ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිරයාට සහාය පළ කරන පිරිස නොවන බවත් පක්ෂය දෙකඩ කළේ

පාක්ෂිකයන් පිළිබඳව කිසිදු තැකීමක් නැති සිය පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන්ම පෙනී සිටින සුළු පිරිසක් බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාක්ෂිකයන් ගැන නොසලකන මේ සුළු පිරිස පක්ෂය මුදලට පාවා දුන් බවයි‍.

රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් සමඟ ඊයේ (03) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

මෙහිදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය -
චෝදනාවක් තියෙනවා ඔබතුමා පක්ෂේ කැඩුවේ කියලා. පක්ෂේ කැඩුවේ ඇයි?


ප්‍රසන්න :
මම තමයි පක්ෂය ඒකරාශී කරගෙන මේ ගමන යන්න උත්සාහ කරන්නේ. එහෙම කැඩුවනන් කැඩෙන්නේ 2022 රනිල්ව පත් කර ගන්නේ නැතිව ඩලස්ව පත් කරගන්න තිබුනා. එහෙම කරේ නැත්තේ රට ගැන හිතලා පක්ෂය ඒකරාශී කරගෙන යන වැඩපිළිවෙලක් තමයි යෝජනා කරන්නේ.

ප්‍රශ්නය - 
රනිල් වික්‍රමසිංහට කඩේ යනවද?


ප්‍රසන්න -
එතුමට කඩේ යන්න අවශ්‍ය නෑ. එතුමා අභියෝග භාරගත්තා. සජිත් ප්‍රේමදාස, හර්ෂ මන්ත්‍රීතුමා එහෙම මුදල් අමාත්‍යාංශයේ ලේකම් එක්ක කතා කරලා රට තියෙන්නේ අවධානම් තත්ත්වයක බාරගන්න බෑ කියලා කිව්වා. මතක ඇති Twitter එකෙත් දැම්මා. එහෙම කියපු වෙලාවක රට බේරගත්ත නායකයාට කඩේ ගියාට වැරැද්දක් නෑ. එහෙම යන්න මිනිස්සු කැමති නිසයි ඒකමතිකව මේ තීන්දුව ගත්තේ.

ප්‍රශ්නය - 
ඔබතුමාට ආසන සංවිධායකකම නැති වෙනවා. ඒ ගැන දුකක් නැද්ද? ඔබතුමාලා අවදානමක් නේද ගන්නේ. රනිල් වික්‍රමසිංහ පැරදුනොත් ?


ප්‍රසන්න -
 මම ඒ අවදානම ගත්තේ අද ඊයේ නෙවෙයි. එදා මහින්ද සුළගෙදිත් ශ්‍රී.ල.නි.ප ට විරුද්ධව මම ඔය තීන්දුව ගත්තා. අදත් මම ඒ තීන්දුව ගන්නවා. මොකද රට වෙනුවෙන් ගන්න තීන්දුවක් නරක් වෙන්නෑ.

ප්‍රශ්නය - 
ඔබතුමා දිස්ත්‍රික් නායකකමින් අයින් කරනවා කියලත් කිව්වා. ඇත්තටම උදයංග වීරතුංග කියන්නේ කවුද?

ප්‍රසන්න - 
මෙහෙමයි, මාධ්‍ය මිනිහා උස්සලා ගද්දී මිනිහා වීරයා වෙනවා. නාමල් රාජපක්ෂලත් කියනවා ඔහු බොරු කියන්නේ කියලා. චමල් ඇමතිතුමා කියනවා ඔහු පිස්සෙක් කියලා. ඉතින් මම මොකටද ඕක ගැන කතා කරන්නේ. පවුලේ අයම කියනවා ඒ කාරණා. මම ඕවට උත්තර දෙන්න ඕන නෑ. දිස්ත්‍රික් නායකකමින් මාව ඉවත් කරනවා කියලා කියනවා. කවදාවත් මට දිස්ත්‍රික් නායකත්වයවත් ආසන සංවිධායකකමවත් දීලා තිබ්බේ නෑ. දීලා තිබුනේ කැඳවුම්කරු කියලා. මහ ඇමති තනතුර අතෑරපු මට ඕවා අතාරින එක මහ ලොකු දෙයක් නෙවෙයි.

ප්‍රශ්නය - 
පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් අන්තිම මොහොතේ දැම්මේ කොහොමද?


ප්‍රසන්න  - 
ඒක දාපු අයගෙන් අහන්න ඕන. එතැන වෙන ඩීල් යනවා. සමහරු හිතනවා එයා ඉදිරිපත් වෙනවා කියලා. ජනාධිපතිතුමා පරද්දන්න පරදින බව දැන දැන පොහොට්ටුවෙන් කෙනෙක් එවනවා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී යනවා සජිත් ගේ පිලට. ගිහින් ඇමතිකම් ගන්නවා. මොකද රනිල් පැරැද්දුවේ එයා කියලා හිතලා. රට ගැන හිතලා නෙවේ හැමෝම වැඩ කරන්නේ පුද්ගලවාදී දේශපාලනයක් තුලයි. එතනයි මේ රටට වරදින තැන.

ප්‍රශ්නය - 
මේ පරම්පරා ගත දේශපාලනය ඉවර කරලා මේ රට ඔබතුමාලා අතට ගන්න බැරිද? 


''හැමදාම මගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා''


ප්‍රසන්න -  
හැමදාම මගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. නමුත් අද තත්ත්වය වෙනස්. ආර්ථික අර්බුදයෙන් රට බේරගත්ත නායකයාට දේශපාලන වේදිකාවක් හැදිලා තියෙනවා. සාම්ප්‍රදායික දේශපාලනය අපි වෙනස් කරලා තියෙනවා. UNP,  ශ්‍රී.ල.නි.ප, මුස්ලිම් නායකයෝ මේ වේදිකාවට එකතු වෙනවා. මේ රටේ 77න් විශේෂයෙන්ම 94 න් පස්සේ මැතිවරණ තියද්දි සන්ධානගත දේශපාලන නායකයෝ තමා මේ රටේ බලය ගත්තේ. ඉතින් අද ඒ බලය රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙලා තියෙනවා. ඒක හොඳ ලකුණක්. රට ජාතිය ගැන හිතලා භේදයකින් තොරව වැඩ කරන්න තැනක් හැදිලා තියෙනවා.

ප්‍රශ්නය - 
පුළුල් සංන්ධානයකින්ද එන්නේ


ප්‍රසන්න - 
මෙතුමා ස්වාධීන අපේක්ෂකයෙක් අනෙකුත් දේශපාලන පක්ෂ ඔහුවටා එකතු වෙනවා.

ප්‍රශ්නය - 
අද මේ රැස්වීමට සහභාගී වෙලා මේ තීරණ ගන්නේ කවුද?

ප්‍රසන්න  - 
මෙතනට ආවේ පළාත් පාලන මන්ත්‍රීවරු පමණයි. ඔවුන් එක හඬින් කිව්වේ මැතිවරණයේදී රනිල්ට සහය දෙන්න කියලා.

ප්‍රශ්නය - 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තව එකතු වෙන්න අය ඉන්නවද?

ප්‍රසන්න - 
සංඛ්‍යාත්මකව කියන්න බෑ. හෙට අනිද්දට නොහිතන අයත් එකතු වෙනවා අපිත් එක්ක.

akd 1600x500rani
72ppi Web Telephone Ringing 300x250p10

worky sin

නවතම පුවත්