එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී යාපනය දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රමුඛ සාමාජිකයින් තිදෙනෙකුගෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් මෑත දින වලදී ප්‍රශ්න කර තිබේ.

මෙවර මහ මැතිවරණය සඳහා යාපනය, කොලඹ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සඳහා සමාජවාදී සමානතා පක්ෂය විසින් අපේක්ෂකයින් 43 දෙනෙකු ඉදිරිපත් කර ඇත.

සමාජවාදී සමානතා පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, 

01-  හමුදා බුද්ධි අංශයේ යයි කියාගත් පුද්ගලයන් දෙදෙනෙක් මැයි 28 වන දින දහවල් කාලයේ යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් වූ දූපතක් වන කයිට්ස් හි පරුත්තිඅඩෙප්පු සසප සාමාජික රාසෙන්තිරාම් සුදර්සන්ගේ නිවසට පැමින තිබේ.

02-  යාපනය අර්ධද්වීපයට සම්බන්ධ දූපතක් වන කරෙයිනගර්හි පරමුතිරුඥාන සම්පන්දර්ගේ නිවසට ජුනි 16 වන දින පෙරවරු 11 ට පමන  හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙක් පැමින ඇත. මහ මැතිවරනයේදී  යාපනය දිස්ත්‍රික්කයේ සසප නායකයා සම්බන්දර් ය.

තමා සංජීව ලෙස හඳුන්වා දුන් එක් නිලධාරියෙක් සම්බන්දර්ගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කර ඇත. ඔහු එය ප්‍රතික්ෂේප කල විට ඔවුන් කියා ඇත්තේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට මැතිවරනයේ අපේක්ෂකයින් පිලිබඳ තොරතුරු අවශ්‍ය බවයි. අපේක්ෂකයින් පිලිබඳ තොරතුරු රැස් කිරීම නීති විරෝධී බවත්, කිසිවක් ලබා දීම ප්‍රතික්ෂේප කරන බවත් සම්බන්දර් ඔවුන්ට පවසා ඇත. 

03-  යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු, ජූනි මස 23 වන දින පෙරවරු 10.30 ට  යාපනය මහ නගර සභා බල ප්‍රදේශය තුල මනියන්‌තෝට්ටම් හි පිහිටි රාජරත්නම් රාජ‌වේල්ගේ නිවසට පැමින ඇති අතර, ඔවුන් චාවකච්චේරි හමුදා කඳවුරේ සිට පැමිනි බව පවසා ඇත.

තමා උපුල් ලෙස හඳුන්වා දුන් එක් නිලධාරියෙකු පවසා ඇත්තේ, ඔහුට ආරක්ෂාව සැපයීම සඳහා රාජ‌වේල්ගේ තොරතුරු අවශ්‍ය බවයි. බොහෝ පක්ෂ මැතිවරනයට ඉදිරිපත් වන බැවින් ගැටුම් ඇතිවීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කර ඇත. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා ඊලම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය( ඊපීඩීපී) අතරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප ) සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) අතරත් ගැටුම් ඇතිවිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

කිසිදු තොරතුරක් ලබා ගැනීම සඳහා රාජ‌වේල් ඒත්තු ගැන්වීමට නොහැකි වූ බුද්ධි අංශ නිලධාරීන් ඔහු ඡායාරූප ගත කිරීමට උත්සාහ කල අතර ඔහු එයට විරුද්ධ වී ඇත. ඔවුන් පිටත්ව ගියේ සම්බන්දර් ඔවුන් සමඟ දුරකථනයෙන් කතා කර ඔවුන්ගේ ක්‍රියාවන්ට විරෝධය පල කර පිටව යන ලෙසට දැන්වූ පසුවය .


ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් !

මහ මැතිවරන හා පලාත් සභා මැතිවරනවලට ඉදිරිපත්ව ඇති සම්බන්දර්, සුදර්සන් සහ රාජ‌වේල්  සසප සාමාජිකයන් ලෙස දශක ගනනාවක් තිස්සේ  උතුරුකරයේ ප්‍රසිද්ධියට පත්ව ඇති පුද්ගලයින්ය. සම්බන්දර් සහ සුදර්සන් සසප ප්‍රසිද්ධ රැස්වීම් දුසිම් ගනනක් අමතා ඇත.

