ජනාධිපතිවරයා විසින් පිහිටුවන ලද කාර්ය සාධක බලකායක්  සිංහල බෞද්ධ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය ලබා දීම ජාතීන් අතර අලුතින් ගැටුම් ඇතිවීමට

මග පාදනු ඇති බවට මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් අනතුරු අඟවා තිබේ.

නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය කිරීම සඳහා වන කාර්ය සාධක බලකායේ සංයුතිය අනුව  “සිංහල බහුතරයේ කෝපය හා අමනාපය ඇති වී” නව ගැටුම් නිර්මාණය විය හැකි බවයි ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය පවසන්නේ.

 "කාර්ය සාධක බලකායේ සංයුතියෙන් ඇඟවෙන්නේ සුළුතර අවශ්‍යතාවන්ට හානිවන පරිදි සිංහල බෞද්ධ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය දීමයි. ගැසට් පත්‍රයේ සහජීවනය සහ අන් අයට ගරු කිරීම පිළිබඳව වූ භාෂාවක් නැත. මෙම කාර්ය සාධක බලකායේ සංයුතිය අනුව සුළුතර ප්‍රජාවන්ට බලපෑම් ඇතිවීමට ඉඩ ඇති අතර එමඟින් සිංහල බහුතරයේ කෝපය හා අමනාපය ඇති වී නව ගැටුම් ඇති විය හැකි ය. එමගින් නේවාසික ප්‍රජාවන් අතර අවිශ්වාසය හා ධ්‍රැවීකරණය ගැඹුරු කළ හැකිය," යි එම සන්ධානය පවසයි.

ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය එම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ  ජූනි මස 2 දින  අතිවිශේෂ ගැසට්පත්‍රය මගින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්  පිහිටුවන ලද "නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය" සම්බන්ධයෙන් ජුනි 22 දිනට ලබා ගත හැකි වු තොරතුරු මත කෙටි විවරණයක් ඉදිරිපත් කරමිනි.

මාධ්‍ය ආයතන වෙතද පිටපත් යොමු කර තිබෙන එම සටහන මගින්  අවධාරණය කර ඇත්තේ එම  කාර්ය සාධක බලකාය තුළ  ජනවාර්ගික හා ආගමික සුළුතරයන් නියෝජනයක් නොමැති බවයි.

''කාර්ය සාධක බලකායේ සංයුතිය මගින් නැගෙනහිර පළාතේ හමුදාව නිසා දැනටමත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සහ හිංසාවට ලක් වී සිටින ප්‍රජාවන් අතර නීත්‍යනුකූලභාවය ලැබීම, විශ්වාසය ඇතිවීම හෝ ප්‍රතිසන්ධානය සඳහා දායක වීම සිදු නොවනු ඇති බවත් එහි පෙන්වා දී තිබේ.''

කාර්ය සාධක බලකායේ සංයුතිය මගින් නැගෙනහිර පළාතේ හමුදාව නිසා දැනටමත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සහ හිංසාවට ලක් වී සිටින ප්‍රජාවන් අතර නීත්‍යනුකූලභාවය ලැබීම, විශ්වාසය ඇතිවීම හෝ ප්‍රතිසන්ධානය සඳහා දායක වීම සිදු නොවනු ඇති බවත් එහි පෙන්වා දී තිබේ.

බොහෝ සිවිල් ආරවුල් වලට සම්බන්ධ වීමට නියමිත කාර්ය සාධක බලකාය මූලික වශයෙන් හමුදා පුහුණුව ඇති අයකු විසින් මෙහෙයවනු ලැබීම සම්බන්ධයෙනුත් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය සිය අවධානය යොමු කර තිබේ.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විතව ජනාධිපතිවරයා විසින් පිහිටවු   ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කර තිබුනේ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්නය.

"හමුදාව හා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කාර්ය සාධක බලකායට ඇතුළත් කිරීම මඟින් මෙම කාර්ය සාධක බලකායට තම අභිමතය පරිදි අවශ්‍ය නම් සන්නද්ධ ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට නීත්‍යනුකූලව ආයතනිකව යන දෙයාකාරයෙන්ම විධිනියෝගය හිමිව ඇති බවට පණිවිඩයක් සපය යි," යනුවෙන් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය එළි දක්වා තිබෙන කෙටි විවරණයේ වැඩි දුරටත් සදහන්ය.

