ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති කළා මදිවට එජාපයේ හිටපු ඒ ශ්‍රේෂ්ඨ නායකයන්ටත් අගෞරව කරන බව සමගි

ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

රාජපක්ෂවරුන් සමග මෙරට මහජනයා සතු මුදල් සහ දේපළ සොරා කෑමට දායක වූ, රට බංකොලොත් කළ කණ්ඩායමක් 77 රජය තුළ සිටි ශ්‍රේෂ්ඨ අමාත්‍යවරුන්ට සමාන කිරීම නිගාවක් බවත්, දිවංගත ඒ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිත සිටින තැන්හි සිට රනිල් වික්‍රමසිංහ මහතාට සාප කරනු ඇති බවත්, එජාපය බිංදුවටම ඇද දමා, එජාපය සම්පූර්ණයෙන්ම විනාශ කර, ඉතිහාසයේ පළමු වරට එජාපයෙන් නාමයෝජනාවක් ඉදිරිපත් කිරීමට ද නොහැකි මට්ටමක පත් කර, ඉන් නොනැවතී මෙරටට ඉමහත් සේවාවක් ඉටු කළ ශ්‍රේෂ්ඨ එජාප නායකයන් හට සිදු කළ අපහාසය නිසා වර්තමාන UNP සාමාජිකයන් ද රනිල් වික්‍රමසිංහ ට සාප කරනු ඇති බවත්, පරාජයේ අඳුරු සෙවණැලි දැක බිය වූව ද, මෙවන් මනස්ගාත ප්‍රකාශ සිදු කිරීමෙන් වැළකී සිටින ලෙසත්  මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය හා ප්‍රචාරක අංශයේ ප්‍රධානියාද වන මරික්කාර් මන්ත්‍රීවරයා මෙලෙස පැවසුවේ,  කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.  

77 ආණ්ඩු කළ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ පුත් සජිත් ප්‍රේමදාස සමග ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර, සිරිල් මැතිව් යනාදි දේශපාලනඥයින් හා සමාන දක්ෂ පාලක කණ්ඩායමක් සජබ සතු බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිය හැකි, හොරු අල්ලා ගැනීමට හැකි, බදු අඩු කළ හැකි, අධ්‍යාපනය දියුණු කළ හැකි, කෘෂි වැවිලි කර්මාන්ත නැංවිය හැකි, ජාත්‍යන්තරය සමග එකට වාඩිවී සාකච්ඡා කර රටට වාසි ගෙනෙන්නට සමත් කණ්ඩායම සිටින්නේ සජිත් සමග බවත් මර්ක්කාර් මන්ත්‍රීවරයා මෙහි දී පැවසී ය.

මරික්කාර් මන්ත්‍රිවරයා එම මාධ්‍ය හමුවේ දී මෙසේද පැවසිය.


චොකා මල්ලි සහ සිරිල් මැතිව්


‘‘පොහොට්ටු මන්ත්‍රීවරුන් අගයමින් ජනාධිපතිතුමන් දැක්වූ උපමාව හේතුවෙන් 77 කැබිනට් මණ්ඩලයට විශාල නිගාවක් උණා. පසුගියදා ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් හමු උණ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා 1977 වසරේ ජේ. ආර්. ජයවර්ධන මහතාට හිටපු කණ්ඩායමට සමාන කණ්ඩායමක් දැන් ඔහුටත් ඉන්න බව. මං අහන්නෙ... මහින්දානන්ද අලුත්ගමගේ මහතා - ලලිත් ඇතුලත්මුදලි මහතාට සමානද...? ප්‍රසන්න රණතුංග මහතා - ගාමිණී දිසානායක මහතාට සමාන කරන්න පුළුවන් ද...? ප්‍රේමදාස මහතා - ලංසට සමාන කරන්න පුළුවන් ද...? චොකා මල්ලි වගේ චරිත සිරිල් මැතිව් වගේ චරිතයකට සමාන කරන්න පුළුවන් ද...?


අපිට තහනම් අපේ රට


දැන් මේ රටේ දකුණු වෙරළාසන්නයෙ යි නැගෙනහිර වෙරළාසන්නයෙ යි තියෙනවා ‘ශ්‍රී ලාංකිකයන්ට ඇතුළු වීම තහනම්’ කියල බෝර්ඩ් ගහපු ආපණ ශාලා; සමාජ ශාලා. ඒක මේ වික්‍රමසිංහ පාලනයේ සිදුවෙමින් පවතින රට පාවාදීමේ ක්‍රියාවක්. මේ රට අපේ රට. අපට ඇතුළු වෙන්න බැරි තැනක් මේ රටේ තියෙන්න පුළුවන් ද...? මිරිස්ස, අරුගම්බේ... ඒ වගේ ම ත්‍රිකුණාමලේ වැනි ප්‍රදේශවල ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇතුළුවිය නොහැකි, විදේශිකයන්ට පමණක් ඇතුළුවිය හැකි සමාජ ශාලා සඳහා ජනාධිපතිවරයා අවසර ලබා දුන්නේ කොහොම ද...? සමගි ජන බලවේග රජයක් යටතේ මේ රටේ ඕනෑම පුරවැසියෙක්ට, මේ රටේ ඕනෑම තැනකට යන්න තියෙන පුරවැසි භුක්තිය හිමිකර දෙන්න අපි කටයුතු කරනවා.’’

