අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාහ්ගේ

අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් නොවන්නැයි, සර්ව සිංහල නීතිඥ සමූහයක් විසින් දිගින්, දිගටම කරනු ලබන බලපෑම් හේතුවෙන් ශ්‍රි ලංකා නීතිඥ සංගමය බෙදී වෙන්වන ලකුණු පහළ වී තිබේ.

පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින සිදුවූ පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු යැයි පවසමින් නීතිඥ හිස්බුල්ලාහ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩබලන පොලිස්පති සී වී වික්‍රමරත්න වෙත අ‍ප්‍රේල් 15 වැනිදා ලිපියක් යවන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස පවසා තිබුණේ ,'නීතිඥ හිස්බුල්ලාහ් වෘත්තිකයකු ලෙස කරන ලද කාර්යයන් ' මෙම අත්අඩංගුවට ගැනීමට පදනම ලෙස තම සංගමය විසින් සලකන බව ය.

Kalinga Indatissaකෙසේ නමුත් නීතිඥ හිස්බුල්ලාහ් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට බාධා කිරීමට නීතිඥ සංගමය කිසිදු අවස්ථාවක අපේක්ෂා නොකරන බවද සභාපති, ජනාධිපති නීතිඥවරයා සිය ලිපියෙන් අවධාරණය කර තිබුණි.

පසුගිය ආණ්ඩු සමයේදි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේද ආශිර්වාදය සහිතව දියත් කෙරුණු පාර්ලිමේන්තු බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම, ක්‍රිස්තියානි සහ මුස්ලිම් දේවස්ථානවලට අන්තවාදීන් විසින් පහරදීම් පිළිබඳව ගොනු කෙරුණු මුලික අයිතිවාසිකම් නඩු, සිංහල මව්වරුන්ගේ පැලෝපීය නාල අවහිර කොට වඳභාවයට පත් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබු වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීම ඇතුළු මෑත කාලයේ ඉමහත් අවධානයක් යොමුවූ අතිශය වැදගත් නඩුකර ගණනාවක ප්‍රධාන නීතිඥවරයා වූයේ නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් ය.

 

ජාතික ආරක්ෂාව මුල් තැනට:

එසේ මුත් නීතිඥ හිස්බුල්ලාහ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අන්තවාදී ක්‍රියාකාරකම්වලට ඔහුගේ ඇති සම්බන්ධය තහවුරු විම නිසා යැයි ද, එමනිසා ශ්‍රි ලංකා නීතිඥ සංගමය ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක මැදිහත් නොවිය යුතු යැයි ද පවසමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා අමතා, ජනාධිපති නීතිඥවරුන් හත් දෙනකු ප්‍රමුඛ සිංහල ජාතික නීතිඥයන් 216 දෙනකු විසින් පසුගිය 5 වැනි දින කරුණු 22 ක් සහිතව දීර්ඝ ලිපියක් යොමු කර ඇත.

එහිදී ඔවුන්ගේ මතය වී ඇත්තේ නීතිඥ හිස්බුල්ලාහ් යනු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින 190 දෙනකු අතරින් තවත් කෙනකු පමණක් බව ය.

"මෙය ජාතික ආරක්ෂාව සම්බන්ධ දැවැන්ත පරිමාණයේ වැදගත්කමක් උසුලන්නකි," යි සිංහල නීතිඥ සමුහය, නීතිඥ සංගමයේ සභාපතිවරයා අමතා ලියු ලිපියේ තැනක සඳහන් ය.

නීතිඥ හිස්බුල්ලාහ් අන්තවාදීන් සමඟ සම්බන්ධව හෝ අන්තවාදීව හෝ කටයුතු කර ඇතැයි හෝ පැහැදිලිව පෙනෙන බව පොලිසිය උපුටා දක්වමින් පවසන සිංහල නීතිඥවරු ස්වකීය මුස්ලිම් ජාතික වෘත්තීය සගයාට එරෙහිව පුද්ගල තරාතිරම නොබලා කටයුතු කළ යුතු බවද කියති.

"පෞරුෂය සහ බලසම්පන්න බව නොහොත් පුද්ගල තරාතිරම නොබලා ජාතික ආරක්ෂාව සැමවිටම මුල්තැනෙහි ලා සැලකිය යුතු වේ. මෙය ජාතික ආරක්ෂාව සම්බන්ධ දැවැන්ත පරිමාණයේ වැදගත් කමක් උසුලන්නකි," යි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ප්‍රමුඛ නීතිඥවරුන් 216 දෙනා එක සේ පවසා ඇත.

