සිංහල බෞද්ධ මව්වරුන් 4000 කට අධික පිරිසක් වඳභාවයට පත් කළ බව කියන මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු පිළිබඳව මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පතේ

පළවූ ප්‍රධාන පුවත හා ඉන් පසුව ඇතැම් මාධ්‍ය වල පලවී ඇති වාර්තා හේතුවෙන් සිසේරියන් සැත්කම් වලට භාජනය වීමට නියමිතව සිටින මව්වරුන් භීතියට පත්ව සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

'දිවයින' පුවත මගින් අනාවරණය කල කුරුණෑගල රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා අයථා වත්කම් ඉපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මේවනවිට අත් අඩංගුවට ගෙන සිටියි.

'දිවයින' පුවත්පත් වාර්තාව හා ආණ්ඩු විරෝධී මාධ්‍ය විසින් ගෙනයන ප්‍රචාර හමුවේ ගර්භනී මව්වරුන් බියට පත්ව ඇති ආකාරය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිබිරියගම බණ්ඩාර සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.

 Thimbiri Post

'දිවයින' හෙළිදරව්ව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ පුළුල් කතිකාවක් ආරම්භවී ඇති අතර එසේ පලවී ඇති පොස්ටුවක මෙසේද සඳහන් වේ.

''ගර්භනී මාතාවනි, ඔබගේ ප්‍රතිකාර සඳහා සිංහල VOG වරු වෙත යොමුවන්න. ඔවුන් කිසිවිටෙක ඔබගේ පැලෝපිය නාලය වසා නොදමනු ඇත. ''

post Racism 

 

දේශපාලන උවමනාව හදුනාගන්න..

ඒ සම්බන්ධයෙන් සමාජ මධ්‍යයක පලවන තවත් පොස්ටුවක මෙසේ සඳහන්වේ.

''නෙත් ඕපාදූප කාරයන්ට අනුව "පැමිණිලි කන්දක්" යනු පැමිණිලි තුනකි.?.එයද "අද" පුවත්පතෙන් උපුටා ගත් පුවතකි.. එහි සත්‍යතාව මොවුන් දන්නේ නැත.. අනුන්ගෙන් ගත් පුවතක් "කන්දක්" කොට ඉදිරිපත් කිරීමකි.. තමන්ගේ දෙවන දරු උපත ප්‍රමාද වන්නේ කවර හේතුවක් නිසා දැයි මේ කන්තාවන් සායනික පරීක්ෂණයක් සිදුකොට ද නැත..එහෙත් වරද කරුවා සොයාගෙන අවසන්‍ ය..? මේ මාධ්‍ය සමාජයට කරන බලවත් අනතුර පිටුපස ඇති දේශපාලන උවමනාව හදුනාගන්න..''

 

'දිවයින' හේමන්ත රන්දුණුගෙන් පාපොච්ඡාරණයක්!

සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් පුවත සකස් කිරීම සඳහා තමන්ට තොරතුරු ලබාදුන්නේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් බව දිවයින පුවත්පතේ "ප්‍රවීණ මාධ්‍යවේදී" හේමන්ත රන්දුණු මහතා ආරක්ෂක අංශ වෙත පාපොච්ඡාරණයක් කරමින් ප්‍රකාශ කර ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' පුවත් වෙබ් අඩවිය අනාවරණය කරයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන්වේ.

''මෙවැනි වෛද්‍යවරයකු සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකෙරුණු අවස්ථාවක එවැන්නෙකු ගැන විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සතියක් තිස්සේ විමර්ශනයක් කරන බවට හේමන්ත රන්දුණු මහතා විසින් සිය පුවතේ සඳහන් කර තිබුණු අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

මේ විමර්ශනය ඉදිරියට යද්දී දිවයින පුවත්පතේ පාලනාධිකාරියට සහ ආරක්ෂ අංශ නිලධාරීන් වෙත හේමන්ත රන්දුණු මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුවත සකස් කිරීම සඳහා තමන්ට තොරතුරු ලබාදුන්නේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් බවය.

