යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ගෙන යන දීර්ඝතම අඛණ්ඩ අරගලයට නායකත්වය දෙන
නැගෙනහිර පළාතේ දෙමළ මාතාවක් ත්‍රස්ත පොලිසියට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම උතුරු නැගෙනහිර දෙපළාතේ යුද වින්දිත මාතාවන්ගේ හෙළා දැකීමට ලක්ව තිබේ.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට ජුලි 30 වැනිදා උදැසන 9.30 සිට පැය තුන හමාරකට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව එදිනම හවස මඩකලපුව මාධ්‍ය සමාජයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කියා සිටියේ කොළඹින් එවා තිබු බවට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ මඩකලපුව ඒකකයේ නිලධාරීන් තමන්ට පෙන්වු සිංහල ලිපි ගොනු වල තමා හදුන්වා තිබුනේ ත්රස්ත්රවාදියකු ලෙස බවයි.
"එවපු ඒ ෆයිල් එකේ මම සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදියෙක් කියලා තමයි ලියලා තිබුනේ. අපිව සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගසා මානසිකව අපට බලපෑම් කර මේ අරගලය නවත්වන්න තමයි එයාලට ඕන. "
බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා ජුලි මස අවසන් සතිය තුලදී උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක අට තුල, විරෝධතා දියත් වු අතර ජුලි 30 වැනිදා වව්නියාවේ දියත් කළ විරෝධයට නායකත්වය දුන් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියාව දිස්ත්‍රික් සභාපතිනි සිවානන්දන් ජෙනීටා එහිදී ප්‍රශ්න කර තිබුනේ ප්රජාතන්ත්රවාදී අයුරින් අරගල කරන දෙමළ අම්මාවරුන්ගෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන්නේ කුමන පදනමනින්ද යන්නයි.
"මඩකලපුව දිස්ත්‍රික් සභාපතිනිය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ඒකකයට ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තියනවා. PTA කියන්නේ මොකක්ද ? අපි ත්‍රස්තවාදීන්ද? ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අපි ගැන පරීක්ෂණ කරන්න. ප්‍රජාතන්ත්‍රවාදීව අපේ ඥාතීන් කෝ කියලා අහලා අරගලයේ සිටින කාන්තාවන් වන අපිට එරෙහිව මර්දනය මුදා හරිනවා."
මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී ජුලි 31 වැනිදා මුලතිව්හි පැවැති විරෝධතාවයට නායකත්වය දෙමින්ද අවධාරණය කර තිබුනේ සියළු දෙනා කළ යුත්තේ අරගල කරන මව්වරුන් ප්‍රශ්න කිරීමට ලක් කිරිම නොව සිය සමීපතමයන් සොයා දීම වෙනුවෙන් වෙහෙසීම බවයි.
" ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය සෑම දිස්ත්‍රික්කයකම අරගල කරන නායිකාවන්ව ගෙන්නලා පැය හතර පහක් ප්‍රශ්න කරනවා. ඊයේ ඔවුන් මඩකලපුව නායිකාව වන අමලනායගීව පැය හතරක් විතර ප්‍රශ්න කරලා තියනවා. මේවගේ දේවලුත් සිදු සිදුවෙමින් පවතිනවා. මේ වගේ දේවල් නවත්තලා අපේ ඥාතීන්ව සොයා දෙන්න හැමෝම සහයෝගයෙන් කටයුතු කළ යුතුයි."
නැති කර දැමු LTTE ය සමග සබඳතා
පහලොස් වසරකට ඉහතදී අවසන් කළ බවට ශ්‍රී ලංකා රජය නිවේදනය කළ විමුක්ති කොටි සංවිධානය සමග තමන්ට සම්බන්ධතා පවතීද යන්න සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මඩකලපුව ඒකකය ප්‍රධාන වශයෙන් තමන්ගෙන් ප්‍රශ්න කළ බවයි වල්ලිපුරම් අමලනායගී නමින් හදුන්වන අමලරාජ් අමලනායගී පවසන්නේ.
"ජාත්‍යන්තර මට්ටමින් හෝ දේශීය මට්ටමින් එල්ටීටීඊ සාමාජිකයන් සමඟ ඔබේ සබඳතා කොහොමද තියෙන්නේ, ඔවුන් සමග සම්බන්ධතා තියනවාද, කියලා ඇහුවා. මම කිව්වා, තහනම් කරපු සංවිධාන හෝ ඒ සංවිධාන නෑ කියලා ඔයාලානේ කිව්වේ. එහෙමනම් එල්.ටී.ටී.ඊ කියන මේ නම කොහොමද එන්නේ කියලා මම දන්නේ නැ. ඒක ඔබලා තමයි සොයා බලන්න ඔන. එල්.ටී.ටී.ඊ නම භාවිත කරන අයත් එක්ක අපිට ගනුදෙනු නැ. ඒ පැත්ත අපි බලන්නෙවත් නැ. ඒක ගැන ඔයාලා හොයලා බලන්න කියලා මම කිව්වා."