එහෙත් ප්‍රකට නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් ගේ පවුලේ සාමාජිකයන් විසින් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කරනු ලැබු සටහනක දැක්වෙන පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ ද්වේශ සහගතව ය.

"තමන් අත්අඩංගුවට ගැනිම නීති විරෝධි හා අත්තනෝමතික මෙන්ම විරුද්ධ මත අඩස්සි කිරීමේ අරමුණින්, එදිරිවාදිකම් පිරිමසා ගැනීමට කරන ලද්දක් බව හිජාස් හිස්බුල්ලාහ්ගේ තිරසාර පිළිගැනිමයි."

 

නීති විරෝධී රඳවා තබා ගැනීමක් !

නීතිඥ හිස්බුල්ලාහ් අධිකරණය හමුවට පමුණුවන්නැයි ඉල්ලමින් ඔහුගේ පියා සහ සොහොයුරා විසින් අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති හබයාස් කෝපුස් පෙත්සම් දෙකේ මෙන්ම ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මඩුල්ලක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේත් සඳහන්ව තිබෙන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිඥ හිස්බුල්ලාහ්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින්නේ නීතිය මෙන්ම මූලික අයිතිවාසිකම් ද උල්ලංඝණය කරමින් බව ය.

Manohara de silvaපසුගිය අප්‍රේල් 14 වන අත්අඩංගුවට ගනු ලබන නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මාස තුනක රඳවා ගැනීමේ නියෝගයන් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න විසින් ප්‍රකාශ කොට තිබේ.

මේ අතර නීතියේ මූලික හරයන් පවා උල්ලංඝණය කරමින්, ව්‍යාජ චෝදනා නගා රැවටිලිකාරි ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු නීතිඥ හිස්බුල්ලාහ්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා නීතිඥ සංගමය මැදිහත් විය යුතු යැයිද, ඔහුට සහ ඔහු වෙනුවෙන් හඬ නගන සෙසු නීතිඥ ප්‍රජාවට එරෙහිව බහුතර සිංහල නීතිඥ පිරිසකගෙන් එල්ල වෙන අවලාද සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යැයි පවසමින් ශ්‍රී ලංකාවේ සියළු ජාතීන්ට අයත් නීතීඥවරුන් 185 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් සංගමයේ සභාපතිවරයා වෙත මැයි පසුගිය 20 දින යොමු කර තිබේ.

එයට පෙර එම නීතිඥවරුන්ම පසුගිය අප්‍රේල් 24 දිනද එවැනිම ලිපියක් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස වෙත යොමුකර තිබුණි.

නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත අප්‍රේල් මස 24 දින තමන් විසින් එවන ලද ලිපියට මේ දක්වා කිසිදු පිළිතුරක් නොලැබීම සම්බන්ධයෙන් තමන් ඉමහත් කණස්සල්ලට පත්ව සිටින බව අදාළ නීතිඥවරුන් 185 දෙනා විසින් ඔවුන්ගේ දෙවැනි ලිපියේ සඳහන් කොට තිබේ.

 

නීතිඥ සංගමයේ නිහඬතාවය සදාචාර විරෝධියි !

"නීතිඥ සංගමයේ සාමාජිකත්වය විසින් කර ඇති යෝජනා කෙරෙමින් පවතින පරික්ෂණවලට බලපෑම් කිරීමට හෝ ඇඟිලි ගැසීමට සංගමය පොළඹවන හෝ වර්තමාන හෝ අනාගත ක්‍රියාකාරකම් පක්ෂග්‍රාහි ලෙස වර්ණ ගැන්වීමට හෝ කරන ලද්දක් බව සංගමය විසින් ඒත්තු ගෙන තිබීම පිළිබඳව අපේ කණස්සල්ල මුලින්ම සටහන් කළ යුතුය. මෙයාකාර උත්සාහයන් අප විසින් සලකනු ලබන්නේ මුළුමනින්ම නීති විරෝධී, සදාචාර විරෝධී සහ ගර්හා කටයුතු ඒවා ලෙස ය."

නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් කටයුතු නොකර සිටීම, ඔහට නිසි නීතිඥ සහාය ලබා ගැනිමේ අවස්ථාවන් CID ය විසින් අහිමි කිරීම ආදි අතිශය බරපතල කරුණු තම මුල් ලිපියෙන් අවධානයට යොමුකර තිබුණද,මේ දක්වා නීතිඥ සංගමය ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම "බරපතල නොසලකා හැරීමක් " ලෙස තමන් විසින් සලකන බව ද එම නීතිඥවරුන් 185 දෙනා විසින් පවසා ඇත.