මෙම මාධ්‍ය හමුව ආවරණය කිරිමට පැමිණි මාධ්‍යවේදීන්, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ අතර සිදුවූවායැයි කියවෙන හමුවක් පිළිබඳව ද විමසිය ඊට පිළිතුරු දුන් මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.


ආශු මාරසිංහගේ හෙලුව


‘‘කවුද එහෙම කියල තියෙන්නෙ...? ආශු මාරසිංහ මහතා කරපු ඒ වගේ ප්‍රකාශයක් මාත් මාධ්‍යවලින් දැක්කා. ආශු මාරසිංහ මහතත්තයා අදාළ ප්‍රකාශය කරල තියෙන්නෙ හෙලුවෙන් උනාට ඒ විදිහෙ ප්‍රකාශ කිරීමෙන් වළකින්න කියල මම ආශු මාරසිංහ මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා. ආශු මාරසිංහ මහත්තයා දකින්නේ ජනාධිපතියි, රාජපක්ෂ කල්ලිය යි, රාජපක්ෂවරුන්ගේ ත්‍රාඩ කල්ලිය යි එක්ක රහස් හමුවීම්, රහස් ගණුදෙනු කරන විදිහ නෙ.

 අපිට වාර්තා වෙන අලුත් ම තොරතුරුවලට අනුව ඊයේ (අගෝස්තු පළවෙනිදා) දවසෙත් ජනාධිපතිතුමා රාජපක්ෂවරුන් මුණ ගැහිල එයාට සහයෝගය දක්වන්න කියල ආයාචනා කරල තියෙනවා. ආශු මාරසිංහ මහත්තයා මීට කලින් ඉඳල ම ඒ වගේ රහස් ගණුදෙනු සියැසින් දැකල තියෙනවා. මම මේ කියන්නෙ යහපාලන සමයෙදි ලබපු අත්දැකිම් එක්ක.

 සජබ නායකතුමා සජිත් ප්‍රේමදාස කියන්නෙ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතා. එතුමා ඔරිජිනල් UNP කාරයෙක්. ඔරිජිනල් UNP කාරයන්ට ඩීල් දාලා පුරුදු නෑ.

 
රාජපක්ෂලාගේ දෙපා ලෙවකෑම

එදා අපි කණ්ඩායම එජාපය අත හැරලා සමගි ජන බලවේගය ගොඩනැගුවෙත් රාජපක්ෂ කල්ලිය යි, රාජපක්ෂ ත්‍රාඩ කල්ලිය යි එක්ක ගනුදෙනු කරන්න තියෙන අකමැත්ත නිසා. සජිත් ප්‍රේමදාස මහත්තයා රාජපක්ෂවරු ටෙලිෆෝන් කරල උපන්දින සුබ පැතුමක් දුන්නත් ඒවට ප්‍රතිචාර දක්වන්නෙ නෑ. පිටිපස්සෙ  දොරෙන් ඇතුළු වෙලා අගමැතිකම්, ජනපතිකම් දිනා ගත්තේ වෙන කෙනෙක් නෙවෙයි... රනිල් වික්‍රමසිංහ මහත්තයා. එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආරාධනා කරපු වෙලාවෙදිවත් නායකත්වයට පිටු පාන්න බැරි නිසා සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය බාර ගත්තෙ නෑ.

මගේ නායකයා හරි, මම හරි වෙනත් කවුරු හරිවත් පස්ස දොරෙන් ගිහින් රාජපක්ෂවරුන්ගේ දෙපා ලෙවකාල හරි රාජපක්ෂ ත්‍රාඩ කැලත් එක්ක එකතු වෙලා හරි තනතුරු දිනා ගන්න අය නෙවෙයි. සජබයටයි සජබ නායකත්වයටයි කට කතා ගොතන එවුන් මේ වෙද්දි සජබ මන්ත්‍රීවරුන්ට කතා කරලා, සල්ලි දිලා එයාලට සහයෝගය ගන්න උත්සාහ කරනවා. ඒ විදියට එයාලගෙ බලය සඳහා මන්ත්‍රීවරුන්ට මිල නියම කරන්නෙත් ජනතා මුදල්වලින් වීම බරපතළ තත්ත්වයක්. වික්‍රමසිංහ මහතතයා එක්ක දැන් එකතු වෙලා ඉන්නෙ නඩු ප්‍රිරුණු පාර්ශවකරුවො. එයාලට මහජන මුදල් වංචා කරල පුරුදු උනාට සජබ මන්ත්‍රීවරු කොයියම්ම වෙලාවකවත් මුදලට ආත්මය පාවා දෙන්නෙ නෑ.


