ථා සංශෝධනයක් කළා. ඒ අනුව තමයි එය සිදුවුණේ. මෙවරත් ජනමතවිචාරණයක් කැඳවලා බලය දීර්ඝ කරගන්නවා නම් ඊට පෙර ව්‍යවස්ථා සංශෝධයකින් මැතිවරණ කල් දැමීමට ජනමතවිචාරණය පවත්වනවා කියලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කරගන්න අවශ්‍යයි," ඔහු පෙන්වා දුන්නේ ය.

"කෙසේනමුත් ජනාධිපතිවරයා මතක තබාගත යුතුයි තමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් මිස ජනතාවගේ පරම බහුතරයකින් පත්වුණු කෙනෙක් නෙවෙයි කියලා. එවැනි කෙනෙක්ට 31 (3) (ඉ) වගන්තියට අනුව ධූර කාලයට වැඩි කාලයක් ලබා දෙන්න කියලා ආ‍යාචනා කරන්න බෑ."

එපමණයක් නොව යම් හෙයකින් ඉහත කී ආකාරයට ජනමතවිචාරණයක් පවත්වන්නේ නම් එහි වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවේ 50%ක ප්‍රතිශතයක් යෝජනාවට පක්ෂව ලැබුණොත් පමණක් ධූර කාලය දීර්ඝ කළ හැකි බව ඔහු පවසයි.

පුරවැසි ඔබට කළ හැකි කුමක් ද?

මැතිවරණ කල් දැමීමට අදාලව ජනමතවිචාරණයක් පවත්වනු ලැබුවහොත් එහි දී සිය විරෝධය පළ කර තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට පුරවැසියන්ට හැකි බව ආචාර්ය අතුල විතානවසම් කියා සිටියේ ය. "පුරවැසියන්ට පුළුවන් ජනමතවිචාරණයේ දී මැතිවරණය කල් දැමීමට තමන් විරුද්ධයි කියලා ඡන්දය පාවිච්චි කරලා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගන්න. ඊට කලින් මේ වගේ යෝජනා ඉදිරිපත්වෙන මේ වගේ කාලයේ දී ජනතාව දැනුවත් වෙලා මේ ගැන සංවාද කරලා මෙවැනි යෝජනා මුල් අවස්ථාවේ දී ම බිඳලා දාන්නත් පුළුවන්."

ආචාර්යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ජනමතවිචාරණයකට ගිය හොත් ඔහුට ජය ගැනීමට අපහසු වනු ඇති බවයි. "මේ වෙනකොට ජනාධිපතිවරයාට විරුද්ධ පක්ෂ සියල්ල මේ යෝජනාවට විරුද්ධ වෙලා තියෙනවා. ඔවුන් වෙන වෙනම ජනාධිපතිවරණයට තරග කළාට මේ කාරණයෙදි එක පාර්ශවයක් බවට පත්වෙනවා. ඒ වගේ ම පුරවැසියන් කැමති වෙන්නේ නෑ තමන් විසින් ම තමන්ගේ අයිතිය නැති කරගන්න"

පාර්ශව රැසක විරෝධය

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි විසින් මැයි 28 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගේ ප්‍රකාශය දැඩිව හෙළා දකින ලදි. ඔහු එහි දී කියා සිටියේ මෙම යෝජනාව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමක් බවයි.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් ද මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට සිය X සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබේ.

 

අද දින (මැයි 29) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම කැමතිවුවත් මැතිවරණය කල් දැමීමට නොහැකි බවයි."පාර්ලිමේන්තුවේ 225 ම මේක අත ඉස්සුවත් මේක ව්‍යවස්ථාවට අනුව, නීතියට අනුව කරන්න පුලුවන් දෙයක් නොවෙයි. ජනතා පරමාධිපත්‍ය අතහරින්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍ය ජනතාව භුක්ති විදිය යුතු දෙයක්. මූලික අයිතිය පැහැරගැනීමට කිසිම අයිතියක් නෑ.මේ කලේ මුට්ටිය දාලා බැලීමක්."


මෙම යෝජනාව හෙළා දකින බවත්, මෙම මැතිවරණය කල්දැමීමට උත්සාහ කළහොත්, එයට විරුද්ධව මහජනතාව පෙළගස්වා,අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් පසුබට නොවන බවත් මහාචාර්යවරයා එහි දී ප්‍රකාශ කළේය.

(BBC සිංහල සේවය)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්