එම ලිපියේම තව දුරටත් දක්වා ඇත්තේ මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකිරීමෙන් නීතිඥ හිස්බුල්ලාහ්ගේ අයිතින් බරපතල ලෙස උල්ලංඝණය කෙරී ඇති බව ය.

"එය නීතියේ උපරිමාධිකරණ බලය හිමි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගන්නා ලද නීතියේ ආරක්ෂණයකි. මේ නීතිමය හිමිකම සපුරා ගනු ලබන බව සහතික කිරීමට නීතිඥ සංගමය මැදිහත් විය යුතු බව අපගේ පිළිගැනීමයි. එය ඔහුට නීතිඥවරයකු හමුවීමේ අයිතිය අහිමි කිරීමක් වූ කල්හි වඩාත් වැදගත් සේම තීරණාත්මකද වෙයි."

Javid Yusupසිංහල ජාතික නීතිඥවරුන් විසින් හිස්බුල්ලාහ් යනු තවත් එක් සැකකරුවකු පමණක් යැයි පවසමින් ඔහු වෙනුවෙන් නීතිඥ සංගමයේ ඉදිරිපත්වීම වළකා , එය සැමට සමසේ නීතියේ සරණ යාමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙසින් ප්‍රතික්ෂේප කරන මෙම නීතිඥවරුන් 185 දෙනා සිය සංගමයට තම සාමාජිකයා වෙනුවෙන් මැදිහත් වීමේ වගකීම සිහිපත් කර දී ඇත්තේ මෙසේය:

"ඕනෑම චූදිතයකුට, අති දුෂ්ඨම අපරාධයක් කළ බවට චෝදනා ලබන්නකුට වුවද, මූලික ක්‍රියාපටිපාටිය සැලසීමේ අයිතිය තහවුරු කරදීම, ඒ වෙනුවෙන් මැදිහත්වීම අධිකරණ වෘත්තිකයන් ලෙස අප විසින් සහතික කළ යුතුව ඇත. එය නීතියේ ඉපැරණි සම්මතයකි. එය නැවත නැවතත් සිහිපත් කර දීමට කැමැත්තෙමු. මෙය සුඛ විහරණයක් නොවේ. එය නීතියේ මූලික අවශ්‍යතාවයක් වන අතර ශිෂ්ඨ සම්පන්න සමාජයකට පදනම වැටෙන්නේ එයිනි.

එසේ හෙයින්, එවන් ආරක්ෂණයක් ලැබීම වලකනු ලැබ ඇති ස්වකීය සමාජිකයකු වෙනුවෙන් නීතිඥ සංගමය තීරණාත්මක සහ මූලධාර්මික ආස්ථානයක් ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්වචනය කර ඇති, ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති නෛතික ප්‍රතිපාදන අනුගමනය කිරීමට බල කිරීම මිස ඊට අඩු හෝ වැඩි දෙයක් නොවේ."

 

සංගමයට “නිශ්චිත අදහසක් නෑ”

නීතියේ මූලික හරයන් පවා උල්ලංඝණය කරමින් නීතිඥවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවීමකින් තොරව රඳවා තබා ගෙන සිටින විට නීතිඥ සංගමය ඒ සම්බන්ධයෙන් කවර නම් ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ දැයි ශ්‍රී ලංකා සංගමයේ ලේකම් නීතිඥ රාජිව් අමරසූරියගෙන් JDS (Journalists for Democracy in Sri Lanka ) විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධව නිශ්චිත යමක් පැවසිය නොහැකි බව ය.

අවශ්‍ය තොරතුරු සොයා දැන ගැනීම සඳහා ඔහු විසින් නිර්දේශ කරන ලද්දේ නීතිඥ සංගමයේ වෙබ් අඩවිය බැලීම ය. නීතිඥ සංගමය වෙත යොමු කළ බව පැවසෙන ලිපි පිළිබඳව විමසීමේදි ලේකම්වරයා පැවසුවේ ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට නීතිඥ සංගමයේ විධායක කමිටුව වෙත යොමු කර ඇති බව ය.

කෙසේ වෙතත්, ජාතික මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික නීතිඥ ජාවෙඩ් යුසුෆ් පවසන්නේ නීතිඥ සංගමයේ ක්‍රියාකලාපය පිළිබඳව තමන් ඇතුළු නීතිඥවරුන් බහුතරයකට කලකිරීමට පත්ව සිටින බව ය.

