නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමේ සුදානමකින් සිටින බව දේශපාලන

ආරංචිමාර්ග පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති හෙයින්, නාමල් හිතවාදී මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කිරීමට ද තීරණය කර ඇතැයි පැවසේ.

එසේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් රාජ්‍ය ඇමතිවරුන් කිහිපදෙනා මේ සතියේදී සිය මැති ඇමති තනතුරු වලින් ඉල්ලා අස්වීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් රාජපක්ෂ හිතවාදීන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ මේවනවිට විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට පත්ව සිටිති.

ආණ්ඩුවට බහුතරය නැතිවෙයි ?

දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එසේම මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුරදි පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවනු ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව අගෝස්තු 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.

මේ සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමග පාර්ලිමේන්තුවේ බල තුලනයද වෙනස්වී ආණ්ඩු පක්ෂයේ බහුතර බලය අහිමිවී ගොස් ඇතැයි පැවසේ. මේ හේතුවෙන් යම් පනතක් සම්මත කිරීමේදී අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීමද ඉදිරියේදී ගැටලුකාරී වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.


මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ සාකච්ඡා

ආණ්ඩුවේ සහයට මීට පෙර මන්ත්‍රීවරුන් 117 ක් පමණ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇතැයි කියති.

සාමාන්‍ය පනතක් සම්මත කිරීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 (සරල බහුතරය) මේ හේතුවෙන් අහිමිව ගොස් ඇතැයි පැවසුවද නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලන්සා පවසන්නේ මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වූ විට ආණ්ඩුවේ බහුතර බලය පෙන්වීමට සුදානම් බවයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැදවීමේ දිනය ලං වෙමින් පවතින හෙයින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ සාකච්ඡාද ඒ ඒ දේශපාලන පක්ෂ ඉතා ප්‍රබල අදියරකින් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවෙන්නේ මෙම මස 15 වැනිදාය.

සබැඳි පුවත් :

පාර්ලිමේන්තුව අගෝස්තු 6 සිට 9 දක්වා රැස්වෙයි

akd 1600x500rani
72ppi Web Telephone Ringing 300x250p10

worky sin

නවතම පුවත්