ඩයස්පෝරා සල්ලි
බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ගෙනයන දීර්ඝතම අරගලය සදහා ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙනවාදැයි තමාගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධානීන්, එම ප්‍රශ්න කිරීම සිදු කලේ තමන් එල්ටීටීඊ සංවිධානය යළි නිර්මාණය කිරීමට උත්සාහ දරන අයෙකු යන මතයේ සිට බවයි ඇය පවසන්නේ.
"ඩයස්පෝරාව මේ උද්ඝෝෂණවලට මුදල් ගෙවන්නේ නැද්ද කියලා ඇහුවා. මෙතෙක් කල් දුන්නේ නැ. සම්බන්ධතා තියනවානම් දෙන්න කියලා මම කිව්වා. මේ විමර්ශනයේදී මාව ත්‍රස්තවාදියෙකු ලෙසත්, එල්ටීටීඊ සංවිධානය යළි නිර්මාණය කරන අයෙකු ලෙසත්, පසුගිය කාලයේ විරෝධතා පවත්වමින් ආණ්ඩුව අපකීර්තියට පත් කළ සංවිධානයක් ලෙසත් තමයි ඔවුන්ගේ අදහස උනේ. "
බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් සභාපතිනි, වල්ලිපුරම් අමලනායගී මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සදහන් කළේ සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා 2017 වසරේ පෙබරවාරි මාසයේ සිට අඛණ්ඩ අරගලයේ යෙදී සිටින මව්වරුන් බිය වැද්දීම ආණ්ඩුව මෙවැනි විමර්ශන සිදු කිරීම මගින් බලාපොරොත්තු වන බවයි.
"ආණ්ඩුවට ජාත්‍යන්තර බලපෑම් එන නිසා මේ වගේ අපිට මානසික බලපෑම් ඇති කරලා , උදාහරණයක් විදිහට මම පරීක්ෂණයකට ආවොත්, අනෙක් අම්මලා හතර දෙනෙක් බයෙන් විරෝධතා දාලා යයි. මේ අරගලය විනාශ කිරීම එකම අරමුණයි. ඔවුන්ගේ අරමුණ අතුරුදහන් වීමක් වැනි දෙයක් සිදු නොවුනා වැනි අදහසක් ඇති කරලා අමතක කිරීම සහ සමාව දීමයි ඔවුන්ගේ අරමුණ."
තමා උපත ලැබු රෝහලේ සිට සිය පවුලේ සියළු සාමාජිකයන්ගේ පුද්ගලික තොරතුරු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය ලබා ගත් පව පවසන වල්ලිපුරම් අමලනායගී අවධාරණය කරන්නේ පසුගිය වසර කිහිපය තුළ තමන් විවිධ අවස්ථාවන් වලදී සිදු කළ අරගලයන්ට අදාල ඡායාරූප හයක් පෙන්වමින් ඔවුන් ඒ සම්බන්ධයෙන්ද තොරතුරු විමසු බවයි.
වටිනාකම ලක්ෂ දෙකද?
ජුලි 29 වැනිදා ත්‍රිකුණාමලය පිහිටි මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා දියත් කළ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සබාපතිනි සෙබස්තියන් දේවි අනතුරු අගවා තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් සභාපතිනි, අමලනායගීට මෙන්ම අරගලයේ නිරතව සිටින අනෙකුත් මව්වරුන්ද ත්‍රස්ත පොලීසිය වෙත කැඳවීමේ අවදානමක් පවතින බවයි.
" ජනාධිපතිතුමා කොමිෂන් සභා ගෙනාවා මිසක් කිසිම දෙයක් වුණේ නැහැ. අද මඩකලපුව දිස්ත්‍රික් සභාපතිනිය ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබෙනවා. හෙට අපිටත් එන්න කියන්න පුළුවන්. "
බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මන්නාරම දිස්ත්‍රික් සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍රා ජුලි 28 වැනි ඉරිදා මන්නාරම නගරයේ දියත් කළ විරෝධතාවයට නායකත්වට දෙමින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් (OMP) ප්‍රශ්න කර තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින තම සමීපතමයෙකුගේ වටිනාමකම රුපියල් ලක්ෂ දෙකක්ද යන්නයි.
"අපි පාරේ හිටගෙන කෑ ගැහුවත් කවුරුත් අපි දිහා හැරිලා බලන්නේ නැහැ. යුක්තිය ඉෂ්ට වෙයිද දන්නේ නැහැ. හැම අම්මා කෙනෙක්ම මැරිලා යනවා. එවැනි අවස්ථාවක සෑම සාක්ෂිකරුවකුම මිය යනවා. ඒක තමයි මේ ආණ්ඩුවටත් ඕන. OMP ගේනකොට යාන්ත්‍රණ හතරක් ගෙනාවා. ඒකෙන් සත්‍ය හොයනවා කිව්වා. සත්‍යය සෙවීමට ඔවුන් කළේ කුමක්ද? OMP ඉදිරිපත් වන්නේ වන්දි ලබා දීම සදහා පමණයි. ඒ අය හිතාගෙන ඉන්නේ මේ අම්මලා වන්දි ලබාගෙන ගෙදර ඕන කියලා. අපේ දරුවන්ගේ වටිනාකම ලක්ෂ දෙකක්ද? අපි ලක්ෂ හතරක් දෙනවා, අපි කියන්නේ අපේ දරුවෝ හොයලා දෙන්න කියලා විතරයි."