අපි ළඟ දූෂිතයො නෑ


මේ රටේ පාවෙන ඡන්දදායකයන් වගේ ම බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂත් විවිධ කණ්ඩායම් එක්ක කඳවුරු බඳිනවා. නමුත් අපේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා දූෂණ, වංචා හරි වෙනත් චෝදනාවලට ලක් වෙච්ච කිසිම කෙනෙක් සජබ එක්ක එකතු කරගන්නෙ නෑ. ඒ වගේ ම මේ දක්වා සමගි ජන බලවේගය එක්ක එකතු උණ කිසිම චරිතයක් දිහාට එවැනි චෝදනා එල්ල වෙලා නැහැ. ඒ වගේ ම වර්තමානයේ සජබ එක්ක එකතු වෙන්න ඉල්ලීම් කරන මන්‍ත්‍රීවරු පවා පක්ෂයට එකතු කර නොගන්නේ අපේ පක්ෂය දැඩි ජනතාවාදී ප්‍රතිපත්තියක ඉන්න නිසා.


IMF ගනු දෙනු කරන්නෙ මෙහෙමයි


වර්තමාන රජය පනවලා තියෙන උපයන විට බදු අගය 36%යි. අපි ඒක 24% දක්වා අඩු කරනවා. පසුගිය වසරේ රජය අපේක්ෂා කරපු රුපියල් බිලියන 100ක බදු ආදායම ඉක්මවා ගිහින් රුපියල් බිලියන 150කට ආසන්න ආදායමක් රජය අපයලා තියෙනවා. මේ රජය ඒකෙ වාසිය ජනතාවට ලබා නොදී සිදුකරන අසාධාරණ බදු මිල වහාම අඩු කරන්න අපි සුදානම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අදාළ ගිවිසුම්වලට එළැඹුණේ ජනමතයක් නොමැති ආණ්ඩුවයි ජනතා මතයෙන් තොරව හොරුන්ගේ මතයෙන් ජනපති වූ පුද්ගලය යි. ඔවුන් ඇති කරගත්තු එකඟතා අතර අපේ රජයක් එකඟ වන සහ නොවන කාරණා අපි වෙන වෙන ම අදුරගෙන තියෙනවා. ඒ: එකඟ වෙන කාරණා කොළ පාටින්, සංශෝධන සඳහා සාකච්ඡා කිරීමට අදාළ කාරණා කහ පාටින් සහ කිසිදු ආකාරයකින් එකඟ නොවන කොන්දේසි රතු පාටින් විදියට. ඒ වගේ ම සමගි ජන බලවේගය ඒ සමාලෝචනය කර ගත යුතු වගන්ති පිළිබඳව සෘජුව ම IMF නියෝජිතයන් දැනුම්වත් කරල තියෙනවා.

වත්මන් රජයේ දර්ශනය අනුව බදු මගින්ම පමණක් රාජ්‍ය ආදායම ඉහළ දාගන්නට උත්සාහ දරන රජයකට මේ ආකාරයේ කොන්දේසි ගෙන ඒම සාමාන්‍ය ක්‍රමවේදයක්. වෙනත් ආදායම් උත්පාදන ක්‍රමවේදයන් සහිත රජයන් එක්ක IMF ආයතනය කටයුතු කරන්නෙ එක විදියකට. ආර්ථික දර්ශනයක් සහිත රජයක් IMF එක්ක කටයුතු කරන්නෙ වෙනස් විදියකට. මීට කලින් ප්‍රේමදාස ජනාධිපති යුගයෙ දි උතුරේ යුද්ධය, දකුණේ කැරැල්ලට මැදිවෙලා රාජ්‍ය භාණ්ඩාගර ශක්තිය ඉතා දුර්වල වෙච්ච වෙලාවක දි IMF නියෝජිතයන් එක්ක ගනුදෙනු කරපු විදිය අපිට හොදට මතකයි.’’

(ජයසිරි අලවත්ත)

akd 1600x500rani
72ppi Web Telephone Ringing 300x250p10

worky sin

නවතම පුවත්