"ඇත්තටම කණගාටුදායකයි. නීතිඥ සංගමයට වගකීමක් තියෙනවා නීතිඥ හිස්බුල්ලාහ්ට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න,” යි නීතිඥ ජාවිඩ් යුසුෆ් JDS හා පැවසීය. සංගමය සිය සාමාජිකත්වය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් පැහැර හැරීම ගැඹුරු අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවට ඔහු අනතුරු ඇඟවීය.

“අපි ලියුම් ලියලා කරුනු අහන්න කලිනුයි නීතිඥ සංගමය මැදිහත් වෙන්න ඕනේ.අනෙකුත් වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් ඔවුන් නියෝජනය කරන සංගම් විසින් ආරක්ෂා කරනවා වගේම නීතිඥවරුන් ගැන නීතිඥ සංගමය හොයලා බලන්න ඕනේ. නීතිඥවරයෙක්ගේ කාර්භාර්ය කියන්නේ වෙනස්ම එකක්. අනෙක මේක තනි නීතිඥවරයෙක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්.ඒක ඉතාම ගැඹුරු අර්බුදයක් දක්වා දැන් වර්ධනය වෙමින් තියෙනවා. ඒත් සංගමය නිහඬයි.”

අසූව දශකය අග භාගයේ ජවිපෙ දෙවැනි කැරැල්ලට සහභාගි වීමේ සැකයට රාජ්‍ය මර්දනයේ ගොදුරු බවට පත්වූ සාමාජිකයන් සම්බන්ධයෙන් මහත් භීෂණයක් මැද්දේත් නීතිඥ සංගමය අනුගමනය කළේ අදට හාත්පසින්ම වෙනස් ක්‍රියාමාර්ගයක් බව හිටපු මානව හිමිකම් කොමසාරිස් සිහිපත් කර දුන්නේය.

“1988දී නීතිඥ විජේදාස ලියනාරච්චි මහතාව ඝාතනය කෙරුවාම මුළු නීතිඥ ප්‍රජාවම කිසිම බේදයක් නැතුව ඒ අපරාධයට විරුද්ධව පාරට බැස්සා. එදා හිටපු සභාපති එච් එල් ඩී සිල්වා මහතා කිසිම බයක් නැතුව ඒකට විරුද්ධව හඬ නැගුවා. ඒත් අද එහෙම නෑ," යි නීතිඥ ජාවිඩ් යූසුප් කියා සිටියේය.

 

ත්‍රස්ත පනත සහ ජාත්‍යන්තර මැදිහත්වීම්:

රැවටිලිකාරි ලෙස පොලිස් අත්අඩංගුවට ගන්නා ලද නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් ත්‍රස්ත මර්දන පනත යටතේ බලාත්මක රඳවා ගැනීමේ නියෝගයක් අනුව ය. ඔහු එසේ රඳවා තබා ගැනීමත්, ත්‍රස්ත පනතේ නෛතික භාවය පිළිබඳවත් සිංහල නීතිඥවරුන් 216 දෙනා වෙතින් පලවී ඇත්තේ මහත් වු ප්‍රසාදයකි.

"මේ සම්බන්ධයෙන් ගත් කල, සියළු සැකකරුවන් සමාන බවද, ඔවුන්ටද අනෙක් සැකකරුවන්ට මෙන්ම අයිතිවාසිකම් මෙන්ම නොහැකියාවන් පවතින බවද අප අවධාරණය කරන්නෙමු,” යි සිංහල නීතිඥ සමූහය සිය නායකත්වයට දැනුම් දී තිබේ. “මෙහිදි අපි ත්‍රස්ත මර්දන පනතේ ගුණා'ගුණ ගැන වාද කරන්නට නොයන්නෙමු.

එහෙත් අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතු වන්නේ හිස්බුල්ලාහ් මහතා රඳවා තබා ගෙන ඇත්තේ ත්‍රස්ත පනත යටතේ නිකුත් කරන ලද රඳවා තබා ගැනීමේ නියෝගයකින් වන අතර, එය අද වනවිට වලංගු සහ බලාත්මක නීතියක් වන්නේය".