මෙම කිත්සිරි ජයලත් මහතාගේ බිරිඳ කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් බවත් ඇය රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතාගේ ගෝලයකු වේ.

ඒ අනුව කතාව ගෙතුණු ආකාරය සහ නීතිමය බලාධිකාරියක් නොමැතිව අයථා වත්කම් චෝදනාවක් යටතේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නම් වෛද්‍යවරයාව අත් අඩංගුවට ගැනීමේ නාටකය රඟ දැක්වුණු ආකාරය පිළිබඳ තහවුරු කිරීමක් හේමන්ත රන්දුණු මහතා විසින්ම සිදු කර තිබේ.

 

කිත්සිරි ජයලත්ගේ ඉතිහාසය:

කිත්සිරි ජයලත් යනු පෑලියගොඩ පොලිසියට කොස්තාපල්වරයකු ලෙස පත්වීම් ලැබ එක්වරම සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස්වීම් ලැබූ අයෙකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිධුරය දරන යුගයේ 1998 සිට 2002 වසර දක්වා පොලිස්පති තනතුර දැරුවේ බී. එල්. වී. එස්. කොඩිතුවක්කු මහතා විසිනි. ඔහු වත්මන් නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පියාය.

පොලිස්පති බී. එල්. වී. එස්. කොඩිතුවක්කු මහතා යටතේ නියෝජ්‍ය පොලිස්පති (බඳවා ගැනීම්) තනතුර දැරුවේ වර්තමානයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ පියාය.

මේ පියවරුන් දෙදෙනාටම තමන්ගේ පුතුන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක් කිරීමට වුවමනා වී තිබුණත් රන්මල් කොඩිතුවක්කු සහ නාලක ද සිල්වාට උපාධි තිබුණේ නැත. ඔවුන් දෙදෙනාටම තිබී ඇත්තේ පිහිනීම පිළිබඳ ඩිප්ලෝමා සහතික පමණි.

ඒ අනුව ඔවුන් දෙදෙනාව සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස සේවයට බඳවා ගැනීමේ "වංගු" ක්‍රමවේදයක් පියවරුන් විසින් සකස් කෙරුණු අතර එවකට කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරමින් සිටි කිත්සිරි ජයලත් තරුණයාට ද රන්මල් සහ නාලකගේ පහනින් එළිය බලමින් ASP පට්ටම ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

 

රන්දුණුගේ පොලිස් සම්බන්ධතා:

හේමන්ත රන්දුණු මාධ්‍යවේදියාට ද පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඉහළම මට්ටමේ සම්බන්ධතා තිබී ඇත්තේ අද ඊයේක සිට නොවේ. 2004 - 2006 වසරවල පොලිස්පති තනතුර දැරූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතාව එම තනතුරට පත්වූ මුල් දිනවල පොලිස් දෙපාර්තමේන්තුව තුළම හඳුන්වා තිබුණේ "රන්දුණුගේ IGP" යනුවෙනි. චන්ද්‍රා ප්‍රනාන්දු මහතාව තනතුරට ගෙන ඒම සඳහා එතරම් කාර්යභාරයක් හේමන්ත රන්දුණු මහතා විසින් කර තිබිණි.

අපගේ මාතෘකාවට සෘජුවම අදාළ නැතත් මේ කරුණු ද අප සටහන් කළේ සිද්ධීන් සිදුවන ආකාරය පිළිබඳ වටහා ගන්නට මේවාත් ඉවහල් වන නිසාය. සිද්ධියේ පසුබිම මේවා හරහාත් පැහැදිලි වන නිසාය. තවත් ඕනෑ තරම් කරුණු අප සතුව තිබෙන බවත් සිහිපත් කළ යුතුය.

