ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දැනට පාලනය වී ඇති හැඩක් පෙනුණත් හදිසියේම තත්ත්වය බරපතල විය හැකි

බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

ලෝකය පුරා කොරෝනාවෛරසය පැතිරයාමත් සමඟ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ බලධාරීන් ද ආරම්භයේදී එය පැතිරයාම වැළැක්වීම සඳහා නිසි පියවර නොගත් නමුත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීමත්, රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේත් පොලිසිය සහ ආරක්ෂක අංශ දියත් කළ ක්‍රියාදාමයනුත් හේතුවෙන් තත්ත්වය තරමක් දුරට පාලනය කරගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට සමත් වී සිටී.

විශේෂයෙන්ම වෛරසය හේතුවෙන් අලුතෙන් රෝගීන් වාර්තාවීම අවප්‍රමාණ වීම සාධනීය තත්ත්වයකි.

 

විවේචනයට ලක්වූ ඇතැම් කරුණු : කොරෝනා මැඩලීමට තුනෙන් දෙකේ බලයක් !

කෙසේ වුවත්, විදේශවල සිට පැමිණි ඇතැම් ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය ප්‍රතික්ෂේප කිරීම, රාජකීය - ශාන්ත තෝමස් ක්‍රිකට් සැණකෙළිය නැවැත්වීමට බලධාරීන් පියවර නොගැනීම, ඇතැම් යාඥා මෙහෙය සහ ශ්‍රීපාද ඇතුළු වන්දනා චාරිකා අවලංගු නොකිරීම මෙන්ම ව්‍යසනයක් පෙනී පෙනී මහ මැතිවරණය අවලංගු නොකිරීම ද බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී තිබේ.

ඇතැම් දේශපාලනඥයින් ඇඳිරි නීතිය අවස්ථාවේ පවා දේශපාලන රැස්වීම් පැවැත්වීම මෙන්ම පිරිත් පැන් සහ මුව ආවරණ බෙදමින් දේශපාලන වාසි ගැනීමට තැත් කිරීමත්, වසංගතයක් අවස්ථාවේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් එය මැඩ පැවැත්වීම පිණිස තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටීමත් දෝෂදර්ශනයට ලක් විය.

 

ශ්‍රී ලංකාව උගත් පාඩම් සහ උගත හැකි පාඩම් :

කොවිඩ් 19 වසංගතය නිමා වී නැතත්, ශ්‍රී ලංකාව, ගතව ගිය සති කිහිපය ඇතුළත උගත් පාඩම් මොනවා ද? එවැනි වසංගතයකින් පවා නූගත් පාඩම් මොනවා ද?

 

රෝහල් ප්‍රමාණවත් ද?

දෙකෝටි විසි ලක්ෂයක පමණ ජනගහනයක් වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකාවේ ම රෝහල්වල පවතින්නේ පූර්ණ පහසුකම් සහිත අධිසත්කාර ඇඳන් 500 ක් පමණ බව තක්සේරු කර තිබේ.

කිසියම් ලෙසකින් ඉතාලිය, ප්‍රංශය හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් නොව බ්‍රිතාන්‍යයේ මෙන් තත්ත්වයක් මතු වුවහොත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව රහසක් නොවේ.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් 'ප්‍රජාත්නත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ' සංවිධානයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර කියා සිටියේ, කොවිඩ් 19 වසංගතයේ දෙවැනි වටයක් මතු වුවහොත් සෞඛ්‍ය සේවය බරපතල අර්බුදයකට මුහුණ දෙනු ඇති බවය.

විශේෂයෙන් ම වෙන්ටිලේටර් වැනි උපකරණ සොයාගැනීමේ ගෝලීය අර්බුදයක් පවතින බැවින් කඩිනමින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

 

"නිර්මාණශීලී විසඳුම් සොයාගන්න සමාජයක්"

හවායිහි උසස් අධ්‍යාපනය හදාරමින් සිටින 'ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සන්ධානයේ' අමාලි වෙලගෙදර බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, ආරක්ෂක කටයුතු සම්බන්ධ විශේෂ පනතක් යොදාගනිමින් බලධාරීන් හදිසි වෙන්ලේටර් නිෂ්පාදනය කිරීම සඳහා යොමු නොවන්නේ මන්දැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සංවාදයක් මතු වී පවතින බවය.

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ රෝහල්වල පවතින විද්‍යාගාරවල සෞඛ්‍යාරක්ෂිතභාවය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි යයි සෞඛ්‍ය සේවයේ නිරත මිතුරෙක් සඳහන් කළ බවත් අමාලි වෙලගෙදර කියා සිටියාය.