නීතිඥ හිස්බුල්ලාහ්ව නීති විරෝධිව රඳවාගෙන සිටීම ගැන විරෝධය දක්වා ඔහුට සාධාරණය ඉටු කරන ලෙස බලකරමින් ජාත්‍යන්තර මානව හිමිකම් සහ නීති ප්‍රජාවන් විසින් නිවේදන ගණනාවක් නිකුත් කරනු ලැබුණි. හිස්බුල්ලාහ් අධිකරණය හමුවට ඉදිරිපත් නොකර රැඳවුම් නියෝග යටතේ තබා ගැනීම අගය කරන සිංහල නීතිඥවරුන් 216 දෙනා විසින් එම මැදිහත් වීම් සලකනු ලබන්නේ අනිසි මැදිහත් වීමක් ලෙස ය.

"අපේ දැඩි මතය වන්නේ මෙම සිදුවීමට අදාළ නැති තුන්වන පාර්ශවයක් කරන ඉල්ලීම්වලට යටත් වී ඉහත සිදුවීමට මැදිහත් වීමෙන් නීතිඥ සංගමය පරික්ෂණ අවුල් නොකළ යුතු බවයැ"යි සිංහල නීතිඥවරු පවසති.

Rauskiලොව පුරා විනිශ්චයකාරවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් සැඳුම්ලත්, ජාත්‍යන්තර නීතිවේදින්ගේ කොමිසම (International Commission of Jurists -ICJ) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ නීතිඥ හිස්බුල්ලහ් ට එරෙහිව චෝදනා ඇත්නම් ඒවා නිශ්චිතව ඉදිරිපත් කොට, ඒවාට පිළිතුරු දීම සඳහා ඔහුට නීතිඥ සහාය ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ය.

"මානව හිමිකම් විරෝධී නිතියක් ලෙස ගර්හාවට ලක්ව ඇති ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ ලැබෙන්නාවු අයිතිවාසිකම් පවා මුස්ලිම් ජාතික නීතිඥවරයා සිරගත කිරීමෙන් උල්ලංඝණය කර තිබේ. එම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන්නා වු තැනැත්තකුට වුවද පැය 72ක් ඉක්ම යාමෙන් පසුව නීතිඥ සහාය ලබා ගැනීමට ඉඩ සැලසිය යුතු ය."

ICJ ආසියා පැසිපික් කලාපය භාර අධ්‍යක්ෂ ෆ්‍රෙඩ්රික් රවුස්කි විසින් නිකුත් කොට ඇති ඉහත නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ "භයංකාර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට රජය සතු වගකිම කිසිවකුත් ප්‍රශ්න කරන්නේ නැත. නමුත් නීති ප්‍රකාරව නීතිඥ හිස්බුල්ලාහ් ව රීමාන්ඩ් කිරීමේ නියෝගයක් නිකුත් නොකර සහ රහස්‍යභාවය රැකෙන අයුරින් නීති සහායක් ලබා ගැනීමේ මග අවහිර කිරීම අනුමත කළ නොහැකි අතර එය පුද්ගල නිදහස සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතින් උල්ලංඝණය කිරිමක්ද වෙයි.”

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වියත්මග සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකුද වන, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ප්‍රමුඛ සිංහල නීතිඥවරුන් ශ්‍රි ලංකා නීතිඥ සංගමයට දැඩිව පවසන්නේ කවර තත්ත්වයක් යටතේවත් මුස්ලිම් ජාතික නීතිඥ හිස්බුල්ලාහ්ගේ නිදහස වෙනුවෙන් සංගමය මැදිහත් නොවිය යුතු බව ය.

"තවදුරටත් කිවහොත්, අදාළ චූදිත නීතිඥයා වෙනුවෙන් පවරා ඇති නඩුකර දෙකක් අධිකරණය හමුවේ විභාග වන බැවින් උක්ත කරුණු වෙනුවෙන් ශ්‍රි ලංකා නීතිඥ සංගමය කිසිම අවස්ථාවක මැදිහත් නොවිය යුතුයි."

එහෙත් නීතිඥ සංගමය නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් ගේ නිදහස සහ අයිතීන් නොතකා හරිමින්, අන්තවාදිව කටයුතු කරන නීතිඥවරුන් පිරිසකගේ උවමනාවන් මත කටයුතු කළහොත් එය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි අපකීර්තියකට ලක්වීමට මග පාදාගනීමක් වනු ඇති බව මානව හිමිකම් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත්වන ප්‍රකට නීතිඥවරයෙක් සිය අනන්‍යතාවය හෙළිදරව් නොකරන්නැයි ඉල්ලා සිටිමින් ජේඩිඑස් හා කියා සිටියේය.☐

[ කිත්සිරි විජේසිංහ -jdslanka.org ]

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්