එවැනි තත්වයක් යටතේ මිලිටරියේ මෙවැනි හැසිරීම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන අතර දිවයිනේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ ජීවත්වන තම පක්ෂයේ සගයින්ගේ ජීවිතවලට ද තර්ජනයක් බව සමාජවාදී සමානතා පක්ෂය පවසයි.

ආරක්ෂක ලේකම්ට පැමිණිල්ලක් :

සසප අපේක්ෂකයින්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය පල කරමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, ජුනි 20 වන දින ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න වෙත ලිපියක් යොමුකර ඇත. එහි පිටපතක් මැතිවරන කොමිෂන් සභාවේ සභාපති වෙත යවා තිබේ.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක කළ විජේ ඩයස් මෙසේ පැවසීය: 

“ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ත්‍රිවිධ හමුදාව ගෙන යන මෙම වෙනස්කම් කිරීම් හා බිය ගැන්වීම් සසප දැඩි ලෙස හෙලා දකිනවා. එය අපේ පක්ෂයේ සහ එහි සාමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

මෙම හමුදා නිලධාරීන්ගේ ක්‍රියා පිලිබඳ පැහැදිලි කිරීමක් සහ පහත සඳහන් ප්‍රශ්නවලට පිලිතුරු අපි ඉල්ලා සිටිනවා.

1- පලමුවෙන්ම, නීත්‍යානුකූලව පිලිගත් දේශපාලන පක්ෂයක් වන සසපයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කිරීමට පෙලඹවීම් කලේ හා ඒ සඳහා බලය පැවරුවේ කවුරුන් විසින්ද?

2 - දෙවනුව, මිලිටරිය විසින් සසප අපේක්ෂකයින් පිලිබඳ පුද්ගලික තොරතුරු එකතු කිරීමේ අරමුන කුමක්ද?

3 - “තෙවනුව, සසප සාමාජිකයින් මීට පෙර මහ මැතිවරන වලට, පලාත් සභා  සහ පලාත් පාලන මැතිවරන වලට ඉදිරිපත් වී ඇති අතර හමුදාව ඔවුන්ගෙන් ප්‍රශ්න කර නොමැත. නීතිය සහ අපේ පක්ෂයේ සහ එහි සාමාජිකයන්ගේ ව්‍යවස්ථාමය වශයෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් හමුදාව දැන් එවැනි පරීක්ෂන පවත්වන්නේ ඇයි?

4 - සිව්වනුව, යාපනයේ සහ වෙනත් ප්‍රදේශවල හමුදාව විසින් ප්‍රශ්න කර ඇති වෙනත් මැතිවරන අපේක්ෂකයින් කවුද? ”


අවසාන වශයෙන් ඩයස් මෙසේ ප්‍රකාශ කලේය. “රටේ සහ විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ඉතා උනුසුම් දේශපාලන වාතාවරනයක්  තුල, හමුදාව සෘජුවම මැතිවරනයට මැදිහත් වීම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට අන්තරායකාරී වලකැපීමක් වෙතැයි අපි සලකනවා. අපි අපේ ප්‍රශ්නවලට පිලිතුරු ඉල්ලා සිටිනවා, මෙම මැදිහත්වීම් නතර කල යුතු යැයි අවධාරනය කර සිටිනවා.

එම ලිපිය සහ වහා පිලිතුරු සපයනමෙන් එයින් කල ඉල්ලීම ආරක්ෂක ලේකම්වරයා නොතකා හැර තිබේ.

මිලිටරියේ හිරිහැර හා බිය ගැන්වීම්වලට විරුද්ධ වන ලෙසත්, එහි සාමාජිකයන් සහ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තම පක්ෂය ගෙනයන උද්ඝෝෂනයට සහාය දෙන ලෙසත් එම පක්ෂය කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.


(මුලාශ්‍රය -wsws.org)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්