 

රෝහල් අධ්‍යක්ෂට එරෙහිවත් විමර්ශන:

Sarath Weerabandara

මේ අතර ජාති ආලය උතුරා යාම නිසා ආයතන සංග්‍රහය අමතක කරමින් අමාත්‍යාංශයේ අවසරයකින් තොරව නිල මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රාජ්‍ය නිලධාරියකු මාධ්‍ය හමුවක් පවත්වන්නේ නම් ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව අදාළ අමාත්‍යාංශයෙන් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතුය. එහෙත් සරත් වීර බණ්ඩාර මහතාගේ ජාති ආලය සහ තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂ ආලය ඉහවහා ගොස් තිබුණු බැවින් ඒ කිසිවක් නොසලකා වෙනත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් වෛද්‍යවරයකුට වෙනත් චෝදනා ඇතැයි පවසා එම චෝදනාවලට අදාළව පැමිණිලි ඉදිරිපත් කරන මෙන් මාධ්‍ය හමුවක් පවත්වා ආරාධනා කර තිබිණි.

ජාති ආලයේ උත්කර්ෂය බැස ගිය පසුව නිවී හැනහිල්ලේ මේ පිළිබඳව අමාත්‍යාංශයට පිළිතුරු බැඳීමේ අවස්ථාව දැන් ඒ මහතාට හිමිව තිබේ.

 

සහාබ්දීන්ගේ ආදායම්:

විදෙස් රැකියා සඳහා පිටව යන ශ්‍රමිකයින් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. එවන් වෛද්‍ය සහතික නිකුත් කරන වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් වෛද්‍ය සහාබ්දීන් සාෆිට අයත්ව ඇති බව සඳහන්වේ.

කුරුණෑගල යනු ශ්‍රී ලංකාවේ විදෙස් රැකියා අංශයේ කේන්ද්‍රස්ථානයයි. සහාබ්දීන් වෛද්‍යවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථා දෙකට දෛනිකව 100කට වැඩි පිරිසක් වෛද්‍ය සහතික ලබාගැනීම සඳහා පැමිණෙන බවත් එක් අයකුගෙන් රුපියල් 8,000ක පමණ මුදලක් අය කෙරෙන බවත් වාර්තා විය.

ඒ අනුව වෛද්‍ය සහාබ්දීන්ට මෙම වෛද්‍ය මධ්‍යස්ථාන දෙකෙන් පමණක් දිනකට ලැබෙන ආදායම රුපියල් ලක්ෂ 8කි. එය සහාබ්දීන්ගේම අවුලකුත් නොව විදෙස්ගත වන ශ්‍රමිකයින් සූරාකෑම සඳහා ශ්‍රී ලංකාව තුළ සකස් කර තිබෙන ක්‍රමවේදයේ හැටියකි.

කෙසේවෙතත් වෛද්‍ය සහාබ්දීන් යනු ද සුදු චරිතයක් නොවන බවත් වචනයෙන්ම කිවහොත් ඔහු අශූචි ගොඩේ සත පහක් තිබුණත් එයත් දිවෙන් අහුලා ගන්නා වර්ගයේ පුද්ගලයකු බවත් කිව යුතුය. ඔහු වැරදි කර ඇත්නම් ඔහුට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

ඔහුට එරෙහිව මේ මොහොතේ ක්‍රියාත්මක වී සිටින චරිත ද ඔහු හා සමානම පුද්ගලයින් වන අතර ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ සහාබ්දීන්ව එතැනින් බිමට ඇද දමා ඔහුගේ ආදායම් මාර්ග අත්පත් කරගැනීමටය.

අපට ඇති ප්‍රශ්නය මේ වෙනුවෙන් ඉහළම පොලිස් නිලධාරීන් ද එක්ව සම්මත ක්‍රමවේදයට පිටින් නීතිය නැවීමත් ජාතිවාදය අවුස්සන මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් හරහා නීතිය නැවීම යටගසා රට තුළ ගින්නක් ඇවිළවීමට අවස්ථාවාදීන් උත්සාහ කිරීමත් ය.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්