එහි ආගමික කණ්ඩායම් නියෝජනය කිරීම සදහා  බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙදෙනකුගෙන් සමන්විත වුවත් වෙනත් කිසිදු ආගමික නායක  නියෝජනය එහි නොවේ.

කෙසේ නමුත් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාරම්භක රැස්වීම අමතමින් ජුනි 10 බදාදා  ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා තිබුනේ, ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ කාර්ය තම නායකත්වයෙන් යුත්  බලකාය වෙත පැවරී ඇති බවයි.

 

ජනාධිපතිට නැති බලතල

ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය යටතේ පවත්නා බලතල භාවිතා කරමින් සිදු කරන ලද්දක් බව ගැසට් පත්‍රයේ සදහන් වුවද 'ජනාධිපති කාර්ය සාධක බලකායක්' නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට විශේෂයෙන් බලය පවරන නීතියක් නොමැති බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය අවධාරණය කරයි.

"අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය අනුව පවා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහා නිශ්චිත බලයක් නැත. ඊට වෙනස්ව උදාහරණයක් වශයෙන්, 1978 අංක 09 දරණ විමර්ශන නීතිය මගින් විමර්ශනය සඳහා විශේෂ ජනාධිපති කොමිසම් සකස් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට බලය ලබා දී තිබේ. කෙසේ වෙතත්, 'ජනාධිපති කාර්ය සාධක බලකායක්' සඳහා එවැනි විශේෂ නීතියක් නැත."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවන එවැනි සියලු ක්‍රියා සිදු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් 33.2 (h) වගන්තියේ පුළුල් භාෂාව මත විශ්වාසය තබන බව පමණක් කෙනෙකුට උපකල්පනය කළ හැකි බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ මතය වී තිබේ.

''මිනිසුන් ඉඩම්වලින් ඉවත් කිරීම සහ සියලු ප්‍රජාවන්ට බලපාන ඉඩම් නොමැතිකම ඇති වීමට පුරාවිද්‍යාව පදනම් කරගත් සාධාරණීකරණයන් අනිසි ලෙස භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ පවත්නා හුරුපුරුදු ප්‍රවණතාවයක් බවත් එම සංවිධානය වැඩි දුරටත් සදහන් කර තිබේ.''

ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අභිබවා යන ලෙස විධායක බලය අනවශ්‍ය ලෙස භාවිතා කිරීමක් බවට නිගමනය කරන ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය අවධාරණය කරන්නේ, රාජ්‍ය ආයතන මුහුණ දෙන කුමන හෝ අඩුපාඩුකම් හෝ අභියෝගයන්ට මුහුණ දිය යුත්තේ රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීම මගින් මිස ඒවා ඉවත දැමීමෙන් නොවන බවයි.

මිනිසුන් ඉඩම්වලින් ඉවත් කිරීම සහ සියලු ප්‍රජාවන්ට බලපාන ඉඩම් නොමැතිකම ඇති වීමට පුරාවිද්‍යාව පදනම් කරගත් සාධාරණීකරණයන් අනිසි ලෙස භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ පවත්නා හුරුපුරුදු ප්‍රවණතාවයක් බවත් එම සංවිධානය වැඩි දුරටත් සදහන් කර තිබේ.

විශේෂයෙන් මෙම මැතිවරණ ප්‍රචාරක කාලය තුළ, ජනතාව අතර  නොසන්සුන්තාවයක් ඇති කිරීම සහ සුළුතර ප්‍රජාවන් බිය ගැන්වීම මගින් දේශපාලන වාසි ලබා ගැනීම සියලු ශ්‍රී ලාංකිකයින් විසින් ප්‍රතික්ෂේප කල  යුතු බව පවසන ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ  ඉඩම් පාලනය හා පරිපාලනය සාධාරණ හා යුක්ති සහගත විය යුතු බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image