අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරත් මහ මැතිවරණයට තරග කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රැස්වීම් කිහිපයකට ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ ද සහභාගි විය.


මාවතගම, මැහි ඇල්ල ප්‍රදේශයේ රැස්වීමට රෝහිත රාජපක්ෂ සහභාගිවූයේ, මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට නැගුණු චෝදනාවන් එල්ලවූ රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග ද සමගය.

මෙම ජන හමුව ඇමතීමට රෝහිත රාජපක්ෂට නිවේදකයා විසින් ආරාධනා කරක ලද්දේ ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමි කර දුන් ‘තාරකා පිළිබඳ විද්‍යාඥ රෝහිත රාජපක්ෂ’ ලෙසයි.

රැස්වීම ඇමතු රෝහිත රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.

''තාත්තා මට කිව්වා මට වැඩිය ඇවිදින්න බැරි වෙන නිසා ගිහිල්ලා ඉතින් කතා කරලා එන්න කියලා. හැබැයි දේශපාලනය කතා කරන්න යන්න එපා ඔයා ගිහිල්ලා මොනාද ඒ කට්ටියගේ තියෙන ප්‍රශ්නේ කියලා දැනගෙන එන්න කියලා.

මම කිව්වා හරි එහෙනම් තාත්තේ මම ගිහිල්ල එන්නං හැබැයි මගෙන් ඡන්දෙ ඉල්ලන්න කියලානම් පස්සේ ඉල්ලන්න එපා කියලා. හැබැයි මම ගිහිල්ලා ප්‍රශ්න අහලා මම ඇවිල්ල කිවුවහම ඒවා නොකළොත් එහෙම මටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. තාත්තා මම කියන දේ ඇහුම්කන් දෙනවා.

ගෙදර වැඩියෙන්ම තාත්තා ඉන්නේ මා එක්ක. මොකද අනිත් අයියලා දෙන්නා කාර්යබහුලයි. මම ගිහිල්ලා මොනව හරි කිව්වොත් එහෙම බලධාරීන් ගෙන් අහලා මොනවා හරි මං හිතන්නේ සාධාරණයක් ඉෂ්ට කරයි.

මං හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අග්‍රමාත්‍ය කාර්යාලය කාර්යාලයක් ආරම්භ කරන්න කටයුතු කළා. එකේ තමුන්ගේ පෞද්ගලික ප්‍රශ්න වේවා පොදු ප්‍රශ්න වේවා ඕනෙම ප්‍රශ්නයක් මම හිතන්නේ එතැන නිලධාරීන් ඉදියි.

 මම හිතන්නේ ජල ගැටළුව තමයි මේ ප්‍රදේශයේ තියන ප්‍රධානම ගැටළුව. අලි මිනිස් ගැටුමත් තිබුණා. මම හිතන්නේ දැන් මේ ප්‍රදේශයේ නැහැ නේද? දැන් හිටපු ටිකත් පැනලා දුවනවා. මොකද දැන් දෙකට කැඩිලානේ..

අගමැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑහෙන සංවර්ධනයක් කළා. මං හිතන්නේ එතුමටත් තේරුණා රටේ වෙනත් කොට්ඨාසයකට ගිහින් ඒ දිස්ත්‍රික්ක දියුණු කරන්න ඕනේ කියන එක. ඒ හින්දා මම හිතන්නේ පැරදිච්ච අවස්ථාවක තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහින්ද ජනාධිපතිතුමා මුලින්ම ඡන්දෙ ඉල්ලුවේ.

ඒ අවස්ථාවේදි අපේ ගමේ කෙනෙක් දිස්ත්‍රික්කෙ කෙනෙක් කියලා හිතන්නේ නැතුව තමුන්නාන්සේලා ඒ පාවිච්චි කරපු ඒ මනාපේ දීපු ඡන්දෙට මම හෘදයාංගමව ස්තූතිය පුදකරනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට.''

පාක්ෂිකයින්ගේ ගැටලු කිහිපයක් ද රෝහිත රාජපක්ෂ මෙහිදී විමසා සිටි අවස්ථාවේදී එහිදී මතු වූ ප්‍රධාන ගැටලුවක් වූයේ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක ප්‍රේමදාසට නාම යෝජනා නොලැබීමයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image