කොළඹ අධි ආරක්ෂක කලාපයක පිහිටි වරාය භූමිය තුල අහම්බෙන් හමුවු සමුහ මිනී වල සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගම්
නායකයෙක් උතුරේ දී ඉල්ලා තිබේ.
"කොළඹ වරායෙන් ඇටකටු හමුඋනා. හැමෝම ඒ ගැන කතා කරනවා. ඉස්සරත් මෙහෙම හම්බුනාම කතා බහට ලක්වුණා. ඒත් ඊට පස්සේ යුක්තිය ඉටු වෙලා නැහැ. ඒ නිසා එය පාඩමක් කරගෙන කොළඹ වරායේ මාර්ගය පිළිසකර කිරිමේදී හමුවූ ඇටසැකිලි සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු කරන්න ඕන.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විසි අට වසරකට ඉහතදී අපයෝජනය කර මරා දමන ලද සිසු දැරියක් ඇතුළු පිරිස සිහිපත් කොට යාපනයේ චෙම්මනි ප්‍රදේශයේදී පැවැති අනුස්මරණයට එක්වු ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා එහිදී අවධාරණය කර තිබුනේ, සමුහ මිනී වලවල් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවද කිසිදා යුක්තිය ඉටු නොකරන බවයි.
"අපි දන්නවා මේ ආණ්ඩුව කවදාවත් යුක්තිය ඉටු කරන්නේ නැහැ. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයට, මානව හිමිකම් කොමිෂන් සභාවලට ගිහින් ප්‍රශ්නයට විසඳුම් දෙනවා කියලා පොරොන්දු වෙනවා. නමුත් ලබා දී ඇති විසඳුම් මොනවාද? කිසිවක් නැහැ. "
දෙමාසයකට ඉහතදී කොළඹ අධි ආරක්ෂක කලාපයක පිහිටි වරාය භූමිය තුල අහම්බෙන් ඇටසැකිල්ලක් හමුවූ, සමූහ සුසානයක් බවට මේ වන විට සාධක මතු වෙමින් පවතින භුමියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහගේ නියමයෙන්, වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේවගේ හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් හේවගේ ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 5 වැනිදා සිය කැනීම් කටයුතු සිදු වෙමින් පවති.
විසි අට වසරකට ඉහතදී යාපනයේ චෙම්මනි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අපයෝජනය කර මරා දමන ලද සිසු දැරියක් ඇතුළු පිරිස සිහිපත් කොට චෙම්මනි ස්මාරකය අභියස දී සැප්තැම්බර් 7 වැනි සෙනසුරාදා සැමරුම පැවති අනුස්මරණයට කොළඹින් යාපනයට ගිය ගුරු සංගම් නායකයා සමග ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාධරයන්ද එක්ව තිබුනි.
ක්‍රිෂාන්ති කුමාරස්වාමි
චුන්ඩිකුලි මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි 1996 ඔක්තෝම්බර් 6 වැනිදා උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත ගෙදර යමින් සිටිය දී චෙම්මනි මුරපොලේ සිටී හමුදා සෙබළුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සාමුහික දුෂණයකට ලක් කොට මරා වළ දමා තිබිණි.
ඈගේ ප්‍රමාදය නිසා කලබල වූ ඇගේ මව වූ රාසම්මා කුමාරස්වාමි සහ ප්‍රණවන් කුමාරස්වාමි පවුලේ හිතවතකු වූ සිදම්බරම් කිරුබමූර්ති සමඟ ඇය සොයා චෙම්මනි මුරපොල වෙත ගොස් විමසා තිබේ.
ක්‍රිෂාන්ති ගැන කිසිදු තොරතුරක් තමන් නොදන්නා බව පැවසූ මුරපොලේ සෙබළු ඔවුන් තිදෙනා බංකරයක් තුළට ගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා තබා ඇත. එදින රාත්‍රියේදී හමුදා සෙබළුන් විසින් ප්‍රණවන් සහ කිරුබමූර්ති කඹයකින් ගෙල සිරකර මරා දමා සිරුරු දෙක ආරක්ෂක මුරපොල පිටුපස වළ දැමූ අතර ඔවුන්ගේ ඇඳුම් වෙනම වළලා තිබේ. රාසම්මා ද ඒ ආකාරයෙන්ම ඝාතනය කළ මේ හමුදා සෙබළු මුරපොල පිටුපස ඇගේ සිරුර වළ දැමූහ.
