මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිවුවෙනි වසරේ විභාග කටයුතු ආරම්භ කරමින් සිසුන් තුන්සිය දෙනෙකු

පමණ සිරකරුවන් බවට පත්කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු සිදුකර ඇති බවත් ඒ පිළිබදව අදහස් දක්වන්නන් පරිපාලකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ අවධානමක් ඇතිවී තිබෙන බවත් සිසුන් පිරිසක් අනාවරණය කලහ.

කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ හතරවන වසරේ සිසුන්ට අවසන් විභාගය ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඒ සදහා විශ්ව විද්‍යාල පරිපාලනය විශ්ව විද්‍යාලය ආරම්භකර සිසුන්ගේ අධ්‍යයන කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ඇතත් එය දැඩි පීඩාකාරි තත්වයක් බව සිසුන් පැවසුහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිසුන් පිරිසක් මෙසේ සඳහන් කළේය.

“දින හතක පමණ කාලයක් සිසුන් 300ක් පමණ සිර අඩස්සියේ ඉන්නවා. මේ කරන්නේ නීරෝධායනය නෙමෙයි අපෙන් පලිගැනීමක්. නීරෝධායනය දින 14යි. අපි ලබන අගෝස්තු මසය වෙනකම් තනිකාමරයකට වෙලා ඉන්න ඕන. හරි හමන් කෑම බීමක් නෑ. බාගෙට තම්බපු එළවළු තියෙන කටවල් දෙකක තුනක කෑම එකක් තුන්වේලට කාමරයට ලැබෙනවා. අපි හිරකූඩුවල හිරවෙලා හුස්මක් ගන්න විදියක් නැතුව ඉන්නවා.

නමුත් විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආචාර්ය මණ්ඩලය පිරිසිදු කිරීමේ ආයතන සේවකයන් ආරක්ෂක අංශ පිටත ඉදන් විශ්ව විද්‍යාලයට යනවා එනවා. හැමතැනම කරක්ගහන මේ පිරිස අපි හමුවට එනවා. ඒ හරහා අපි වෛරසයට නිරාවරනය වෙන්න බැරිද? අපිව හිරකරනවා නම් ඒ අයත් හිරවෙලා මේක ඇතුලෙම ඉන්න.

මේ පිළිබදව කිසිම කෙනෙක් කථා කරන්න බයයි. එහෙම කථා කරොත් සිසුන් විභාගයෙන් අසමත් කරනවා. නැවත අපිට ගොඩයෑමක් නෑ. ඇයි මේ ආකාරයට අපෙන් පළිගන්න කාමරවල හිරකරලා තියෙන්නේ. අපිව මේ ආකාරයට හිරකරලා මානසික පීඩාවන් දෙන්න එපා කියලා ඉල්ලනවා. අපි දවස් 14ක් නිරෝධායනය වෙන්නම්. මේ පිළිබදව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුකරන්න කියලා අපි ඉල්ලා සිටිනවා” යනුවෙන් සිසුන් පැවසුහ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගෙන් දුරකථනයෙන් සිදුකල විමසීමකදි ඔහු මෙසේ පැවසිය. 

''මේ සිසුන් අතරේ කල්ලි ගැහෙන්න අවශ්‍ය පිරිසක් ඉන්නවා. කල්ලි ගැහුනොත් මේ වැඩේ කරන්න බෑ. අපි ඔවුන්ගේ අනාගතය ගැන හිතලයි විශ්ව විද්‍යාල කටයුතු ආරම්භකරේ. මේ වගේ බොරු චෝදනා එද්දි අපිත් ගෙවල්වලට වෙලා හිටියනම් හොදයි කියලා හිතෙනවා'' -උපකුලපති

“නීරෝධායන කටයුත්තක් සිදුවෙන්නෑ. අපි මේ දරුවන්ට විභාගයට මුහුණදීම සදහා අවශ්‍ය සුදුසුම පරිසරය විශ්ව විද්‍යාලය තුල හදලා දීලා තියෙන්නේ. තනිතනියෙන් කාමරයන් තුලට වෙලා පාඩම් කරන්න තියෙන්නේ. සිසුන් වෛද්‍ය පරික්ෂාවන් යටතේ සිටින්නේ.

විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයත් ඉතාම වගකීමෙන් කටයුතු කරන්නේ. කාර්ය මණ්ඩලයත් වෛද්‍ය අධීක්ෂනය යටතේ රාජකාරි සිදුකරන්නේ. අත්‍යාවශ්‍ය කරුණකට පමණයි ඔවුන් ආයතනයට එන්නේ. අපි සිසුන්ගේ අවශ්‍යතාවන් පිළිබදව හොයා බලලා කටයුතු කරනවා.

මේ සිසුන් අතරේ කල්ලි ගැහෙන්න අවශ්‍ය පිරිසක් ඉන්නවා. කල්ලි ගැහුනොත් මේ වැඩේ කරන්න බෑ. අපි ඔවුන්ගේ අනාගතය ගැන හිතලයි විශ්ව විද්‍යාල කටයුතු ආරම්භකරේ. මේ වගේ බොරු චෝදනා එද්දි අපිත් ගෙවල්වලට වෙලා හිටියනම් හොදයි කියලා හිතෙනවා” යනුවෙන් උපකුලපතිවරයා පැවසුවේය.

( මහේෂ් විජේසුරිය- aithiya.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්