මේ අතර ස්කොට්ලන්තයේ ඩන්ඩී විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින කෞශල්‍යා හේරත් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින්, ශ්‍රී ලාංකිකයින් යනු දුෂ්කර අවස්ථාවලදී එකිනෙකාට උදව් කරගන්නා සමාජයක් බව පෙන්වා දුන්නාය.

''පහසුකම් අඩු වුණත් අපිට හොඳ සෞඛ්‍ය සේවාවක් තියෙනවා.
මිනිස්සු අරගල කරලා රැකගත්ත නිදහස් අධ්‍යාපනයෙන් බිහිකරපු අතිදක්ෂ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් පිරිසක් ඉන්නවා.
රටේ මිනිස්සු සෞඛ්‍ය සේවයට පවා සිය පෞද්ගලික වත්කම්වලින් අත්‍යාවශ්‍ය උපකරණ මිලදී ගෙන දෙනවා.
මේ නිසාම ලංකාවට මීට මුහුණ දීමට හැකියාව තිබෙනවා'' -කෞශල්‍යා හේරත්

"අපි ඉතාමත් නිර්මාණශීලී විසඳුම් ප්‍රජාවක් විදියට හොයාගන්නවා. පහසුකම් අඩු වුණත් අපිට හොඳ සෞඛ්‍ය සේවාවක් තියෙනවා. මිනිස්සු අරගල කරලා රැකගත්ත නිදහස් අධ්‍යාපනයෙන් බිහිකරපු අතිදක්ෂ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් පිරිසක් ඉන්නවා. රටේ මිනිස්සු සෞඛ්‍ය සේවයට පවා සිය පෞද්ගලික වත්කම් වලින් අත්‍යාවශ්‍ය උපකරණ මිලදී ගෙන දෙනවා.

Matiya Kulunaලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කරන පරිදි ප්‍රජාව නැතිනම් සිවිල් සමාජයට ශක්තිමත්ව ක්‍රියාත්මක වීමට අවශ්‍ය සම්පත් සහ බලය තිබෙන සමාජයකට මෙවැනි ආපදාවකට මුහුණ දීමට විශාල හැකියාව තිබෙනවා. මේ නිසාම ලංකාවට මීට මුහුණ දීමට හැකියාව තිබෙනවා," ඇය පවසන්නීය.

මේ අතර සමාජ ජාල ඔස්සේ අදහස් දක්වමින් ඇතැමුන් පෙන්වා දී තිබුණේ, නෙළුම් කුළුණ වැනි 'නාස්තිකාර' ඉදිකිරීම් සහ "ජාතික ආරක්ෂාව" වෙනුවෙන් කෙරෙන අධික වියදම් වෙනුවට රෝහල් සහ පාසල්වලට පහසුකම් ලබා දෙමින් ලාංකීය බලධාරීන් සමාජ ශුභසාධනය කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබුණේය යන්න කොරෝනාවෛරසය මගින් අපට කියා දෙන එක් ප්‍රබල පාඩමක් බවය.

 

"පැය 7ක පෝලිමක සිට, ළූණු ගෙඩියක් නොලැබ, දින දෙකක් ගිලන්ව සිටිමි"

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව සිය අත්දැකීම ගැන බීබීසී සිංහල සේවය වෙත සටහනක් එවමින් තරුණ ගත් කතුවරියක සහ ලේඛිකාවක වන අනුරාධා තිඹිරියාගම පවසන්නේ තමන් "පැය 7ක පෝලිමක සිට, ළූණු ගෙඩියක් නොලැබ, දින දෙකක් ගිලන්ව සිටි," බවය.

"උදෑසන 7ට ඇරීමට නියමිතව තිබූ සුපිරි වෙළෙඳසලක උදෑසන 7සිට හවස 2වන තෙක් පෝලිමේ සිටියෙමි. (ඇඳිරි නීතිය ඉවත් කරන වෙලාව ඒ අතර වෙනස් විය) ඒ නමුත් අප ඇතුළුවන විට කිසිඳු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ඉතිරිව නොතිබිණි. එළවළුවක් තබා ළූණු ගෙඩියක් හෝ මිරිස් කරලක්වත් නොතිබිණි. පැය 7කට වඩා සිටගෙන සිටියත් මිලදී ගැනීමට අවශ්‍ය වූ කිසිවක් හමු නොවුණි. ආහාර ද්‍රව්‍ය හිඟයක් හෝ ගෑස් හිඟයක් හෝ එළවළු හිඟයක් නොමැති බව ප්‍රවෘත්තිවල පුන පුනා කීවත්, ඒවා බෙදා හැරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති බව පැහැදිලිය. ආහාර හා ගෑස් ප්‍රශ්න නැගෙන්නට පටන්ගත් විට ඒවා නිවසට ගෙනත් දෙන බව කියවෙන විවිධ දැන්වීම් දැක ගත හැකිය. එහෙත් ඒවාටද ඉල්ලුම සැපයීමේ විශාල අර්බුදයක් ඇතිවී තිබෙන නිසා බොහෝ දෙනා තවමත් එම ගැටලු නොවිසඳී සිටිති," ඇය පවසයි.

Anuradha Thimbiriyagama

තවදුරටත් අදහස් දක්වන අනුරාධා තිඹිරියාගම: "20 වෙනිදා උදෑසන, එදින සවස ඇඳිරි නීතිය දමන බව දැනුම් දී තිබුණත්, දවල් 11, 12 වන විට සුපර්මාකට් වසා තිබිණි. ඉතිරි වී තිබූ සිල්ලර කඩවල ද ආහාර ද්‍රව්‍ය අවසන් වී තිබිණි. රාජකාරිවලට ගිය මා ඇතුළු බොහෝ දෙනාට, ඇඳිරි නීතිය දැමීමට නියමිතව තිබූ දෙදිනට තබා, එදිනෙදා මිල දී ගන්නා ද්‍රව්‍ය ලබා ගැනීමට ද ඉඩක් නොලැබිණි. සාමාන්‍යයෙන් ප්‍රොමෝෂන්ස් sms කර එවන සුපර්මාර්කට් එකකින්වත්, ඔවුන් එදින වේලාසන වසා දමන බවට පණිවිඩයක් එව්වේ නැත. Uber, pickme, ඩිලිවරි මෙන්ම ටැක්සි ද නවතා ඇති බව දුටුවේ, ඉන්ධන පිරවුම්හල් වසා ඇති නිසා මගීන් නංවා නොගෙන නිවෙස්වලට යන ත්‍රීවීල් රථ පැය බාගයක් පමණ උත්සාහ කර, ටැක්සියක් ගෙන්වා ගැනීමට ඇප් එක බැලූ විටය," යනුවෙන් ද සඳහන් කරන්නීය.

සෞඛ්‍ය සේවකයන්ගේත්, රාජ්‍ය අංශයේත්, පොලීසිය හා ආරක්ෂක අංශවල කැපවීම මේ අතර බොහෝ දෙනාගේ දැඩි ප්‍රසාදයට ලක් වී තිබේ.

 

වසංගතයෙන් මතු වූ මිනිසත්කම:

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් තරුණ නිළියක සහ ව්‍යවසායිකාවක වන මිචෙල් දිල්හාරා කියා සිටියේ එකමුතුව සටන් කළ බැවින් කොරෝනාවෛරසය පැතිරයාම මෙතරම් දුරට හෝ පාලනය කරගත හැකි වූ බවය.

"ආදරණීය රණවිරුවන්, ත්‍රිවිධ හමුදා නිලධාරිවරුන්, වෛද්‍යවරුන්, හෙද සේවයේ සියලු ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, පොලිස් නිලධාරිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සියලු ම පරිපාලන ක්ෂේත්‍රයේ, සියලු ම ජනමාධ්‍ය, තම ජීවිතය ද ගැන නොසිතා COVID -19 මුලින් උපුටන්න පෙළගැසුණු සියලු නිලධාරිවරුන් ද, සමාජ ජාලා එකමුතුවෙන් මේ වන විට විශාල ප්‍රගතියක් අනෙකුත් රටවලට සමාන්තරව ලබා ගැනීමට අපේ රටට හැකි වුණා," යනුවෙන් මිචෙල් දිල්හාරා සඳහන් කළාය.

Michel Dilhara

"නිරෝධායනයට පත්වූවන් විශාල ප්‍රමාණයක්, සතුටින් තම නිවෙස්වලට නැවත පිටත් කිරීමට තරම් අපේ රට වාසනාවන්ත උනා. මෙතරම් අවදානම් තත්ත්වයක් යටතේදීත් මහජනතාව Face mask මහමින් සහෝදර ජනතාව වෙත බෙදන හැටි මන් දැක්කා. එක්තරා පොළක සම්පූර්ණ එළවළු නොමිලේ බෙදනවා මන් දැක්කා. ඒ අතින් මගේ රට ආසියාවේ ආදරණීය ම රටක්."

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඉංජිනේරුවරියක සහ කලා ශිල්පිනියක වන ශානිකා සෝමතිලක ද මිනිසත්කම විදහා දැක්වෙන අපූරු ඡායාරූපයක් පළ කර තිබුණි.

Shanika Somathilaka

කෙසේ වුවත් නිරෝධායන වැඩපිළිවෙළ ගැන ලේඛිකා අනුරාධා තිඹිරියාගම දරන්නේ මෙවැනි අදහසකි.

"මෙම මුළු තත්ත්වය ම වැරදි ලෙස ජනතාව අතරට ගොස් ඇති බව පෙනෙන්නේ නිරෝධායනයට ලක් නොවී සැඟවෙන්නට පෙළඹුණු මිනිසුන්ගෙන් පමණක් නොව, සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු මිනිසුන් පවා පොලීසියෙන්, මාධ්‍යවලින් ප්‍රශ්න කෙරෙන, කොන් කෙරෙන තත්ත්වයෙනි. ඇඳිරි නීතිය කඩ කළ මිනිසුන්ට අමානුෂික ලෙස බැන වදින, පහර දෙන පොලිස් නිලධාරීන්ගේ සිට, රෝගීන් සංඛ්‍යාවත් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ සංඛ්‍යාවත් සසඳමින් පරිභව කාර්යයේ නිරත වන සමාජ මාධ්‍ය ප්‍රජාවත්, පසුවන්නේ කොරෝනා මිත්‍යා තත්ත්වයකය. එලෙස අපහාසයට ලක්වූ බොහෝ අහිංසක මිනිසුන්, යම්කිසි හේතුවක් නිසා නිවසින් එළියට බැස තිබෙන බව සිතීමට හෝ විමසීමට තරම් සමාජය ඉවසිලිමත් නැත," ඇය පවසන්නීය.

 

ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ 'ජාවාරම්'

ආපදා අවස්ථාවේ ජනාධිපතිවරයා ලබා දුන් සහන මල්ල අගය කරන අමාලි වෙලගෙදර, කෙසේ වුවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් බැට කන 20,000 කට ආසන්න කාන්තාවන්ට සහනයක් නොලැබීම කනගාටුදායක තත්ත්වයක් බවය.

ආපදා අවස්ථාවක සිය මඩිය තරකර ගැනීමට සැරසෙන ජාවාරම්කරුවන් ගැන ද ලේඛිකා අනුරාධා තිඹිරියාගම පෙන්වා දුන්නාය.

"work at home jobs රැල්ලක් ෆේස්බුක් හරහා ව්‍යාප්ත වෙමින් පවතී. ඉතා විශාල දැන්වීම් සංඛ්‍යාවක් මතු වෙමින් තිබේ. පවසන රැකියාව කුමන ආකාරයේ වුවත් ඒවා සියල්ලේ ඇති පොදු ලක්ෂණයක් වන්නේ ආරම්භක ගාස්තු, දෛනික ගාස්තු ඇතුලත් වීමය. මේවාට ඇප් එකක් බාගත කළ යුතුය, ඒවායින් මුදල් අය කර ගැනේ. එම ඇප්ස්වල රිවීව්ස් කියවූ විට කාරණය වටහා ගත හැකිය. මිනිසුන් මේ තරම් අවිනිශ්චිත, අපහසු කාලයක් ගත කරමින් සිටින විට මෙවැනි ප්‍රෝඩා ව්‍යාප්ත වීම ඉතා කණගාටුදායකය."

රජය, සාමාන්‍ය ජනතාව මෙන්ම වෘත්තිකයන් ද මේ අවස්ථාවේ "අතිශය ව්‍යාකූල හැසිරීමක් පෙන්නුම් කරන" බව ඇයගේ අදහසය.

"එකිනෙකට පරස්පර උපදෙස් වෛද්‍යවරුන්ගෙන් පවා මුදාහැරේ,
මාධ්‍යවල සංසරණය වේ. මුඛ ආවරණ පිළිබඳ විසංවාදය
එක් උදාහරණයක් පමණි."

"ඇඳිරිනීතිය යනු සුදුසු පිළිතුර නොවන බව, තීරණ ගන්නන් හෝ පොදු සමාජය සැබැවින් වටහාගෙන නැත. ඇසෙන, දකින ඕනෑම දෙයක් ඔහේ ප්‍රචාරය කිරීමට ජනතාව පෙළඹී ඇත. ලෝකයටම අලුත් ගැටලුවක් ඉදිරියේ විමසිලිමත්ව, සානුකම්පිතව සහ අපේක්ෂාසහගතව කටයුතු කිරීම, කිසිවක් නොදැන සියල්ල දත් සේ එකිනෙකාට පරිභව කරගන්නවාට වඩා වැදගත් බව පෙනේ. නිහඬව, වීදි සතෙකුට වතුර ස්වල්පයක් හෝ තබා එන මිනිසෙකුගෙන් ඊට වඩා විශාල කාර්යයක් ඉටු වන බව සිතමි.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image