ක්‍රිෂාන්ති කුමාරස්වාමි සාමුහික දුෂණය කර මරා දමා ඇති බවට රජයේ හමුදා වෙත එල්ලවූ චෝදනා ගැන පරීක්ෂණ පැවැත්වීමට එවක පැවති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට ජාත්‍යන්තර බලපෑම් එල්ලවිය.
ඉන් ටික කලකට පසු අතුරුදහන් වූ සිවිල් වැසියන් සිව්දෙනකු සම්බන්ධයෙන් යුද හමුදා බලධාරීන්ට ලැබුණු නිර්නාමික පෙත්සමක් ඔස්සේ කරන ලද පරීක්ෂණයක් අනුව චෙම්මනි හමුදා මුරපොල වෙත අනුයුක්ත කර සිටී හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කෙරිණි. ඒ අනුව, දිරාපත් වූ සිරුරු හතරක් සහ ඇඳුම් ආයිත්තම් සොයා ගත්තේ චෙම්මනි හමුදා මුරපොල අසල වල දමා තිබියදීය.
හමුදා සෙබළුන් 9 දෙනකුට විරුද්ධව චෝදනා 18කින් යුක්ත අධිචෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුව මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නඩුව විභාග කරමින් විත්තිකරුවන්ගේ පාපොච්චාරණය ඔස්සේ සොයාගත් සාක්ෂි මෙන්ම අනෙකුත් වාචික සාක්ෂි මත තීන්දුව ලබා දෙන ලදී.
ඉන් අපරාධ චෝදනා ඔප්පු වූ රාජපක්ෂ දේවගේ සෝමරත්න රාජපක්ෂ, ජේ එම් ජයසිංහ, ජී පී ප්‍රියදර්ශන හා ඒ එස් ප්‍රියශාන්ත පෙරේරා යන හමුදා සෙබළුන් 5 දෙනාට මරණ දඩුවම නියම විය. තවත් චූදිත හමුදා සෙබළු තුන් දෙනකුට විසි පස් වසරක සිර දඩුවම් නියම විය. තවත් විත්තිකාර හමුදා සෙබළු 4 දෙනකු නිදොස් කොට නිදහස් කෙරිණි.
මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් චූදිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය සහ අධිනීතිඥ රංජිත් ප්‍රනාන්දු ප්‍රධානව තවත් අධිනීතිඥවරුන් කිහිප දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කළද, එය විභාග කළ එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි බණඩාරණායක ප්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල අභියාචනය නිශ්ප්‍රභ කරමින් තීරණය කළේ මහාධිකරණයේ තීන්දුව ඒ ලෙසම ක්‍රියාත්මක කළ යුතු බවයි.
චෙම්මනි සමූහ මිනී වල
ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ සිය සාක්ෂියේ දී කියා සිටියේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි වල දැමු පළාතේ තවත් සිරුරු හාර පන්සියයක් පසට යට කොට ඇති බවයි.
චෙම්මනි හි සමූහ මිනීවළවල් කණින ලද අවස්ථාවේ පංච පුද්ගල කමිටුවක් විසින් ආරක්ෂක හමුදාවේ 15 දෙනකු වගකිව යුත්තන් ලෙස හඳුනා ගන්නා ලද අතර යුද හමුදා නිලධාරීන් හතර දෙනකු අත් අඩංගුවට ගන්නා ලදී. එහෙත් කමිටු වාර්තාව කිසිදාක ප්‍රසිද්ධියට පත් කෙරුනේ නැත. ඒ වෙනුවට සිද්ධ වූයේ නීතිපති කාර්යාලයේ එවක ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයා වූ මොහාන් පීරිස්ගේ අණින් 2000 ජූලියේදී සැකකරුවන් ඇප පිට නිදහස ලැබීමයි. හතර දෙනාටම පසු කලෙක උසස්වීම් දෙන ලදී.
පසුව නීතිපති පදවියට උසස් කරන ලද ජනාධිපති නීතිඥ පීරිස් ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා නැගෙන යුද්ධය සමයේ රජයේ ප්‍රධාන නීති උපදේශකයා ය. අගවිනිසුරු ධුරයෙන් මතබේදාත්මක ලෙස දෝෂාභියෝගයකින් පහකරනු ලැබූ ශිරානි බණ්ඩාරනායක වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2013 දී එම පදවියට පත් කරන ලද්දේ මොහාන් පීරිස්ය. අද ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව් යෝර්ක් නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාය.